Print this Article


ලොවක් වසඟ කළ හෙළ කලා ශිල්ප

ලොවක් වසඟ කළ හෙළ කලා ශිල්ප

චමත්කාරජනක සෞන්දර්ය විඥානය

බෞද්ධාගම පදනම් වූ සංස්කෘතියක් ඇති කිරීම සඳහා මිහිඳු මාහිමියෝ දුරදර්ශි ක්‍රියා පිළිවෙතක් අනුගමනය කළහ. මෙරටට වැඩම කිරීම සඳහා සුදුසු කාලය තීරණය කිරීම, රජතුමා සහ රටවැසියන්ට දේශනා කිරීමට සුදුසු ධර්ම දේශනා තෝරාගැනීම පමණක් නොව, බුද්ධ ශාසනය ලංකා භූමියෙහි මනාව ස්ථාපිත කිරීම සඳහාත් උන්වහන්සේ තවත් පියවර කීපයක් ම අනුගමනය කළහ.

ලක්දිව පාලන අගනගරය වුණු අනුරාධපුරය ඇතුළත් කර මහාවිහාර සීමාව ලකුණු කරන්නට යෙදුණේ ඒ සීමාවට යටත් වූ ප්‍රදේශය බුද්ධාඥාවට යටත් වන්නේ යැයි සැලකීම හේතුවෙනි. මුළු රටම පාලනය කරන අගනුවර බුද්ධාඥාවට ලක්වීම මුඟඵ රටම බුද්ධාඥාවට යටත් වූවා හා සමානය. එනම් මුළු රටේම බුද්ධ ශාසනය පැතිරීගියා හා සමාන ය. ලංකා භූමියෙහි පමණක් නොව ලක් වැසියන්ගේ සිත්වල ද බුදු දහම ස්ථාවර වීමට එකී ක්‍රියාව හේතු වූ බව නිසැකය. එසේම ලංකාවේ ම මව්පියන්ගෙන් ලංකාවේ ම උපන් පුතකු ලංකාවේ ම පැවිදි වී, ලංකාවේ ම විනය හදාරා ලංකාවේම විනය සංගායනා කළ විට සසුන මුල්බැස ගන්නේ යැයි සැලකූ බැවින් මිහිඳු මාහිමියන් විසින් ගන්නා ලද ඊළඟ පියවර වූයේ අරිට්ඨ කුමරු පැවිදි කිරීම, තමා සමඟ සම අස්නෙහි හිඳ විනය සජ්ඣායනා කිරීම සහ ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා යෙදවීමයි. එතැන් පටන් ජාතිය හා ආගම දෙකක් නොව එකක් ලෙස සැලකුණු අතර රාජ්‍ය සංස්ථාව විකාශනය වූයේ ද, ක්‍රියාත්මක වූයේ ද බෞද්ධාගම පාදක කරගෙන ය. ඉතිහාසය මුළුල්ලේ ම රජකම හිමිවීම සම්බන්ධයෙන් බලපෑ නීති පද්ධතියේ ප්‍රථම නීතිය වූයේ මෙරට පාලකයා අනිවාර්යයෙන්ම බෞද්ධයෙකු විය යුතු බවයි. මෙය කඩකළ නොහැකි වූත් , සෑම අතින්ම ආරක්ෂා කළ යුතු වූත් නීතියක් විය. මෙතැන් සිට ලංකා වාසීන්ට බුද්ධාගම හුදෙක් මෙලොව පරලොව සෙත සලසන ආගමක් හෝ බුද්ධිමය දර්ශනයක් පමණක් නොවී ය. එය එදිනෙදා ජීවිතය කෙරෙහි බලපෑ සමාජ නීති පද්ධතියේත් හැඩ ගැසීම හා පැවැත්ම කෙරෙහි විශේෂ බලපෑමක් ඇති කළ සංස්කෘතික දර්ශනයක් විය. එසේ හෙයින් මෙම යුගයේ පටන් ආරම්භ වුණු සාහිත්‍ය මෙන්ම කලා නිර්මාණවල පවා බෞද්ධ සංස්කෘතියෙන් ඔප්නැංවුණු නිර්මාණ ලක්ෂණ විද්‍යමාන වෙයි.

නව ආගමික පරිසරය නිසා හඳුනාගන්නට ලැබුණු නැවුම් සංකල්ප ද අල්පේච්ඡතාව සහ සරල බව ද තාක්ෂණික ඥානය සහ නිර්මාණාත්මක බව ද ලක්දිව කලා නිර්මාණවලට සෞන්දර්යාත්මක ආරම්භයක් එක් කළේ ය. බෞද්ධ වන්දනා ක්‍රම අතර මූලික වන ශාරීරික, පාරිභෝගික, උද්දේසික ධාතු වන්දනය සඳහා අවශ්‍ය නිර්මාණ ගොඩනැංවීම සිදුවූයේ මහින්දාගමනයෙන් අනතුරුව හඳුනාගත් බෞද්ධ සංස්කෘතියේ මහිමයෙනි. වෘක්ෂ වන්දනය වෙනුවට උතුම් ශ්‍රී මහා බෝධි වන්දනයටත්, මළවුන් ඇදහීම වෙනුවට නිවන් මග අවබෝධ කරගත් බුදුරජාණන් වහන්සේ වන්දනයේත් වටිනාකම ජනතාවට වටහා දුන් උන්වහන්සේ බුදුන් වැඳීම සඳහා සර්වඥ ධාතූන් නිධන් කළ චෛත්‍යයක අවශ්‍යතාව හඳුන්වා දුන් හෙයින් බුදුන් වහන්සේගේ දකුණු අකු ධාතුන් වහන්සේ නිධන් කළ ථූපාරාමය ඉදි කෙරිණි. බුදු දහම වැළඳගත් සෙසු රාජ්‍ය පාලකයන් ද පසු කාලයේ සර්වඥ ධාතු නිධන් කරමින් විශාල ප්‍රමාණයේ ස්තූප ගොඩනැංවූයේ මිහිඳු මාහිමි විසින් හඳුන්වා දෙන ලද නිර්මාණ සම්ප්‍රදාය අනුගමනය කරමිනි. චෛත්‍ය කෙරෙහි වූ ගෞරවය හා භක්තිය ප්‍රකාශ කිරීම සඳහා නිර්මාණ ශිල්පීන් විසින් පසුකාලීන ව ස්තූපයට පරිවාර අංග නිර්මාණය කරනු ලැබිණි.

ස්තූපයේ පරිවාර අංග ලෙස පියගැටපෙළ පාමුල සඳකඩපහණ ද, දෙපසින් මුරගල් සහ කොරවක්ගල් ද, අලංකාර කැටයමින් යුක්ත ව නිර්මාණය කරමින් ද්වාර ප්‍රවේශය සඳහා සෞන්දර්යාත්මක ප්‍රවේශයක් ඇති කෙරිණි. එම නිර්මාණ සඳහා ද බෞද්ධ සංකල්ප ම ඇසුරු කිරීමට නිර්මාණ ශිල්පීහු පෙළඹුණහ. සඳකඩපහණ බෞද්ධාගමේ හරය කැටිකොටගත්තක් වූ අතර, කැටයම් සඳහා පවා බෞද්ධ සංකල්ප හා බැඳුණු සත්ත්ව රූප තෝරා ගැනිණි. මහාචාර්ය සෙනරත් පරණවිතානගේ මතයට අනුව සඳකඩපහණෙන් සංකේතවත් වන්නේ භව චක්‍රයයි. අර්ධ කවයේ පිටතින් ම ඇත්තේ රාග ද්වේෂාදී ගිනිදැල් ය. විහාරයට ඇතුළු වන තැනැත්තා මේ ගිනිදැල් මැඩ ඇත්, අස්, සිංහ, ගව රූ පෙළින් නිරූපිත ජාති, ජරා, ව්‍යාධි, මරණ යන සතර බය නැති කරගෙන, ලියවැල නමැති තෘෂ්ණාව යටපත් කරගෙන පාරිශුද්ධිය කරා ගමන් කරයි. සඳකඩපහණ යනු පූජනීය ගොඩනැගිල්ලක ප්‍රවේශ දොරටුවේ ඇති මුල්ම නිර්මාණ අංගයයි. මෙකී සංකල්පයක් ඉදිරිපත් කිරීමේ පරමාර්ථය වූයේ එම ගොඩනැගිල්ලට පිවිසෙන්නාගේ මනස සංවර කිරීමට එය හේතු වන හෙයිනි. සංයමය මෙන්ම බුද්ධිගෝචර බව බෞද්ධ සංස්කෘතිය විසින් කලා නිර්මාණ කෙරෙහි හඳුන්වා දෙන ලද ප්‍රමුඛතම සංකල්පයයි. ක්‍රි.ව 9 සහ 10වන සියවස්වල සලපතල මළුව සහ වැලිමළුවත් ඇත් පවුරත් නිර්මාණය කර ස්තූපයේ අලංකාරය තවත් වැඩි කර තිබේ.

කුඩා ස්තූප සඳහා වටදාගේ ද විශාල ස්තූප අලංකරණය පිණිස වාහල්කඩ ද නිර්මාණය කරන්නට යෙදුණේ දෙවන පියවරක් වශයෙනි. වාහල්කඩ, ස්තූපයට එක් වූයේ මහින්දාගමනයෙන් සියවස් හතරකට පමණ පසුව ය. අනුරාධපුරයේ මිරිසවැටිය, රුවන්වැලි සෑය, අභයගිරිය, ජේතවනය සහ මිහින්තලේ කණ්ටක චෛත්‍යය යන ස්තූප සඳහා නිර්මිත වාහල්කඩ ස්තූපය හා බැඳී බෞද්ධ සංස්කෘතික නිර්මාණ සම්ප්‍රදායේ මුල්ම පියවර කීපයකි. එම නිර්මාණ පවා හැකි තරම් සංයමයෙන් යුත් සෞන්දර්යාත්මක කැටයම්වලින් අලංකාර කිරීමට කලා ශිල්පීහු උනන්දු වූහ.

ලක්දිව චිත්‍ර සහ මූර්ති කලාවේ ආරම්භය ද මහින්දාගමනයේ ප්‍රතිඵලයක් විය. මහින්දාගමනය සිදුවූ ආසන්නයේ ම ලක්දිව වාස්තු විද්‍යාවේ නිර්මාණාත්මක අගය වැඩි දියුණු වූ නමුත් මූර්ති සහ චිත්‍ර ශිල්පයේ වර්ධනය සිදු වූයේ ඊට පසු කාලයේ දී ය. අනුරාධපුර යුගයේ දී ආගමික මෙන්ම ලෞකික සිතුවම් කලා පිළිබඳ ව තොරතුරු විද්‍යමාන වේ. ආගමික විෂය සහිත සිතුවම් හෙවත් ජාතක කථා ස්තූප ගර්භය ඇතුළත ඇඳී බව මහාවංසය හා ථුපවංසයෙහි පැහැදිලිව විස්තර වෙයි. වන්දනය සඳහා බුද්ධ ප්‍රතිමා නිර්මාණය කළේ ද නිර්මාණශිල්පීන් බෞද්ධ කලාවෙන් ලද ආභාසයෙනි. අනුරාධපුරයේ බෞද්ධ මූර්ති අතර අග්‍රගන්‍ය නිර්මාණය වන්නේ බුදු පිළිමයයි. මහාථූපයේ ධාතු ගර්භයේ තැන්පත් කිරීම සඳහා දුටුගැමුණු රජතුමා අතින් ක්‍රි.පූ 2වන සියවසවන විට බුද්ධ ප්‍රතිමා නිර්මාණය ද සිදු වූ බවට සාහිත්‍ය මූලාශ්‍රය තොරතුරු දක්වයි. මහින්දාගමනයෙන් අනතුරුව හඳුනා ගන්නට යෙදුණු බුද්ධ චරිතයේ උතුම් ගුණාංග, හැකිතාක් ප්‍රතිමාවක් මගින් නිර්මාණය කිරීමට කලා ශිල්පියා උත්සාහ කළ බවට අනුරාධපුරයේ සමාධි, තොළුවිල, අවුකන බුද්ධ ප්‍රතිමා නිදර්ශන වෙයි. මේ හා සමගාමී ව පාරිභෝගික හා උද්දේසික චෛත්‍ය සඳහා පිළිමගෙවල් සහ බෝධිඝර නිර්මාණය කිරීම බෞද්ධ කලාවේ දියුණුවේ හා ව්‍යාප්ත වීමේ ප්‍රතිඵලයක් විය.

ගිහි පැවිදි අවශ්‍යතා සඳහා විවිධ ගෘහ නිර්මාණ ද මේ අතර බිහි විය. භික්ෂූන් වහන්සේලාට විනය කර්ම සඳහා උපෝසථ ඝර හෙවත් පොහොය ගෙවල් ද භික්ෂූන්වහන්සේලාගේ වාසය සඳහා නිර්මිත පඤ්චකාවාස හා පධාන ඝර හෙවත් පියන්ගල් ද, දාන ශාලා ද ආරෝග්‍යශාලා ද, ජන්තාඝර හෙවත් උණුදිය නාන පොකුණු, අනුරාධපුර බෞද්ධ කලා නිර්මාණ අතර හමුවෙයි. මේ සියල්ලක් ම මූලික අවශ්‍යතාවලට අනුව කැටයමින් ද අලංකාර කර තිබේ. පධාන ඝරවල දක්නට ඇති වැදගත් ලක්ෂණයක් වන්නේ කිසිදු ද්වාර ප්‍රවේශ කැටයමක් පවා නොමැති වුවත් අලංකාර බාහුල්‍යයෙන් යුත් මනහර කැටයම් සහිත කැසිකිළි ගල් පිහිටුවා තිබීමයි. මෙම කැසිකිළි ගල්වල ඉතා රමණීය විමාන නෙළා ඒ මැද කැසිකිළි සිදුර කැටයම් කර තිබේ. විසිතුරු කැටයම් නොමැති ගොඩනැගිල්ලක විසිතුරු කැටයම් සහිත කැසිකිළි ගලක් පමණක් නිර්මාණ කර තිබීම විශේෂත්වයකි.

මෙ පරිද්දෙන් ශ්‍රි ලංකාවේ බෞද්ධ යුගය ආරම්භ වීමත් සමගම ලක්දිව කලා නිර්මාණ බෞද්ධ සංස්කෘතික ලක්ෂණ ඇසුරු කරමින් වර්ධනය විය. උත්තර භාරතීය කලා සම්ප්‍රදාය මෙරට පැවති සංස්කෘතියට, දේශගුණයට සහ ආකල්පවලට ගැළපෙන සේ නව මුහුණුවරක් ගෙන හැඩගැසුණේ ය. එය මෙරට වාස්තු විද්‍යාව මෙන්ම චිත්‍ර, මූර්ති ප්‍රමුඛ වෙනත් සංස්කෘතික අංග කෙරෙහි ද බලපෑ ධර්මයක් විය. ඒ අනුව සරල සහ අල්පේච්ඡ බව ඔස්සේ හඳුනාගත් චමත්කාර ජනක සෞන්දර්ය විඥානය ද බෞද්ධාගම නිසා ලැබුණු අනුරාධපුර කලා නිර්මාණවල අනන්‍යතාව වෙයි.