Print this Article


ඉලක්ක ජය ගැනීමට ඉවසීම පුහුණු කිරීම

ඉලක්ක ජය ගැනීමට ඉවසීම පුහුණු කිරීම

අනුරාධපුරයේ සිටි ලෝමසනාග නම් භික්ෂූන් වහන්සේ නමක් සීත කාලයේ එක් දිනක සක්මන් මළුව කෙළවර වෙවුලමින් සිටින කල්හි එහි පැමිණි උන්වහන්සේගේ ශිෂ්‍ය හිමියෝ

“ස්වාමිනි, පිටත අධික සීතලයි. ඇතුළට වඩින්නැ’යි පැවසූහ. එවිට ගුරු හිමි,

“පොඩි නම, මම සීතලට බය හෙයින් එළියේ සිටිමි”

යනුවෙන් පැවසූහ.

“සීතලට බය නම් පිටත සිටීම නො මැනවැ”යි

ගෝල හිමියන් පැවසූ කල්හි ලෝකාන්තරික නරකේ යනුවෙන් “ලෝකයේ සීතල දරුණු” යැයි ලෝමසනාග හිමි පැවසුවේ ය.

තවත් අවස්ථාවක දැඩි උෂ්ණයක් පවතින එක් දිනක ලෝමසනාග හිමි දහඩිය වගුරුවමින් ආවාස ගෙයින් පිටත සිටිනු දුටු ශිෂ්‍ය හිමියෝ

‘ස්වාමිනි, දහඩිය දමමින් අව්වේ සිටින්නේ ඇයි? ඇතුළට ව ඩින්නැ’යි පැවසුවේ ය. එවිට “පොඩි නම මම උෂ්ණයට බිය නිසා පිටත සිටිමි. අපායේ ගිනිදැල් මෙයට වඩා අධික උෂ්ණයක් ගෙන දෙන්නේය”යි ලෝමසනාග හිමි පැවසුවේ ය. ලෝමසනාග හිමි මෙන් සීතල හා උෂ්ණත්වය දරාගැනීමට අපට ද ශක්තියක් තිබිය යුතු ය. ශීත හා උෂ්ණත්වය මෙන් ඇනුම් බැනුම්, කීර්ති ප්‍රශංසා ආදියේ දී ද අප ඉවසිය යුතු ය.

අටුවාවේ මෙවන් කතා පුවතක් ද දක්නට ලැබේ. දකුණු පළාත හෙවත් මාගම තේකිකඅභය නම් හිමි නමක් රාත්‍රි පහන් වන තෙක් ධර්මය දේශනා කළ අතර, ධර්ම ශ්‍රවණයට බොහෝ ගිහි පැවිදි පිරිස් පැමිණියහ. දේශනාව අතරතුර සමහරු පිරිකර පූජා කළහ. මෙය දුටු එක් භික්ෂූන් වහන්සේ නමක් ඊර්ෂ්‍යා පරවශ සිතිවිල්ලෙන්

මේ තේකිකඅභය කුමක් කරන්නේ ද?

බණ කියනවා යැයි මෙහි කෝලාහල කරන්නේ ය. ඔය කියන්නේ බණ ද? ආදී වශයෙන් දොස් පැවරුවේ ය.

දේශනාව අවසානයේ තේකිකඅභය හිමි ධර්ම ශාලාවෙන් පිටතට වඩින කල්හි දොස් පැවරූ භික්ෂුව ද පිටව ගියේ ය. ඔවුනොවුන් හඳුනා නො ගෙන භික්ෂූන් වහන්සේලා දෙදෙන ගමන් කළ අතර ගව්වක් පමණ දුර යන තෙක් වියපත් භික්ෂූන් වහන්සේ තේකිකඅභය භික්ෂූන් වහන්සේට දොස් නගමින් ගමන් කළේ ය.

ගව්වක් ගිය තැන උන්වහන්සේ වෙන් වූ අතර එහි දී තේකිකඅභය භික්ෂූන් වහන්සේගේ ශිෂ්‍ය හිමියන් සිය ගුරුහිමි අමතා “ස්වාමීනි, ඔබ වහන්සේ රාත්‍රී එළිවන තුරු ධර්මය දේශනා කළමුත්, ගව්වක් පමණ දුර, ගව්වක් බැණුම් අසමින් නිහඬ ව ආවේ ඇයි දැයි විමසුවේ ය. එවිට ගුරුහිමි පවසා සිටියේ දොස් නැගීම උන්වහන්සේට අයත් කාර්යයක්. ඉවසීම මට අයත් වැඩක්” යනුවෙනි. එනයින් පැහැදිලි කරන්නේ ඉවසීම අප තුළ ඇති කරගත යුතු මහඟු ගුණ ධර්මයක් බවයි.

ඉවසීම සඳහා අප ආශ්‍රව දැක්විය යුතු ය. කිසියම් අකැමැති අරමුණක් අප තුළ හටගත් කල්හි රත් වූ උණ කටුවේ රසදිය කඳ ඉහළ යන්නා සේ, වේදනාත්මක ස්වරූපයක් අප ශරීරය තුළ ක්‍රියාත්මක වේ. අපට යම් ද්වේෂ සහගත සිතිවිල්ලක් ඇති වූ බැව් දැනගත් විට තමන්ගේ දුර්වලකම පිළිබඳ ව සිතිය හැකි ය. එහෙත් අප නිරන්තරයෙන් කරන්නේ අනුන්ගේ දුබලකම් පිළිබඳව සිත යොමු කිරීමයි. එය වැරැදි ක්‍රියාවකි. එනයින් එකම ආකාරයේ ක්‍රියාවන් දෙකක් දෙයාකාරයකින් ක්‍රියාත්මක වන බව ප්‍රත්‍යක්ෂ වේ.

ආක්‍රෝශ බ්‍රාහ්මණයා බුදුන් වහන්සේට පරිභව කළ අවස්ථාවේ දී, චිංචිමානවිකාව බුදුන් වහන්සේ බරපතළ චෝදනාවකට ලක්කළ අවස්ථාවේ දී, ලොව්තුරා බුදුන් වහන්සේ කලබලයට පත් නොවූ සේක. යම් සිදුවීමක් පුද්ගල මනසට බලපානු ලබන්නේ ඔහු සිතන පිළිවෙළ අනුව ය. යමෙක් අපට දොස් නගන විට ඉවසා නිහඬව නො සිට යම් ප්‍රතික්‍රියාවකට පෙළඹුණහොත් එතැන් සිට එම වරදට අපි ද, හවුල්කරුවන් වෙමු. එසේ නම් තමන් අත වරදක් නො මැති බව හොඳින් දත් පුද්ගලයන් බාහිරෙන් පැමිණෙන ආක්‍රෝෂාදියේ දී කම්පා නොවීම ඉතා වැදගත් කාරණාවකි.

එක් අවස්ථාවක අපට හමු වූ 55 වියැති මවක් බෝගම්බර සිපිරි ගෙදර මරණීය දණ්ඩනයට නියම වී සිටියා ය. ඇය විසින් කරන ලද වරද පිළිබඳ ව විමසීමේ දී දැනගන්නට ලැබුණේ සිය ස්වාමියා අනියම් සම්බන්ධතාවයක් පැවැත් වූ කාන්තාවක් වෙත ගොස් එම සම්බන්ධය නවත්වන මෙන් ඉල්ලීමක් කළ ද ඇය එයට අවනත නොවූ හෙයින්, අසල තිබූ ආයුධයකින් ගසා ඇය මරණයට පත් කළ බවයි. ඒ අනුව මරණකාරියට මරණීය දණ්ඩනය නියම විය. ගැටුම සිදු වූ අවස්ථාවේ දී ඇය ඉවසීමෙන් ක්‍රියා කළේ නම් ඇගේ ජිවිතය අදත් ආරක්ෂිත ව පවතිනු ඇත.

වත්මන් සමාජය තුළ ළමා පරපුරේ ඉවසීම අතිශයින් දුර්වල තත්ත්වයක පවතී. අධ්‍යාපනය ලබන දරුවන් සිය ඉගෙනීම කළ යුතු ය. ඉවසීමක් , දරාගැනීමක් ඇති පුද්ගලයා සමාජයේ ජයග්‍රාහකයෙක් වනු ඇත. එසේ සැප හා දුක දරාගැනීමට අප පුරුදු වීම ජීවිතය ජය ගැනීමට මහත් උපකාරයක් වනු ඇත. මෑත යුගයේ අප රටේ විසූ කීර්තිධර ව්‍යාපාරිකයෝ ඉතා දුක සේ ජීවිත අරඹා ව්‍යාපාර ලොව හිණිපෙත්තට ම නැඟි අය වන අතර, ඔවුන් දරාගැනීම සම්බන්ධයෙන් අපට කදිම උදාහරණ ලබාදෙන්නෝ වෙති. බුදුන් වහන්සේ පූරණය කළ ඛන්තී පාරමිතාව, වීර්ය පාරමිතාව, අධිෂ්ඨාන පාරමිතාව මෙහි වැදගත්කම අපට මැනවින් පැහැදිලි කරයි.

දීපංකර බුද්ධ පාමුල නියත විවරණ ලැබූ බෝසතාණන් වහන්සේ තනිව අරහත් බව ලැබීම පසෙක ලා සසර දුක තෝරා ගත්තේ උන්වහන්සේ තුළ තිබූ, ශාන්ති, වීර්ය, අධිෂ්ඨාන පාරමී ගුණ හේතුවෙනි.

පොළොවෙහි රෝපිත ඉන්ද්‍රඛීලය සිවු දෙසින් හමා එන සුළඟින් නො සෙල්වෙන්නා සේ අකම්පිත ජීවිතයක් සකස් කරගත් පුද්ගලයා ඉදිරියට ම ගමන් කරනු ඇත. සැපත තුළ ගොඩනැගි ජීවිතයක් ගත කරන්නන්ට නිවනට යාම අපහසු කාර්යයකි. නිවන ලැබීම සඳහා අප ධර්මයෙන් සන්නද්ධ විය යුතු ය. ඉලක්කයක් කරා යාමට හොඳ දරාගැනීමේ හා අධිෂ්ඨාන ශක්තියක් ඇති විය යුතු ය. අද විවාහ ජීවිත දෙදරායාම ආදියට පදනම් වන්නේ ඉතා පහසුවෙන් විසඳා ගත හැකි සුළු කාරණාවන් බව පැහැදිලි ය. අන්‍ය මත ගරු නො කිරීම හා ආධ්‍යාත්මික ශක්තියක් ගොඩනගා නො ගැනීම නිසා ඉතා සුළු කාරණාවන් උදෙසා මිනිසා මිනී මරා ගනී. දරා ගැනීම පුහුණු කොට, චිත්තය දමනය කරගත යුතුවේ.

ස්ථාවර, නො වෙනස්වන ජීවිත සකස් කරගත් රහතන් වහන්සේලා සැනසීමට පත් වූහ. දොස් පරොස්, නින්දා – අපහාස ආදියෙන් ජීවිතය දුකට පත් කරගැනීම ධර්මය අපේක්ෂා නො කරන හෙයින් අපි අකම්පිත ජීවිත ඇති කරගැනීමට උත්සාහ කළ යුතු වෙමු.