Print this Article


ප්‍රතිපත්ති පූජාවට පෙළ ගැසෙමු

ප්‍රතිපත්ති පූජාවට පෙළ ගැසෙමු

මහා මිහිඳු සංස්කෘතිය දේශයේ සමඟියට මූලික පදනම දමන ලදී. මෙම සංස්කෘතික පුනරුදය තුළින් ජාතියේ සාමූහිකත්වය සහ මානව සබඳතා ශක්තිමත් වී ශ්‍රී ලාංකේය ජනතාව ලෝකයේ භාග්‍ය සම්පන්න ජන කොටසක් බවට පත් විය.

විශාල වැව් සහ නෙක පොකුණුවලින් ද සනසන නුවර කළාවියේ ජනතාවගේ නිරන්තර ශීර්ෂාභිවන්දනයට පත් වූ අනුරාධපුර පුණ්‍ය භූමිය ශ්‍රී ලාංකික ජනතාවට පෙසොන් සමයට ආරාධනා කරන්නේ ඉමහත් ශ්‍රද්ධාවෙනි. අතීතයේදීත් එසේ සිදු විය.

තොසන් වඩන වන මැද පුන් සඳ අතරේ
අසන් මගේ ළඳ දිය පින් කළ මෙවරේ
තැනූ නොයෙක් වැඩ සිරිමා බෝ අතුරේ
ගොසින් වඳිමු ළඳ අප අනුරාධපුරේ

විටෙක රජරට නියඟයෙන් ඉරිතලා යයි. එහෙත් ලැබෙන සෑම අවස්ථාවක ම සිය ජීවනෝපාය වූ කෘෂිකර්මය ක්‍රමවත් ව ගොඩ නගා ගන්නා ජනතාව මිහිඳු සංස්කෘතියෙන් ලද පෝෂණයෙන් පෙසොන් සමයේ දී සැදැහැවතුන් සඳහා දැවැන්ත දන්සල් හා සිල් සමාදන් වන උවැසුවන්ට සංග්‍රහයන් සූදානම් කරයි. මිහිදු හිමියන් ලක්දිවට වැඩම කළ දිනය පෙසොන් දිනය යි. එදින ශ්‍රී ලාංකික ජනතාවට මහා සැණකෙළි දිනයකි. දෙවැනි පෑතිස් රජු අනුරාධපුරය තුළ උත්සව සංවිධානය කරමින් තම පිරිස සමඟ මිස්සක කඳු ශිඛරයේ මුව දඩයමේ නිරත විය. මෙම මොහොතේ දී මිහිදු මහ රහතන් වහන්සේ දෙවන පෑතිස් පරිපාලනය හා ඥාන ශක්තිය අවබෝධ කරගනිමින් බෞද්ධ දර්ශනය දේශීය සංස්කෘතියට බද්ධ කරයි.

මිහිදු මහ රහතන් වහන්සේ දේශනා කළ චුල්ල හත්ථි පදෝපම සූත්‍රය , දේවදූව සූත්‍රය , බාල පණ්ඩිත සූත්‍රය, විමාන වත්තු දේශනය, පේතවත්ථු ආදී දේශනා තුළින් ගැඹුරු සමාජ ධර්මයන් , අන්තර්ගතයන් අපට මඟ පෙන්වා දෙන ලදී.

මූලික දාර්ශනික පදනම විමංසනය යි. කුඩා ඇත්පා සටහන දැක ඒ පා සටහනෙන් දැක්වෙන්නේ වනයේ ජීවත් වන ලොකුම ඇතා යැයි නොසිතය යුතු ය. සොයා විමසා බලා විමංසනයෙන් යුතුව කටයුතු කළ යුතු ය.

දෙවන පෑතිස් හමුවේ දී ක්ෂණික අවබෝධය වැටහෙන බුද්ධියේ සුවිශේෂී ලක්ෂණ මිහිදු හිමියන් තේරුම්ගෙන අවබෝධය සහ තාර්කික බව සමාජයට ප්‍රභල සාධකයක් බව කියා දෙයි. හැඟීම් විචක්ෂණ සහ ප්‍රඥාව ද පොදු යහපතට මූලික පදනම් දමයි. මෙම දැවැන්ත මූල ධර්ම මිහිදු සංස්කෘතියෙන් සමාජයට පෙන්වා දෙමින් ක්‍රෝධ නොකිරීමටත්, ඉවසීමටත් නිර්ලෝභී ව අත්‍යවශ්‍ය බියෙන් තොරව අසුබ සෙවණැලි වලින් දුරස්ව ජීවිතයට මුහුණ දෙන ආකාරය මිහිඳු සංස්කෘතිය සමාජයට ඉස්මතු කර පෙන්වයි.

අනිත්‍ය බව , පීඩා සහිත බව සහ තමන් කැමැති ලෙස නොපවතින බව යන ත්‍රිලක්ෂණයන් තුළින් බෞද්ධ දර්ශනය ජීවිතය පිළිබඳ යථාර්ථය පැහැදිලි කර දුන් අතර, මිහිඳු හිමියන් තමාගේ සම්ප්‍රාප්තියෙන් අනුරාධපුර මහා විහාරය කේන්ද්‍ර කරගෙන විවිධ කලා කෘතීන් හා ගෘහ නිර්මාණ ශිල්පය තුළින් ජීවිතයේ සෞන්දර්යාත්මක පැතිකඩ අපට පෙන්වා දෙයි. අභයගිරිය, ජේතවනය, මිහින්තලය, ලෝවාමහා ප්‍රාසාදය, කුට්ටම් පොකුණ, රන්මසු උයන, පොකුණු පියගැට පෙළ, බිතු සිතුවම්, සඳකඩ පහන් ආදිය තුළ දැවැන්ත නිර්මාණාත්මක සම්භවයක් සෞන්දර්යාත්මක ලෙස ශ්‍රී ලාංකික චින්තනයට උරුම කර දෙන ලදී.

අනුරාධ ග්‍රාමය , මල්වතු ඔය කේන්ද්‍ර කරගෙන ගම්මාන ආරම්භයත් සමග ඉපැරැණි වාරි තාක්ෂණය සමඟ අභය වැව, තිසා වැව, වැනි නිර්මාණ වලින් අනුරාධපුර සමාජයේ ආර්ථිකය ගොඩනඟයි. විවිධ අතිරේක භෝග සමඟ සමාජය පෝෂිත සමාජයක් බවට මිහිඳු සංස්කෘතිය මඟින් නිර්මාණය වේ. අතීතය තුළින් ලබාගත් අත්දැකීම් සමඟ වර්තමාන සමාජයට පවා ජාතික නිෂ්පාදනයන්ට දායකත්වය ලබා දෙයි. වී නිෂ්පාදනය, බඩ ඉරිඟු , සෝයා ඇතුළු විවිධ නිෂ්පාදන භෝග මඟින් නිෂ්පාදන දායකත්වයෙන් රජරට ජනතාව අද ජාතියේ පෙර ගමන්කරුවන් වී ඇත.

දැවැන්ත ලෙස පෝෂණය වූ මිහිඳු ස ංස්කෘතියේ කේන්ද්‍රස්ථානය වූ අනුරාධපුර රාජධානියෙන් බිහි වූ මිහිදු සංස්කෘතියේ ජීව ගුණය වර්තමානය දක්වා අඛණ්ඩ ව ගලාවිත් එම ජීවය නිසාම වර්තමානයේ දී නිදහස් නිවහල් සාමකාමී ශ්‍රී ලංකාව බවට, වර්තමාන නිවැරැදි නායකත්වයක් තුළින් එක්සේසත්ව මෙම මොහොතේ පුණ්‍ය භූමියක් බවට පත් වී ඇත.