Print this Article


අයහපත ඉවත දමා යහපතට යොමු වෙන්න

අයහපත ඉවත දමා යහපතට යොමු වෙන්න

ප්‍රේත වස්තු සහ විමාන වස්තු

ස්වාමීන් වහන්සේලා,පිපාසිත ප්‍රේතයාගේ මුඛයට සහ සිරුරට ජලය ඉස දානයට වැඩම කරන්නට සූදානම් වුණා. නමුත් ප්‍රේතයා පැවසුවේ ස්වාමීනි, වතුර පොදක්වත් සිරුරට නොවැටුණු බව යි. බලන්න, කර්මයක මහිමය.

ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ අසූහාර දහසක් ධර්මස්ඛන්ධය සූත්‍ර , විනය, අභිධර්ම යනුවෙන් පිටක තුනක් වශයෙන් පවතිනවා.

සූත්‍ර පිටකයට ධර්මස්ඛන්ධ විසි එක් දහසක් ද , විනය පිටකයට ධර්මස්ඛන්ධ විසි එක් දහසක් ද , අභිධර්ම පිටකයට ධර්මස්ඛන්ධ හතළිස් දෙදහසක් ද ඇතුළත් ව අසූහාර දහසක් වෙනවා. විමාන වත්ථු පේථ වත්තු ග්‍රන්ථ දෙක සූත්‍ර පිටකයේ ඛුද්ධක නිකායට අයත් වෙනවා.

මෙය කවුරුත් ඉගෙන ගත යුතු ග්‍රන්ථ දෙකක්. කුසල කර්මයන්ගෙන් විමාන බවට, දෙවියන් අතරට පත්ව සැප විඳීන ආකාරය විමාන වස්තු ප්‍රකරණයේ ද තණ්හාවෙන් මිය ගොස් ප්‍රේත ලෝකවලට වැටී දුක් විඳීන බව ප්‍රේත වස්තු ප්‍රකරණයේ ද, සඳහන් වෙනවා. ප්‍රේත වස්තුව කියවන විට සිතට විශාල බියක් දැනෙනවා. සමහර ප්‍රේතයන්ගේ මුඛය ඉඳීකටු මලක් වැනි යි. උගුර තිබුණත්, උදරය නැහැ. උදරය තිබුණත් උගුර නැහැ. යමක් අනුභව කරන්නට නොහැකිව කුසගින්නේ කෑ කෝ ගසනවා. දූ දරුවන්, ගේ දොර , මිල මුදල් , ඇඳුම් පැළඳුම් ආදියෙහි තණ්හාවෙන් මිය ගිය සැවොම ප්‍රේත ලෝකයට වැටී දුක් විඳීනවා.

‘දවසක් ස්වාමීන් වහන්සේ කිහිප නමක් දවල් දානයට වඩින විට ගංගාවක අවතාරයක් එහෙ මෙහෙ යනවා දුටුවා. උන්වහන්සේලා මේ ගැන විමසූ විට අවතාරය පැවසුවේ, ස්වාමීනී, මෙය ගංගාවක් බව මා නොදන්නා බවත් වසර ගණනාවක සිට ජලය සොයන බවත් ය. බලන විට ගඟේ සිටියදීත් ජලය නැහැ. මොකද හේතුව? ප්‍රේතයෙක් ව උපත ලැබීම යි. ස්වාමීන් වහන්සේලා,පිපාසිත ප්‍රේතයාගේ මුඛයට සහ සිරුරට ජලය ඉස දානයට වැඩම කරන්නට සූදානම් වුණා. නමුත් ප්‍රේතයා පැවසුවේ ස්වාමීනි, වතුර පොදක්වත් සිරුරට නොවැටුණු බව යි. බලන්න, කර්මයක මහිමය. ඔහු සංසාරයේ කෙනෙකුට ජල පොදක් නුදුන් විපාකය. ජලය අපවිත්‍ර කළා. තුනුරුවන්ට පූජාවක් දුන්නා නම්, එය විසි කරනු ලැබුවා. මෙහි විපාක වශයෙන් කෙතරම් කලක් පිපාසිත දුකෙන් පීඩිත වෙන්න වෙයිද? එයින් සැපවත් ජීවිතයක් ලබා සුඛිත මුදිත ව සිටිය හැකි යි. පිනක් දහමක් නොකළොත්, තණ්හාවෙන් මිය ගියොත්, ප්‍රේත ලෝකයට වැටී අනාදිමත් කාලයක් සාගිනි වේදනාවෙන් දුක් විඳීන්න සිදු වෙනවා. අන් ප්‍රේතයන්ගේ ගල් මුල් පහරින් අනෙක් ප්‍රේතයාගේ සිරුරේ ලේ කඳුළක් ගානේ පානය කරනවා. සමහර ප්‍රේතයන් අශූචි වලවල ද, ගිනි ජාලා මද ද වාසය කරනවා. එකිනෙකා පොරෝ පහරින් පොර බදා අතපය කඩාගන්නවා. මෙලෙස ප්‍රේත ලෝකයේ ලැබෙන දඬුවම , දුක සීමාවක් නැහැ.

පන්සිල් රැක, හොඳීන් බුද්ධ වන්දනාව සිදු කර ගන්න. දාන මාන පින්කම් කර ගන්න, ඉතිපි සෝ ගාථාව, බුදු ගුණ භාවනාව නිතර මෙනෙහි කරන්න. එවිට තමාට හොඳ පිනක් කරගෙන දෙව්ලොවට පත් ව මහා දිව්‍ය රාජයෙක් වෙන්නට පුළුවන්. දෙවියන්ට කුමන දෙයකින්වත් අඩු පාඩුවක් නැත්තේ දාන , ශීල, ආදී පින්කම්වල විපාක නිස යි.

රුවන්මැලි මහා සෑය ඉදි කළෙත් එහි තිබූ වෘක්ෂයක් විමානයක් කර වැඩ සිටි දිව්‍යාං ගනාවකගෙන් අවසර ගෙන යි. සෑය ඉදිකළ දුටුගැමුණු රජතුමාගේවත් නාමය නොයොදා විමානය හිමිකරුවා ලෙස වාසය කළ ‘ස්වර්ණමාලී’ දව්‍යාංගනාවගේ නාමය යෙදුවා. ඒ නිසා රුවන්මැලි මහා සෑය, ස්වර්ණමාලී මහා චේතිය නම් වූවා. මෙලෙස වෘක්ෂයන්ට අධිගෘහිත විමාන සකසා ගෙන දෙවි දේවතාවුන් වැඩ සිටිනවා. ඒ අයටත් සියලු සම්පත් ඇති අතර, ඊටත් වඩා තාවතිංසය, තුසිතය ආදී විමානයන්හි වැඩ සිටින දෙවියන්ට සියලුම සැප සම්පත් තිබෙනවා. එසේනම්, සිත හොඳීන්, සතුටෙන්, ශ්‍රද්ධා ආදී ගුණ මතු කරගෙන පුණ්‍ය කර්මයන් කළ යුතු යි. තණ්හාව , තරහව, වෛරය, ඊර්ෂ්‍යාව දුරු කරගෙන, නුවණ පහළ කරගත යුතු යි. එබඳු සිතකින් කරගනු ලැබූ පින්කමෙන් සරු සාර විපාක ලැබෙයි.

අප සිතම සකසා ගත යුතු යි. කරුණා, මෛතී‍්‍ර , දයාව, අනුකම්පා ආදී ගුණ දියුණුවෙන් අවිහිංසාවාදී ව කාටවත් කරදර , පීඩාවක් නැතිව ජීවත් විය යුතු යි. තුනුරුවන් වැඳ පුදා ගනිමින් , දාන, ශීල, භාවනා , පින්කම් කරගත යුතු යි. එවිට, විමානයකට පත්ව දිව්‍යාංගනාවක්, දිව්‍යරාජයෙක් ව සියලු සැප සම්පත් අනුභව කළ හැකි යි. පින හොඳීන් වැඩි කරගත්තොත් නිවනට පත් වෙන්නත් පුළුවන්.

අද ලෝකයේ මිය යන විශාල සංඛ්‍යාවක් දුකටයි, පත් වෙන්නේ. බොහෝ දෙනා මවට, පියාට සලකන්නේ නැහැ, පන්සිල් රකින්නේ නැහැ, අනුන්ට කරදර පීඩා කරනවා, වෙහෙර විහාරස්ථානවලට කරදර කරනවා, ඒ නිසා ඒ අයගේ ජීවිත සැපවත් වන්නට බැහැ. සතර අපාය නිරි සතුන්ගෙන් පිරී පවතිනවා. පින් දහම් කළ බොහොම ස්වල්ප දෙනෙක් පමණක් මරණින් මතු සුගතිගාමී ව දෙව්ලොවට, බඹලොවට යනවා. නිවනට පත්වෙන්නේ අතළොස්සක් පිරිස පමණ යි.

නිවැරැදි ප්‍රතිපත්ති මඟ ගමන් කළොත්, ඕනෑම කෙනෙකුට දිවයන සම්පත් ලබන්න පුළුවන්. දිව්‍ය විමාන වලට පත් ව සුඛිත මුදිත ව සිටින්න පුළුවන්. මෛතී‍්‍ර මහ බෝසතාණෝ , දුටුගැමුණු දිව්‍ය රාජයා , කාවන්තිස්ස රජතුමා, විහාර මහා දේවි, ආදී උතුමන් මහා දිව්‍ය විමානවල දිව්‍ය සම්පත් අනුභව කරන්නේ කළ පින්කම්වල විපාක නිස යි. මේ ගැන සිතා කවුරුත් පවට බිය වී පින් දහම් වැඩි කළොත්, සැපවත් විමානයක වාසය කළ හැකි යි.

බොහෝ සත්ත්ව සංඛ්‍යාවක් නරක, තිරිසන් , ප්‍රේත , අසුර සතර අපායන්ට වැටී දුක් විඳීන්නේ සිත හොඳ නැති නිස යි. පවිටු චේතනාවන් දියුණු කරගෙන මිය ගොස් නරකාදියට වැටෙනවා. මේ ගැන කවුරුත් කල්පනාවෙන් හොඳ දේ කළොත් හොඳ විපාක ද , නරක දේ කළොත්, නරක විපාක ද ලැබෙන බව තේරුම් ගන්නවා නම්, ලොවේ සැමට ම සුගතිගාමී විය හැකි යි. නමුත් එය තේරුම් ගන්නට තරම් නුවණ මදි නිසා සතුන් මැරීමේ , සොරකමේ, මත් ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවීම, බොරුව, වංචාව, කපටිකම, කාමමිථ්‍යා චාරය, ආදිය අද ලොවේ සීමාවක් නැහැ. මෙලෙස දරුණු පව් කර ඒ අය මෙලොවත් , සංසාරයේත් දුක් විඳීනවා.

දෙව්ලොව, බඹලොව පතා පින් නොකර සෑම කෙනෙකුම නිවන් සුව පතා පින් දහම් කර ගන්න. එවිට මරණින් මතු සුගතිගාමී විය හැකි යි. ලොවුතුරා බුදුවරු වැඩ සිටින කාලයේ අති විශාල පිරිසක් යහපත් දේ සිදු කර, සුගති පරායන වී වටිනා විමාන වස්තු වලට පත් වෙනවා. ඒ බුද්ධ ශාසනය ඔබ අප සැමට ම ලැබී තිබෙනවා. එය ආරක්ෂාවෙන් දියුණුවෙන් කටයුතු කළොත්, වටිනා ජීවිත පෙළක් තමන්ට ලබන්න පුළුවන්. අනන්ත බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලාගේ අතීත චරිත දෙස බැලීමේ දී නිවන් දකිනා තුරා සුගතිගාමී ව වාසය කළා. ඒ හොඳ කි‍්‍රයාවන් සිදු කර සිතම දියුණු තියුණු කරමින් කටයුතු කළ නිස යි.