Print this Article


පොසොන් උදාවේ දහම් සිසිලස

පොසොන් උදාවේ දහම් සිසිලස

බුදුරජාණන් වහන්සේ ලොවට දායාද කළ බුදු දහම, තුන්වන ධර්ම සංගායනාවෙන් පසුව අශෝක අධිරාජයාගේ අධීක්ෂණය යටතේ රටවල් නමයකට ධර්මදූතයන් වහන්සේලා වැඩම කළ ආකාරය ශාසන ඉතිහාසයේ සනිටුහන් වෙනවා. එම රටවල් නමයට අපේ ශ්‍රී ලංකාවත් ඇතුළත් වුණා.

සමණා මයං මහාරාජ යනුවෙන් එදා මිහිඳු මහරහතන් වහන්සේ දෙවන පෑතිස් මහරජුට තමන් වහන්සේ හඳුන්වා දෙමින් ආරම්භ කළ බුදු දහමේ පණිවුඩය මිහිඳු මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙහි වැඩම කළ ධර්මදූතයන් වහන්සේලාගේ ද සහායෙන් ලංකාවේ ගම් නියම් ගම් දක්වා පැතිරී ගොස් මුළු රටම බෞද්ධ සංස්කෘතිය තුළින් ඔපවත් වූ ආකාරය ශාසන ඉතිහාසය සනිටුහන් කරයි. එසේ ආරම්භ වූ බෞද්ධ පුනරුදය සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ශී‍්‍ර මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් සමඟ වැඩම කිරීමත් සමග වඩාත් අර්ථවත් ආකාරයෙන් සිද්ධ කිරීමට මාර්ගය පෑදුණු බව පැහැදිලි ය.

සංඝමිත්තා මෙහෙණින් වහන්සේ සමග ශ්‍රේණි දහ අටකට අයත් පිරිස් පැමිණීමත් සමගම ලංකාවේ දියුණුවට විවිධාකාරයේ නිර්මාණයත්ද බිහි වූ බව පැහැදිලි වනවා. අහස් උසට බැඳී දාගැබ්, ලෝවා මහා ප්‍රසාදය වැනි ගොඩනැගිලි, මහසයුර සිහියට නැගෙන අන්දමේ වැව්, සැතපුමකට අඟලක් වන ආකාරයට ඉදිකළ වාරිමාර්ග තාක්ෂණය, සිත් පිත් නැති මහා කළු ගල් තුළ උපශාන්ත බුදුරුව මතුවීම් වැනි විස්කම් වැඩ වසර දහස් ගණනක් ගත වූවද අද ද අපට දක්නට ඇත්තේ එදා ඒ සිදු කළ උදාර මෙහෙවරෙහි ප්‍රතිඵල අනුව බව පෙනී යයි. ඔබ ශී‍්‍ර ලාංකික බෞද්ධයෙක් නම් අද ඔබ අනුගමනය කරනු ලබන උසස් අන්දමේ සිරිත් විරිත් ආදිය මිහිඳු මහරහතන් වහන්සේ අපට දායාද කර දුන් ප්‍රතිඵල බව කල්පනාවට ගත යුතුය.

අද භික්ෂූන් වහන්සේලා සිවුර පොරවාගෙන ආගමික කටයුතුවල නිරත් වන්නේත්, ඔබ සුදු රෙදි පොරවාගෙන සිල් සමාදන්ව කටයුතු කරන්නෙත් මවුපිය ගුරුවර වැඩිහිටි ආදීන්ට ගෞරව දක්වා කටයුතු කරන්නෙත්, එදා දුන් එම දායාදයේ ප්‍රතිඵල නිසා බව අප වටහා ගත යුතු ය. මිහිඳු මහරහතන් වහන්සේ දෙසූ දහම් තුළින් පෝෂණය ලබා අතීතයේ ජීවත් වූ සිංහල ජනතාව ආදර්ශමත්, ගුණගරුක ජීවිතයක් ගතකළ බව ඉතිහාසයේ සඳහන් වෙනවා. රොබට් නොක්ස් ලංකාව ගැන ලියා ඇති සටහන්වල එය මනාව පැහැදිලි වෙනවා. “ඔවුහු (ලාංකිකයෝ ) බේබදුකමට පිළිකුලක් දක්වති. මෙම පුරුද්දට ඇබ්බැහි වූ අය ඔවුන් අතර සුලබ නොවෙති. අන්සතු දෙයක් ගැනීම පිළිකුල් කරති. ”ඉංගී‍්‍රසි පාලකයන්, සඳහන් කළේ මිනිසුන් දහස් ගණනක් අනුරාධපුරයට එක්රොක් වුවත් කිසිදු පොලිස් නිලධාරියෙකු නොමැති ව ඒ හැම දෙනෙක් ම කිසිදු කලබලයකින් තොරව ඉතා සන්සුන් ආකාරයෙන් ආගමික වතාවත් සිදුකර ආපසු විසිර යන ආකාරය පුදුමයක් බවයි. මේවා අද හිතන්නට ඕන දේවල්. මේ වන විට ඉදිරි අනාගත පරපුර සකස් කළ හැකි ද යන්න ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙන්නේ. මේ සඳහා බලපාන කරුණු අතර මත් වතුර අංක එකට බලපාන බව පෙනෙනවා.

එදා මත් වතුර පානය කිරීමට පිළිකුල් කළ සිංහලයා බේබදුකමට පුරුදු කළේ ඉංගී‍්‍රසි පාලකයෝ ය. ලංකාණ්ඩුකාර විලියම් ගෙගරි ලාංකිකයන් අතර මත් වතුර ප්‍රචලිත කිරීම පිණිස මහත් උනන්දුවෙන් කටයුතු කරපු කෙනෙක්. රට වැසියන් අකමැති වුවත් ඒ ගැන නොසලකා රටේ අස්සක් මුල්ලක් නෑර ම සෑම ගමකම ඔහු විසින් තැබෑරුම් පිහිටවනු ලැබුවා. මත් වතුර පානය කිරීමෙන් ලැබෙන රසය කුමක්දැයි පෙන්වීමට මත් වතුර නොමිලේ බෙදා හැරීමට සිදු වෙනවා. අවුරුදු කීපයකට කලින් මත්පැන් බීමට පෙළඹිය හැකි මිනිසුන් සියයට එක් අයකුවත් නොසිටි පළාත් ගැන මම දන්නවා.

විදේශ ආක්‍රමණ නිසා අපේ තිබූ සාරධර්ම බොහෝවිට ගිලී ගිය බව ඉතිහාසය පුරාවටම දකින්නට ලැබෙන දෙයක්. දරුවන් හදා වඩා වර්ධනය කිරීමේ දී මවුපියන්ට බුදු දහමෙන් දී ඇති උපදේශ වන්නේ වැරදි වැඩ වලින් ඉවත් කර යහපතෙහි පිහිටුවා ළමයන්ට ඉගෙනීමක් ලබා දිය යුතු බවයි.

එහෙත් මේ වන විට ගුණධර්ම කෙසේ වුවත් මොන ක්‍රමයකින් හෝ උසස් ඉගෙනීමක් ලබා දී උසස් රැකියාවකට යොමු කිරීමට බොහෝ දෙමව්පියන් උත්සාහ කරන්නේ. ‘ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු’ . ගුණයෙන් යුතු දරුවෙක් තමන්ගේ දෙමව්පියන් කවදාවත් අතරමං කරන්නෙ නැහැ මේ නිසා තමයි අංක එකට ගුණයත්, දෙකට දැනුමත්, තුනට හැකියාව ත් ඇති දරුවන් උසස් බව සඳහන් කර තියෙන්නේ. වාසනාවට වගේ අදත් තම මව්පියන් ඇස්දෙක වාගේ ආරක්ෂා කරන දූදරුවන් ද අප සමාජයේ දක්නට ලැබෙනවා වැඩිහිටියන් මහ මග දමා යන දරුවන් ගැන අප කතා කරනවා.

සමහරවිට කුඩා වයසේ තම මව්පියන් කළ වැරදි නිසා ඒ දරුවන් එසේ කරනවා වන්නට පුළුවන්. එම කි‍්‍රයාව නිවැරැදි යැයි කීමට උත්සාහ ගන්නවා නෙවෙයි. කුඩා කාලය තුළ තමන්ට දකින්නට අසන්නට ලැබෙන දේ පසුකාලීන ව තම ජීවිතයට උපයෝගී කර ගන්නා ආකාරය පැහැදිලි කිරීමටයි අවශ්‍ය වන්නේ. කුඩා දරුවා නිතර අනුගමනය කරන්නේ වැඩිහිටියන් කරන දේ. කතා කරන්නේ වැඩිහිටියන් කතා කරන භාෂාව. තරුණ පුතෙක් තම වයසක පියාට වතුර දුන්නේ පොල් කට්ටක. කෑම දුන්නෙ පුවක් කොළයක. දවසක් කෑම දෙන්න සොයන විට ඒ දෙකම හොයාගන්නට බැරි වුණා . ඔහුට හිටිය පුංචි පුතෙක්. ඒවා කෝ කියලා පුංචි පුතාගෙන් ඇසූවිට, උඹ වයසට ගියාට පස්සේ කෑම දෙන්න මම ඒවා අරන් තිබ්බා කියලා උත්තර දුන්නා. කරුණු තේරුම් ගත් තරුණ පුතා ඉන්පසු තාත්තාට හොඳීන් සංග්‍රහ කළා.

පුංචි ළමයින් කතා නොකළාට ඔවුන්ට ඇතිවන හැඟීම් මේ කථාවෙන් පැහැදිලි වෙනවා. වැඩිහිටියන් ළමයෙකුගෙන් ඉගෙන ගත යුතු පාඩම් මේවා. මේ නිසා වැඩිහිටියන් තමන් කරන කටයුතු පිළිබඳ ව අවබෝධයක් ඇතිව දරුවන්ට ආදර්ශයක්වන ආකාරයට කටයුතු සිදු කළ විට එමගින් තමන්ට සැනසීමක් උදාකර ගන්නට හැකි වනවා .

එදා පොසොන් පොහෝදා සාරධර්ම ඇතුව ආරම්භ වූ මෙම සංස්කෘතිය තව දුරටත් ඉදිරියට ගෙන යාමට අධිෂ්ඨාන කරගෙන වැඩි පිරිසක් කටයුතු කරන්නේ නම් ලාංකික ජන සමාජය යහපත් එකක් බවට පත් කිරීම අසීරු නොවන බව සඳහන් කළ හැකිය ඒ සඳහා ඔබට ති‍්‍රවිධ රත්නයේ ආශිර්වාද හිමි වේවා.