Print this Article


ජීවිතයෙහි සැනසුම සිතෙහි පිවිතුරුබව ම ය

ජීවිතයෙහි සැනසුම සිතෙහි පිවිතුරුබව ම ය

මහ රජ, අපි තථාගතයාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වෙමු. ඔබට සහ ඔබගේ මේ වැසියන්ට අනුකම්පාවෙන්, දඹදිව සිට මෙහි පැමිණියෙමු.

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය සාරාංශ කොට මිහිඳු මා හිමියන් විසින් රජතුමාට මුලින් පැවසූ මේ වදන් චිත්තපාරිශුද්ධියට මුල්වන බව ඉතා පැහැදිලි යි.

මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිව වැඩම කළ පළමු දිනය සේ ම, ඉන් අනතුරුව උදා වූ දින කිහිපය ම ලාංකේ ය සමාජයේ ප්‍රබල විපර්යාශයකට හේතු විය. එය යහපත් වූ විපර්යාසයකි. අනුබුදු මිහිඳු මා හිමියන් ලංකාද්වීපයට ආගන්තුක වූව ද උන්වහන්සේ දේශනා කළ ධර්මය ආගන්තුක වූයේ නැත. මනුෂ්‍යත්වයේ උතුම් බව පෙන්වා දෙමින්, ඒ උතුම් මනුෂ්‍යත්වයෙන් නිසි ප්‍රයෝජන ලබන ආකාරය පිළිබඳ දෙසූ දහම ආගන්තුක වූයේ නැත. ඒ දහම අකාලික ය. ආරම්භයේ පටන් තේරුම්ගත හැකි දහමකි. ලෝකයේ කෙළවර දක්වා ම ගැළපෙන දහමකි. ඒ අකාලික වූ දහම හෙළ ජන ජීවිතය ට කා වැදුණි.

උන්වහන්සේ පළමුවෙන් දේශනා කළ සූත්‍ර දේශනාව සිහියට නඟන්න. ඒ “චුල්ලහත්ථිපදෝපම” සූත්‍ර දේශනාවයි. “සුළු ඇත් පිය උපමා” කොටගත් දේශනාව හැටියට ද මේ දේශනාව හඳුන්වා දී තිබෙනවා. මේ සූත්‍ර දේශනාවෙන් පෙනුමෙන් ආගන්තුක වූ, තමන් වහන්සේ පිළිබඳවත්, ආගන්තුක වූ දහම පිළිබඳවත් මුලින් ම ලක්වැසියනට හඳුන්වා දුන්හ. මහා කාරුණික ව ප්‍රඥාවෙන් පිරිපුන් වූ තථාගත බුදුරජාණන් වහන්සේ පිළිබඳව හඳුන්වා දුන්හ. ඒ අනන්ත බුදුගුණ ඔබටත් මටත් ලක්ෂවාර ගණනින් මතකයේ පවතින “ඉතිපිසෝ භගවා අරහං” ආදී වශයෙන් බුදුගුණ තුළින් හඳුන්වා දුන්හ. ඒ බුදුගුණ අසාගෙන සිටින විට සිත ස්වභාවයෙන් ම පිරිසුදු බවට පත්වේ. එහි ප්‍රතිඵලය වූයේ රජතුමා ඇතුළු රට වැසියන් එක ම ධර්ම දේශනාවකින් ම තෙරුවන් සරණ ගිය බෞද්ධයන් බවට පත් වීම ය.

“අරහං” නම් බුදුගුණය සිහිපත් කරන්න. තථාගතයන් වහන්සේ සියලු දෙවි බඹු මිනිසුන්ගේ ආමිස ප්‍රතිපත්ති පූජාවන් ට සුදුසු වූයේ කුමක් නිසා ද? ඝෝර සසර ගමනේ ජීවිතය හා පැවැත්මේ ඇති කම්කටොළු ස්වභාවය නිසරු බව තේරුම් ගත් බෝධිසත්වයන් ඒ දුකින් නිදහස් වීම පිණිස අත්හැරීම නම් වූ පරමාර්ථ ධර්ම මාර්ගය පැහැදිලි වේ. සම්මත ලෝකය තුළ “මම” “මගේ” කියා පවත්වන පණ ඇති පණ නැති සියල්ල ම පරමාර්ථ වශයෙන් බලන විට හට අරගෙන නැසී යන ස්වභාවයක් ගනී. බැහැරවන ස්වභාවයක් ගනී. ඉවත්ව යන ස්වභාවයක් ගනී.

මේ නිසා සම්මත ලෝකය තුළ පැවැත් වූවත් පරමාර්ථ වශයෙන් කිසිවක් ස්ථිර නොවේ. සදාකාලික නොවේ. එබැවින් සිතින් යමක් දැඩිව අල්ලා ගැනීමෙන් නිදහස් කරගත යුතු බව පෙන්වා දේ. එය අවබෝධකරගත් උතුමෝ “අරහත්” හැටියට නම් කරති. “භගවත්” හැටියට නම් කරති. මේ නිසා අරහත් වූ භගවත් වූ බුදුරජාණන් වහන්සේ සියලු දෙවි බඹු මිනිසුන්ගේ ආමිස ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසු වෙති.

දෙවැනි පෑතිස් රජතුමා මුණ ගැසුණු පළමු අවස්ථාවේ දී ම අසන ලද අඹ ප්‍රශ්නයෙන් හා ඥාති ප්‍රශ්නයෙන් ඒ ප්‍රශ්නවලට දෙවන පෑ තිස් රජතුමා ලබාදුන් පිළිතුරු ඔස්සේ මනා වූ දහම් අවබෝධයක් ඇති කර ගත හැකි පිරිසක් මේ තම්බපණ්ණිය තුළ සිටින බව තේරුම් ගත්තා.

මේ නිසා “චුල්ලහත්ථිපදෝපම” සූත්‍ර දේශනාවෙහි තෙරුවන් පිළිබඳව කියවන විට හඳුන්වාදෙන විට තමාගේ ම හදවත පිරිසුදු වන බවක් ලක්වැසියාට දැනෙන්නට ඇත. තමන් ගත කරන ජීවිතය ආහාර ගැනීම, නිදා ගැනීම, වර්ගයා බෝවීමට පමණක් යොමු නොවී මරණ භයෙන් යුක්තව පමණක් ගත කළ යුතු ජීවිතයක් නොවන බවත් වටහා ගන්නට ඇත. එහි ප්‍රතිඵල ලෙස ලක්වැසියන් විශාල පිරිසක් තෙරුවන් සරණ ගියහ. බොහෝ පිරිසක් පැවිදි වීමේ අභිලාෂ ඇත්තේ වූ හ. “චුල්ලහත්ථිපදෝපම” සූත්‍ර දේශනාවෙන් තෙරුවන් පිළිබඳවත් ඒ වගේ ම දුර්ලභව ලැබූ මනුෂ්‍ය ජීවිතය කෙසේ ගත කළ යුතු ද කියන ආකාරයත් හඳුන්වා දුන්හ.

විමාන වත්ථු දහම් කතාවෙන් පාපයෙන් හෙවත් අකුසලයෙන් බැහැර වී කුසලයට යොමුවීම නිසා සතර අපායෙන් නිදහස් ව මනුෂ්‍ය ජීවිතයක් ලබන බව විශේෂයෙන් ම දෙව්ලොව උපදින ආකාරය පෙන්වා දුන්හ. කෙසේ හෝ ආහාර සපයා ගැනීමේ දී සිදුවෙන ප්‍රාණඝාත, සොරකම් ආදී පස් පව් බැහැර වෙන්න හේතුවක් වුණි. විමාන වත්ථු තුළින් මිහිඳු මහ රහතන් වහන්සේ ඒ පිළිබඳව ජන හදවත්වලට කාවැද්දනු ලැබූහ. මනුෂ්‍යයන් අතරම දෙවියන් හැටියට ජීවත්විය හැකි ආකාරය මේ දහම් කතාවෙන් පෙන්නා දුන්හ.

ඒ වගේ ම “පේතවත්ථු” තුළින් එසේ නොමැතිව ප්‍රාණඝාත, සොරකම්, කාමමිච්ඡාචාර, බොරුකීම්, රහමෙර මත්වතුරට යොමුවීම් ආදී වශයෙන් පස් පව් දස අකුසල්වලට යොමුවීම නිසා සතර අපායේ උපදින ආකාරය, සතර අපායේ ඉපදීමෙන් කල්ප ගණනාවක් නිදහස් නොවී දුක්විඳිමින් ගත කරන ආකාරය පෙන්වා දුන්හ. මනුෂ්‍ය ජීවිතය ම ඇසුරුකොටගෙන, පියවි ඇස්වලට නොපෙනුණත් තම වටා පිටාවේ ම ඒ ප්‍රේත ලෝකය පවතින ආකාරය ඔවුන්ට වැටහෙන්නට ඇත. පිනට කුසලයට බ්‍රහ්ම චරියාවට මිනිස් හදවත් යොමු කළා, මෙන් ම පාපයෙන් අකුසලයෙන් බැහැර කොට මනුෂ්‍යයන් ලෙස උපත ලබා පේ‍්‍රතයන්, තිරිසනුන් ලෙස ජීවත් නොවිය යුතු ආකාරය, ආදීනව හා සමඟින් ප්‍රේත වත්ථු තුළින් මතුකොට දැක්වූහ. මේ සූත්‍ර දෙක මනා කොට ගැළපෙන විට නියත වශයෙන් ම හැම මනුෂ්‍යයෙක් ම මේ දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම තේරුම් ගන්නට ඇත.

පේත වත්ථු තුළින් පෙන්නුම් කළ මරණින් පසු ජීවිතය මොනතරම් භයානක ද කියන කාරණය ඔවුන්ට වැටහුණි.

රාජ්‍ය පාලනය පවා දස රාජ ධර්මවලින් යුක්තව සිදු කෙරිණි. ලෞකික පැවැත්ම තුළ විටින් විට රාජ්‍යයන්වල ගැටුම් ඇති වූ බව සැබෑ ය. නමුත් ඒ ගැටුම්වලින් අනතුරුව ඒ හැම කෙනෙක් ම මහණ දම් පුරන්නට පවා යොමු වූහ. ඒ එදා මිහිඳු මහ රහතන් වහන්සේ ලබාදුන් දහම් පණිවුඩය බාහිර පරිසරය ගෘහ කර්මාන්තයෙන්, වාරි කර්මාන්තයෙන්, අක්ෂර කර්මාන්තයෙන්, චිත්‍ර කලාවෙන්, කැටයම් කලාවෙන් ආදී වශයෙන් අලංකාර වූණාටත් වඩා හදවත්වල ඇති වූ පාරිශුද්ධි ස්වභාවය මනුෂ්‍යයා මොනතරම් පිවිතුරු බවකට ගෙන ගියා දැයි පැහැදිලියි. මේ ඔස්සේ ගමන් කරන්නේ සියලු කෙලෙසුන්ගෙන් නිදහස්වීම ය.

මිහිඳු මහ රහතන් වහන්සේ දේශනා කළ “දේවදූත” සූත්‍රය තුළින් සසරෙහි ඇති භයානක බව විශේෂයෙන් ම පස්පව් දස අකුසල් සිදු කිරීමෙන් දුගතියේ ඉපදී විඳින්නා වූ අප්‍රමාණ දුක් පිළිබඳ කතාව පෙන්නුම් කරයි.

ලාංකේයයෝ එවකට නොයෙක් ආකාරයේ විශ්වාසයෙන්ගෙන් යුක්තව සිටියහ. ඔවුන් සැබෑ මාර්ගයක් පිළිබඳව නිසි අවබෝධයක් , මඟ පෙන්වීමක් නැති වුණත් නොපෙනන බලවේගයන් හා දෙවියන් හා අමනුෂ්‍යයන් පිළිබඳ ව යම් වූ ද අදහස් හැඟීම් තිබුණහ. ජන ව්‍යවහාරයේ පැවතුණු සිරිත් විරිත්වලින් එය පැහැදිලි ය. ඒ අනුව දෙවියන් පිළිබඳව, ප්‍රේතයන් පිළිබඳව, සතර අපාය පිළිබඳව දේශනා කළ දහම් පෙළ උපකාර වූයේ වඩාත් පිළිගත හැකි හා නිවාරැදි මාර්ගයකින් අවබෝධ කරගෙන යහපත් වූ මාර්ගයකට යොමු කරවීමක් හැටියට ය.

දේවදූත සූත්‍රය තුළින් තවදුරටත් දුර්ලභව ලැබූ මනුෂ්‍ය ජීවිතය, ළමා කාලයේ පටන් ම නිසි ලෙස පවත්වා ගත්තේ නැති නම් අඩුම තරමේ තරුණ කාලයේ, එසේත් නැතිනම් ගිලන් වූ විටක, මහලු වූ විටෙකවත් ජීවිතයේ සැබෑ ස්වභාවය තේරුම් ගත්තේ නැතිනම් අධාර්මික වූයේ නම් මරණින් මතු දුගතියට වැටී යමපල්ලන් විසින් ලබාදෙන දුක් පිළිබඳව, දඬුවම් පිළිබඳව මතු කොට දැක්වූ හ.

මින් අදහස් කරන්නේ පරලොව පෙන්වා මෙලොව බය ගැන්වීමක් හැටියට නොවේ. මෙලොව අකර්මන්‍ය කිරීමක් හැටියට නොවේ. මුලින් සඳහන් කළා සේ ඔහුන්ට සම්මුතිය පිළිබඳව හැඟීමක් තිබුණි. ඒ නිසයි හැම රජ කෙනෙක් ම තම රට ජාතිය ආගම වෙනුවෙන් යුධ වැදුණා කියන වචන පෙළත් අපේ රටේ ඉතිහාසයට එකතු වී තිබෙන්නේ. මහා වංශය තුළින් එය පැහැදිලියි. ඔවුන් එතැනට ගියේ ධර්මය පිළිබඳ අවබෝධයක් ඇතිව ම ය. එය පසු කාලයක දුටුගැමුණු ආදී රජවරුන්ගේ කතාවලින් ඉතාම පැහැදිලි වේ. ඔවුන් රට කරදර බාධකවලින් විදේශීය ආක්‍රමණවලින් නිදහස් කර ගත්තායින් පසුව නැවතත් ධර්ම මාර්ගයට එකතු වී දුර්ලභව ලබාගන්නා වූ ජීවිතවල සැබෑම යථාර්ථය තේරුම, ඵලය ඔහුන් ඉටු කරගත්හ. ගමයි, පන්සලයි, වැවයි, දාගැබයි කියන සංස්කෘතිය සිත්වලට ඇති වුණේ. ඒ නිසාම ය. ලක් ජන සමාජය ගොවිතැන් කටයුතු කිරීමේ දී ත්, සත්ත්ව පාලනයේ දී ත්, පස්පව්වලින් බැහැරව කටයුතු කළහ. ආධ්‍යාත්මික වශයෙන් එයට නොදෙවෙනි ව ඔවුහු විහාර දාගැබ් ආදී සියල්ල ම සිද්ධ කළහ. ඒ මාර්ගයට ඇතුළු වී පහසුවෙන් ආධ්‍යාත්මික දියුණුවක් ලබන තැනට පැමිණිමට යොමු කළහ. එය ශාසනය නමින් හැඳින්වූහ. එයට බොහෝ සේ උපකාර කළහ. සියල්ල අත්හැර දා කාමභෝගී ජීවිතයෙන් බැහැරව තුන් සිවුර හා පාත්‍රය පමණක් නො ඇලීමෙන් යුතුව තමා සතුයි යන සිතිවිල්ලෙන් කටයුතු කරන පිරිසක් බිහිවූහ. ඒ පිරිස ලක්ෂ ගණන් බවට පත්වූහ. එදා මිහිඳු මහ රහතන් වහන්සේ දේශනා කළ, තථාගත බුදුරජාණන් වහන්නේ පළමුව දේශනා කළ “ධම්මචක්කප්පවත්තන” සූත්‍ර දේශනාවත් මුල් දින කිහිපයේ දී ම දේශනා කළහ. ඒ දේශනාව ඔස්සේ සාමාජික වශයෙන්, සංස්කෘතික වශයෙන් යම් මඟකට ජන සමාජය ගෙන ඉන් අනතුරුව එක එල්ලේ ම ආර්ය අෂ්ඨාංගික මාර්ග, චතුරාර්ය සත්‍ය නිවන දක්වා යොමු කරනු ලැබූහ. අදටත් අවුරුදු දහස් ගණනාවක් මුළුල්ලේ සද්පුරුෂ, ගුණවන්ත මනුෂ්‍යයන් ලෙසින් ජීවිත පවත්වන්ට උපකාර වූ හ. මිහිඳු මහ රහතන් වහන්සේගේ මේ ශ්‍රී සද්ධර්මයෙන් පිරිපුන් වූ ආලෝකමත් වූ සූත්‍ර ඒ දේශනා ඔස්සේ කරන ලද ධර්ම ප්‍රචාරය නිසාම ය. මෑත කාලයේ පසු ගිය අවුරුදු දහසක් හෝ ඊට ටිකක් වැඩි කාලයක ඇති වූ බාහිර බටහිර ආදී වශයෙන් ආක්‍රමණ නිසා ඒ උතුම්, මිහිඳු මහ රහතන් වහන්සේ ලබාදුන් උපදෙස් ලාංකේය ජන හදවත්වලින් ටිකෙන් ටික බැහැරව ගියත්, කෙසේ වෙතත් තවමත් මේ ලක්දිව වැඩිපිරිසක් වූ ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවෝ ඒ දහමෙන් සැනසෙති. නුඹලාට අනුකම්පා පිණිස ධර්මරාජයාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වූ අපි මෙහි පැමිණියෙමු කියන ඒ අදහස අද දවසෙත් අපේ සිත්වලට හදවත්වලට දැනෙන විට අපේ සිත්වලට ඇතිවන චිත්ත පාරිශුද්ධිය මතු මත්තේත් කුරා කුහුඹියකුටවත් වරදක් නොවී තමනුත් සැනසී අනුන් ද සනසන සිතිවිලි මේ දහවත්වල රැව් දෙනු ඇත. තථාගත බුදුරජාණන් වහන්සෙස් අපමණ කලක් පාරමී ධර්ම සම්පූර්ණ කොට සම්මා සම්බුද්ධත්වය ලබා තුන් ලොවක් සැනසූයේ ද ඒ අදහස මුල් කොටගෙන මිහිඳු මහ රහතන් වහන්සේ මේ රටට වැඩම කොට ලබාදුන් ඒ දහම් උපදේශ අපගේත් ආධ්‍යාත්මය සුවපත් කරන්න, පිරිසුදු කරන්න සසර ගමනෙන් නිදහස් කරවන්න උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිස කෙතරම් බලපෑවේ දැයි සාරාැංශ කොට ඔබට මේ දහම් තේරුම් ගත හැකි ය.