Print this Article


ප්‍රඥාවට මුල් තැන දුන් අවිහිංසාවාදී ධර්ම දූත සේවාව

ප්‍රඥාවට මුල් තැන දුන් අවිහිංසාවාදී ධර්ම දූත සේවාව

මෙතෙක් බිහිවූ සියලු ආගම් තුළ උත්සාහ කරනු ලබන්නේ මිනිසා විසින් නොදන්නා කිසිවක් පිළිබඳව කියා දීමට ය. විශ්වය හා සත්වයාගේ ආරම්භය පිළිබඳ ව හෝ අනාගත පැවැත්ම හෝ මරණින් මතු ජීවිතය පිළිබඳව කිසියම් විග්‍රහයක් කිරීමටය.

ආගමික ලක්ෂණ සහිතව පසුකාලීන ව ආගමක් ලෙස හැඳීන්වුවත් ආගමක් හෝ දර්ශනයක් නොව දහමක් වන බුදු දහම තුළද මෙකී උත්සාහය දක්නට ලැබේ.එහෙත් බුදු දහම හා අන් ආගම් දර්ශනයන් හාත්පසින් ම එකිනෙකට වෙනස් වෙයි. පොදුවේ ගත් කළ ඉහත කිසිදු ආගමක බුදු දහමේ තරම් චින්තන නිදහසක් ලබා දෙන්නේ නැත. අදාළ ප්‍රස්තුතය පුද්ගලයා ඉදිරිපිට තබා තීරණය ඔහුටම භාර කරන ආගමක් ලොව නැත. පැමිණ පරීක්ෂා කර බලා පමණක් පිළිගන්නට පුද්ගලයා යොමු කරන දහමක් වේ නම් ඒ බුදු දහම පමණි.

චින්තන නිදහස මූලික ව ධර්ම ප්‍රචාරය කිරීම බුදු දහම ඉතාම අගය කළ දෙයකි.

දිගු උණ ගසක රත් හඳුන් පාත්‍රයක් තබා එය ගැනීමට අහසින් එන රහතන් වහන්සේ නමයි. ආරාධනා කිරීමත් එය කළ නොහැකි නම් රහතුන් නැතිය යන්න තහවුරු කරන්නට උත්සහ කිරීමත් යන මේ කරුණු පාදක වන සිද්ධියක් පිළිබදව බෞද්ධ ඉතිහාසයේ සදහන් වෙයි.

රජගහ නුවර සිටුවරයාගේ මෙම ක්‍රියාවෙන් පසුව රහතුන් නැතැයි මතයක් නුවර පුරා පැතිරෙන්නට වූ කල පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ සිය සුළැගිල්ලෙන් විශාල ගල් පර්වතයක් රඳවා අහසින් එම ස්ථානයට පැමිණෙයි. ඉන් පසුව රජගහ නුවර සිටුවරයා පාත්‍රය විවිධ සුවඳ ද්‍රව්‍ය වලින් පුරවා උන්වහන්සේට පූජා කළේය. මේ සිද්ධිය දැන ගත් බුදු රජාණන් වහන්සේ එයට දැඩිව විරුද්ධත්වය පළ කරමින් ඍද්ධි ප්‍රාතිහාර්ය පෑම තහනම් කරමින් ශික්ෂා පදයක් පවා පැනවූහ. එම රත් හඳුන් පාත්‍රය කැබලිවලට කඩා බෙහෙත් ආදියට ගන්නට නියම කළහ.

මෙහිදී ඍද්ධි ප්‍රාතිහාර්ය තහනම් කරන්නට පවා බුදු රජාණන් වහන්සේ කටයුතු කළේ ඒ හරහා ජනතාව වෙත යන පණිවිඩය ප්‍රඥා මූලික නොවන නිසා ය. එම නිසා හැම විටම බුදුරජාණන් වහන්සේගේ ධර්ම ප්‍රචාරය පදනම් වී තිබුණේ මිනිසාට යමක් දේශනා කොට අවබෝධ කරවීමටයි. ප්‍රත්‍යක්ෂ මූලික, ප්‍රඥා මූලික ධර්ම දූත සේවාවකි බෞද්ධ ධර්ම දූත සේවය.

අවම වශයෙන් කිසිවෙකුට වේදනාවක් හෝ හානියක් හෝ මරණයක් උරුම නොවන ප්‍රාතිහාර්ය පෑම තුළින් පවා දහම ප්‍රචාරය කිරීම බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරා නැත. එයට හේතුව වන්නේ බුදු දහම සොයන්නේ ප්‍රඥාව මූලික කර ගනිමින් ධර්ම මාර්ගයේ යන ශ්‍රාවක පිරිසක් වන නිසා ය.

ප්‍රථම රහත් හැටනම විෂයයෙහි බුදුරජාණන් වහන්සේ කරන අවවාදය වන්නේ ද මුල මැද අග යහපත් වූ ධර්මය දේශනා කරන ලෙසයි. “දෙසේථ භික්ඛවේ ධම්මං ආදි කල්‍යාණං මජ්ඣෙ කල්‍යාණං පරියෝසාන කල්‍යාණං “ යන මේ බුද්ධ වචනයෙන් පැහැදිලි වන්නේ මිනිසුන්ට සත්‍ය අවබෝධ කිරීම විෂයෙහි සැබෑ ශාස්තෘවරයෙක් ගන්නා උත්සාහය පිළිබඳවයි.

එහි විශේෂිත ව තිබෙන්නේ සිය ගොඩ වැඩි කර ගැනීම නොව සිය පාර්ශවය වැඩි කරගැනීම නොව, මිනිසුන් නිවැරදිව යථාර්ථය අවබෝධ කරගන්නවා ද යන්නයි. මෙසේ බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධ කර ගන්නට යෙදුණු සත්‍ය, ලෝකයට බෙදාදීමේ කාර්යභාරයෙහි එක්තරා සන්ධිස්ථානයක් ලෙස මහින්දාගමනය සැලකිය හැකි ය.

සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 300 පමණ කාල පරිච්ඡේදය වන විට බුද්ධ ශාසනය කෙරෙහි බොහෝ උපද්‍රව ඇතිවී තිබිණි. එම උපද්‍රවයන් අතර අන්‍යාගමික බලපෑම් ඉතා ප්‍රබල විය. ලාභාපේක්ෂාවෙන් බුදු සසුනෙහි පැවිදි වූ බොහෝ අන්‍යාගමිකයෝ සසුන කෙළෙසන්න ට පටන් ගෙන තිබිණි. අනෙක් අතින් භික්ෂූන් වහන්සේලා අතර ද ධර්මය කරුණු පිළිබඳව විශාල සංවාද විවාද පැවතිණි. එකී වාද විවාද හරහා ද අන්‍යාගමිකයන්ට විවිධ ලාභයන් සැලසී තිබුණි. ධර්මාශෝක රජතුමාගේ ධර්ම සේවය නොවන්නට වර්තමානයේ බුදු සසුන පවතින්නාවූ තත්ත්වය දැකගන්නට හැකි වේ ද යන්න සැක සහිත ය. ඉතා විශාල අර්ධද්වීපයක් වන පැරණි භාරතය විවිධ ආගම් සාහිත්‍යය සාමයික පසුබිම් හි තිඹිරිගෙය ලෙස හැඳීන්වුවහොත් එය නිවැරදි ය. ඒ වන විට ඉතාමත්ම ප්‍රබල ලෙස මුල් බැසගෙන පැවති ආගමික දේව විශ්වාසයන්ට ප්‍රතිවිරුද්ධ වූ දහමක් වන බුදු දහමට අනිත් ආගමිකයන්ගෙන් තිබූ බලපෑම සුළු බලපෑමක් නොවේ. ජන සමාජය තුළ ආත්මගතව තිබු හින්දු දේව විශ්වාසයන්ට ප්‍රතිවිරුද්ධ වූ බුදු දහම කෙරෙහි ඉතාමත් ප්‍රසිද්ධ වූ රජවරුන් පැහැදීම හා බුදු සමය තුළ කුල භේදයට පහර ගැසීම ආදී කරුණු ද මේ ප්‍රතිවිරුද්ධතාවය දැඩිවීමට ප්‍රබල හේතු විය. විශේෂයෙන් සමාජයේ බලය අල්ලාගෙන සිටියේ බ්‍රාහ්මණ පෙළපත වූ අතර සමහර බමුණන් පැවිදි වීම කෙරෙහි යොමු වීම ඔවුන් ඉතා විශාල පරිහානියක් ලෙස දුටහ. මේ කවර ප්‍රතිවිරුද්ධ තාවයන් තිබුණ ද බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලය තුළ ඒ සියල්ල අභිබවා බුද්ධ ශාසනය ඉස්මතු වී තිබිණි. බුද්ධ පරිනිර්වාණයෙන් පසුව එකී පාලනය වී තිබුණු බොහෝ ප්‍රතිවිරුද්ධ අන්‍යාගමික ශක්තීන් ඉස්මතුව පැමිණි අතර ධර්මාශෝක රජ සමයේ වන විට එහි ඉතා උච්චතම අවස්ථාවට පැමිණ තිබිණි. මේ නිසා ධර්මාශෝක රජතුමා පළමුව සිදු කරන්නේ එවක වැඩසිටි ශාසනභාරධාරී තෙර නමක් ලෙස ප්‍රකට මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ සමඟ සාකච්ඡා කොට ධර්ම සංගායනාවකට දායකත්වය සැපයීමයි. මහා පරිනිර්වාණයෙන් වසර තුන්සියයකට පසු ඇරඹෙන ධර්මදූත ක්‍රියාවලියෙන් පළමු පියවර ලෙස මේ ධර්ම සංගායනාව හැඳීන්විය හැකි ය.

චින්තන නිදහස හා කරුණාව මෛත්‍රිය වැනි කරුණු ධර්මදූත සේවයෙහි කිසිකලක බැහැර නොවීම ඉතා ප්‍රශංසනීය වේ. එයට සාක්ෂි සපයන විශේෂතම සිදුවීම ධර්මාශෝක රජතුමාගේ ධර්මදූත සේවයයි. ධර්මාශෝක රජතුමා බුදු දහම හඳුනා ගන්නා අවධිය වන විට එම අවිධියේ සිට ඉතාමත්ම ප්‍රබලම අධිරාජයා ඔහු ය. අවට රාජ්‍යයන් වූ තායිලන්තය, බුරුමය, කාශ්මීරය වැනි රාජ්‍යයන් වලට බලහත්කාරයෙන් බුදුදහම පැටවීම ඔහුට ඉතා පහසුවෙන් කළ හැකි ව තිබිණි. එහෙත් අවිහිංසාව මූලික කරගත් බෞද්ධ ධර්මදූත සේවයක පුරෝගාමියෙකු ලෙස ධර්මාශෝක රජතුමා බලය පාවිච්චි කොට එකී කටයුත්ත සිදු නොකරන්නේ එය බෞද්ධ ධර්මදූත සේවයට අනුගත නොවන බැවිනි. මේ අනුව ඉන්දියාවේ ම බොහෝ ප්‍රදේශවලට ධර්මදූතයන් පත් කර යවන ලදී. ඉන්දියාවෙන් බැහැර වූ බුරුමය ශ්‍රී ලංකාව වැනි රටවල් වලට ද බුදුදහම පැමිණෙන්නේ මෙකී ව්‍යායාමයේ ප්‍රතිඵලයක් ලෙස ය. එසේම ඉතිහාසඥයින් තහවුරු කරන ආකාරයට සිරියාව, ඊජිප්තුව, මැසිඩෝනියාව වැනි රටවල්වලට ගිහි ධර්ම නියෝජිතයින් පත්කර යවන ලද බව සඳහන් වේ. දිග්විජය තුළින් රටවල් අල්ලා ගැනීමේ මෙහෙයුමක නිරත වූ චණ්ඩාශෝක රජතුමා බුදු දහමෙහි ආභාෂය තුළින් ධර්මාශෝක බවට පත්ව ධර්මය බෙදා හැරීම තුළින් එකී ජයග්‍රහණයන් ලබන්නට ගත් උත්සාහය ඉතා ප්‍රශංසනීයයි.

ලංකාවට උතුම් ලොව්තුරා බුදු දහම රැගෙන ඒමේ ගෞරවය හිමි වන්නේ පැවිදිව රහත් වූ ධර්මාශෝක මහරජතුමාගේ පුත්‍රයා වන මිහිඳු මහරහතන් වහන්සේටය. දහස් වාරයක් අසා ඇති මුත් ජීවගුණය මදකින් අඩු නොවන ලක්බිම මහ රජු හා මිහිඳු මහරහතන් වහන්සේගේ හමුවීම ලංකාවේ ඉදිරි ගමන් මාර්ගය සම්පූර්ණයෙන්ම වෙනස් කළ ඓතිහාසික සංධිස්ථානය ලෙස සටහන්ව තිබේ. බෞද්ධ ධර්මදූත සේවාවෙහි ගෞරවනීය ලක්ෂණ වූ අවිහිංසාව සහ බුද්ධි ප්‍රකෝපනය ලංකා ඉතිහාසයට ඇතුල්වන පළමු අවස්ථාවේ ම සටහන්ව තිබේ. කිසිදු ප්‍රාතිහාර්යකින් රජු බය ගැන්වීමක් නොකොට තමන් කවුද යැයි හඳුන්වා දෙන මිහිඳු මහරහතන් වහන්සේ සැඟවූ යටි අරමුණක් නොමැතිව තමන් ආ ගමන පිළිබඳව එවක ලක්දිව රජු වූ දෙවන පෑතිස් රජුට ප්‍රකාශ කර සිටියහ.

“සමණාමයං මහාරාජ ධම්මරාජස්ස සාවකා තමේව අනුකම්පාය ජම්බුදීපා ඉධාගතා “ යන මේ චිරප්‍රසිද්ධ ප්‍රකාශය බෞද්ධ ධර්මදූත සේවය විවෘතභාවය පෙන්වාදෙන ඉතාමත් අනගි අවස්ථාවකි.

( මෙම ලිපියේ ඉතිරි කොටස අව අටවක පෝදා පත්‍රයේ පළ වේ)