Print this Article


ලාංකේය ජන ජීවිතයේ ආධ්‍යාත්මික ප්‍රතිමූර්තිය

ලාංකේය ජන ජීවිතයේ ආධ්‍යාත්මික ප්‍රතිමූර්තිය

ශ්‍රී ලංකාවට බුදු දහමේ අසිරිය හිමි වන්නේ දඹදිව ධර්මාශෝක මහරජතුමාගේ ධර්ම විජය ප්‍රතිපත්තියේ තවත් එක් මහඟු ඵලයක අසිරිය නිස යි.

ඉතින් පියරජු සෙවණේ තම දහර දිවි පෙවෙත ගත කළ මහින්ද නම් පුත්කුමරු පියරජු එතෙක් අනුගමනය කළ දිග් විජය පිළිවෙත නිසා සිදු වූ කුරිරු මිනිස් ඝාතන හා වෙනත් ගොරබිරම් අත්දැකීම් නිසා යම් පමණකට සසල බවකින් කල් ගෙවන්නට ඇතැ යි සිතන්නට තරම් අපට කරුණු තිබෙනවා. එදා අපේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් සියවස් තුනකට පසු එනම් බු.ව.236 පොසොන්පුර පසළොස්වක පොහෝ දිනක මිහිඳු මාහිමියන් ලංකාවට වැඩම කරන්නේ එවකට ලංකාවේ රජකම් කළ දෙවානම්පියතිස්ස රජතුමාගේ අදෘෂ්ඨ මිත්‍රයෙකු වූ දඹදිව ධර්මාශෝක මහරජතුමාගේ ධර්මවිජය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක් ලෙසට යි. මිහිඳු මහරහතන් වහන්සේ තම පියමහ රජතුමාගේ මෙහෙයවීමෙන් ධර්මදූත කණ්ඩායමක් ද සමඟ මේ සිරිලකට වැඩමවන අවස්ථාව වන විට මෙරට විවිධ මිථ්‍යා ආගමික මතවාද විශ්වාස කළ පිරිසක් විසු බව අප පැහැදිලි ව දන්නා කරුණක්. යහපත, අයහපත පිළිබඳ පැහැදිලි දැක්මක් එදා පැවති කිසි ම දහමකින් ජනතාවට කියා දී තිබුණේ නැහැ. එදා සිටි ජනතාව ජීවිතයේ විවිධ තැතිගැනිම්, බියවීම්, අසරණවීම් වැනි අවස්ථාවල දී අන්ධ භක්තියෙන් එදා පැවති ආගමික මතවාද අදහමින් දහස් ගණන් හිංසාකාරි සත්ව බලබිලි පූජා පුදමින් යාග හෝම බලි බිිලි පූජා පවත්වමින් ඔවුන් ඒ ඒ වෙලාවට අවශ්‍ය කරන තාවකාලික අස්වැසිල්ලක් පමණක් ලබා ගත්තා. එහි භයානකකම නම් ඒ තාවකාලික අස්වැසිල්ල ත් සමඟ ම ඇති වන සදාකාලික පසුතැවිල්ල යි. ඒ කිසි ම දහමකින් දුකින් පෙළෙන සත්වයාට එයින් මිදීමට පිළිසරණක් හෝ මගක් කියා දුන්නේ නැහැ. එසේ කියා දී තිබුණා නම් මුල දී පෙන්වා දුන් පරිදි රජතුමා ඇතුළු රාජකිය පිරිස නැකත් ක්‍රීඩා දිනයක් ලෙස සැලකුණු පොසොන් පොහෝ දින හිංසක විනෝද ක්‍රීඩාවක යෙදීමට ඉඩක් නැහැ. එසේ නම් ඒ තත්වයෙන් මුදවා මේ නවතම දහම අනුව ජීවිත ගොඩ නගා ගැනීමට නම් ලක්වැසි ජනතාවට ධාර්මික ජීවන ප්‍රතිපදාව කුමක්දැ යි පෙන්වා දීමට උන්වහන්සේ උනන්දු වූ බව පෙනෙනවා. එසේ නම් එය එදා අවශ්‍ය කර තිබුණු සුචරිතවත් දැහැමි සමාජයක් ලංකාව තුළ නිර්මාණය කිරීම උන්වහන්සේගේ අරමුණ වුණා. තවත් සතෙකුට, ප්‍රාණියෙකුට හිංසාවක් කර ලබන සතුට ප්‍රීතිය මෙලොවට පරලොවට අවැඩ ගෙන දෙන ක්‍රියාවක් බැවින් ඊට හුරුව සිටි ලක්වැසි ජනතාව එයින් මුදවා ගැනීමට මේ නවතම දහම හේතු වුණා. එය අහම්බෙන් සිදු වූවක් නොව මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවේ දී ආරම්භයේ දීම දේශනා කළ ධර්ම දේශනා මගින් ජන හදවත්වලට එය ඇතුළු කිරීමට ගත් උත්සාහය නිස යි.

දේවානම් පියතිස්ස රජතුමා මුව දඩයමෙහි ගිය අවස්ථාවේ ඒ හිංසක විනෝද ක්‍රීඩාවෙන් අතමිදී ශාන්ත සුවයක ආශ්වාදය ලබන්නේ ත් එදා පටන් රට ධාර්මිකත්වයට යොමු වන්නේ ත් මිහිඳු මාහිමියන් ප්‍රධාන ධර්මදූත මෙහෙවරෙහි යෙදුණු ඒ උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේලාගේ උපශාන්ත දර්ශනයෙනු යි. එ පමණක් නොව මිහිඳු මාහිමියන් විසින් මාතෘකා කොටගත් සූත්‍ර දේශනා කීපයක් ද මෙම අවිහිංසාවේ ආශීර්වාදය ඉස්මතු කොට දැක්වීමක් වුණා.

මේ කාරණයේ දී අවිහිංසාව කියා කියන්නේ සත්වහිංසාව පමණක් ම නොවෙයි. අපේ ජීවන පැවැත්මේ දී යම් කිසියම් ක්‍රියාවකින් තවත් අයෙකුට හිංසනයන් වෙනවා නම් ඒ හැම ක්‍රියාවක් ම හිංසක ක්‍රියාවක් වෙනවා. එහෙම නම් පන්සිල් පදවලින් කියැවෙන දුසිරිත්වලින් තොර ජීවිතයක් ගත කිරීම ම අවිහිංසක පැවැත්මක් බවට පත් වෙනවා. ජීවත් වන මිනිසා නිසා තවත් අයෙකුට යම් හිංසාවක් වෙනවා නම් එය සාපරාධී ක්‍රියාවක් බවට පත් වෙනවා වගේ ම ඔවුන් දුක සේ රැස්කර ගන්නා දේපොළවලට යම් අගතියක්, පැහැර ගැනීමක්, විනාශයක් වෙනවා නම් එය ද බරපතළ හිංසනයක් බවට පත් වෙනවා. මේ තත්වය වෙනස් කරලීමට යි මිහිඳු මාහිමියන් දැහැමි පන්සිල් සුරකින සමාජයක් නිර්මාණය කිරීමට තමන් වහන්සේගේ දේශනා යොදා ගත්තේ.

අද අපේ බෞද්ධ සමාජයේ තහවුරුව පවතින මළගිය මව්පිය, ඥාතිමිත්‍රාදීන්ට පින් පැමිණ වීමේ චාරිත්‍රය තහවුරු වීමට බලපෑවේ උන්වහන්සේ දේශනා කළ “පේතවත්ථු දේශනාවේ” දැක්වෙන “තිරොකුඩ්ඪ” සූත්‍ර දේශනාව යි. මේ සූත්‍රයෙන් කියැවෙන කතාව ඉතා වැදගත් වෙනවා. මෙවැනි කතාපුවත් මගින් පස්පව් කරමින්, අධාර්මික ව ජීවත් වන අය ප්‍රේත ලෝකවල ඉපිද අනන්ත අප්‍රමාණ ව දුක් විඳීන අයුරු පෙන්වා දුන්නා. මේ පේතවත්ථු බුද්ධ දේශනාවේ හා අට්ඨකථාවේ එන විස්තරයට අනුව කෙනෙක් මිය ගිය පසු ප්‍රේතාත්ම භාවයක් ලබන්නට හේතූන් වන්නේ මෙලොවට, පරලොවට දුක පිණිස හේතු වන අකුසල කර්ම කිරිම යි. මේ අකුසල කර්ම ලෙස එම විස්තරයන්ට අනුව, සඟසතු දේ අයථා පරිහරණය, සත්ව හිංසාව, බොරුව, ලෝභය, ඊර්ෂ්‍යාව හා වෛරය, වැරදි කාම සේවනය බව විද්වතුන් විසින් කරන ලද පර්යේෂණ තුළින් පෙනෙනවා.

මේ නිසා ජනතාව පසපව් වලින් වැළකුණා. සත්පුරුෂ ව කටයුතු කරන, ශීලාදි ගුණධර්ම රකින අය පින්කම් කරමින් සිට මියගිය පසු දිව්‍ය විමානවල පහළ වන කථා පුවත් ඉදිරිපත් කරන විමානවත්ථු දේශනා මගින් සමාජයේ ධාර්මික ජීවන මං පෙත් විවර වුණා. දැහැමි සමාජයට අවශ්‍ය කරන. මිනිස් හදවත්වල කරුණාව ජනිත කරවීම, කළගුණ සැලකීම වැනි ගුණධර්ම ප්‍රගුණ කරවීම, දුකට පත්වන අයට පිහිට වීමෙන් ඒ අය මුදවා ගැනීම වැනි සමාජ සාරධර්ම රාශියක් ද සමාජයට හුරු කිරීමට හේතු වෙනවා. මෙහිදී හැදෙන වැඩෙන බාල පරපුර තේරුම් ගන්න ඉතා වැදගත් කරුණක් වන්නේ ළමා අවදියේ සිටම සුචරිතවත් දැහැමි මග කුමක් ද යන්න අවබෝධ කර ගැනිමට පෙළඹීම යි. හිංසාව හැමවිට ම තමන්ට ත් අනුන්ට ත් වධ දෙන කරුණක් වෙනවා. එපමණක් නොව මිහිඳු මහරහතන් වහන්සේ විසින් දේශනාවක් වශයෙන් ඉදිරිපත් කරන ලද “බාලපණ්ඩිත සූත්‍රයෙන්” උන්වහන්සේ ඉස්මතු කර දක්වන්නේ බාල අසජ්ජනයන්ගේ ඇසුරෙන් පුද්ගලයා පස්පවට යොමු වන ආකාරය මෙන් ම, නුවණැති සත් පුරුෂ සේවනයෙන් ජිවිතය උසස් තත්වයට පත් කරගත හැකි ආකාරය යි.

ගස්ගල් පර්වත අදහමින් විවිධ මිථ්‍යාමත අනුව කටයුතු කළ ජනතාව තුළ එම අන්ධ භක්තිය නැති කර බුද්ධාදී රත්නත්‍රයේ සරණ යාමේ අගය පෙන්වා දීම නිසා තෙරුවන් සරණ ගිය දැහැමි ගති සිරිත් ජනතාව වැළඳ ගත්තා.

ගමේ පන්සල, ගමේ පාසල බවට පත්වෙමින් ධර්ම ශාලාවට රැස්වන ගමේ ජනතාවට දහම කියා දෙන පන්සලේ හාමුදුරුවෝ ජනතාවගේ ආචාර්යවරයා, අනුශාසකයා බවට පත්වීම නිසා ගමත් පන්සල ත් එකට බැඳුණා. බටහිර ජාතින්ගේ පැමිණිම සිදුවුණු ක්‍රි.ව. 1505 දක්වා ම එය ශක්තිමත් වුණා. මේ නිසා ලංකාවට ආ පෘතුගීසින් ඇතුළු බටහිර ජාතීන් මේ තත්වය හරිහැටි දැන ගෙන ගමත් , පනසලත් ඈත් කරන විවිධ උපක්‍රම යෙදුවා. දරුවෙකු මවුගේ කුසේ පිළිසිඳ ගත් මොහොතේ සිට වයස් ගත ව මිය යන තුරාවට ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ මැදහත් වීමෙන් හැම වැදගත් කාර්යයක් ම සිදු කිරීම ලංකාවේ සාමාන්‍ය ජනජීවිතයට තදින් හුරු පුරුදු වුණා. උපන් දරුවට දෙනු ලබන නම පවා ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙන් ලබා ගත්තා. එය තෙරුවන් ගුණ ප්‍රකට වන, තෙරුවන් හෝ ධර්ම කරුණු හා සැසඳෙන අර්ථය දෙන නමක් බවට පත් වුණා. රජවරු පවා බුද්ධදාස, මුගලන්, කාශ්‍යප, සද්ධාතිස්ස වැනි නම් යොදා ගත්තේ ඒ හුරුව නිස යි.