ආර්ය ශ්‍රාවක ප්‍රතිපදාව 03:
පරිභෝජනයේ දී සිහි බුද්ධිය ඕනෑ
බලපිටිය, ශ්‍රී ලංකා ප්‍රාචීන
භික්ෂු විද්‍යාලයේ මහෝපාධ්‍යාය
රාජකීය පණ්ඩිත, දර්ශනපති
බලපිටියේ
සිරිසීවලි හිමි
ගොඩක් අය තමන් කැමැති අරමුණුවල ඇලෙනවා. ඒවායේ සතුටු වෙනවා. එය කෙළවර වෙන්නේ
රාගයෙන්. අකැමැති අරමුණු ප්‍රතික්‍ෂේප කරනවා. ඒවායේ දුක් වෙනවා. එය කෙළවර වෙන්නේ
ද්වේශයෙන්.
ජීවත්වීම සඳහා අපට අවශ්‍යතා රාශියක් තිබෙනවා. ඒ අවශ්‍යතා පුද්ගලයාගෙන් පුද්ගලයාට
වෙනස් වෙනවා. ඒත් ඇඳුම්, ආහාර, නිවාස හා ඖෂධ යන මූලික අවශ්‍යතා අපි කාටත් පොදුවේ
ප්‍රධාන වශයෙන් වුවමනායි. මේ මූලික අවශ්‍යතා නොමැතිව ජීවත්වීමට නොහැකියි. මේවා අප
භාවිත කළ යුතුයි. පරිභෝජනය කළ යුතුයි. එසේ භාවිත කරන විට සිහි බුද්ධියෙන්ම භාවිත කළ
යුතුයි. මූලික අවශ්‍යතා මනා සිහි බුද්ධියෙන් යුතුව භාවිත කිරීම, පරිහරණය කිරීම,
පරිභෝජනය කිරීම තමයි පටිසේවනා කියන්නේ.
උදාහරණයක් හැටියට මේ මූලික අවශ්‍යතා හතරෙන් ඇඳුම් ගැන පැහැදිලි කිරීමක් කරන්නම්.
මනුෂ්‍යයාට ඇඳුම් අවශ්‍ය වන්නේ විළි වසා ගැනීමටයි. විළි වසා ගැනීමට අමතරව අව්ව,
වැස්ස, සුළඟ, සීතල ආදී ස්වභාවික කරදරවලින් ආරක්‍ෂාවීමටත් ඇඳුම් අවශ්‍ය වෙනවා.මැසි
මදුරු ආදී සතුන්ගෙන් වන කරදරවලින් බේරීමටත් ඇඳුම් උදව් වෙනවා. මේ නිසා අපි ඇඳුමක්
සකස් කර ගත යුත්තේ, ඇඳුමක් තෝරා ගත යුත්තේ ඉහත කී කාරණා ඉටු වෙන විදියටයි.
ගැළපීම
තමන්ගේ වයසට, රැකියාවට ගැළපෙන ඇඳුම් තෝරා ගන්නත් දක්‍ෂ වෙන්න ඕන. කාලයට හා
ප්‍රදේශයට අනුවත් ඇඳුම් තෝරා ගන්න ඕන. ඒත් මිනිස්සු මේ සියල්ල අමතක කර දමා ඇඳුම්
තෝරා ගන්නේ විලාසිතා අනුවයි. නවීන මෝස්තර අනුවයි. විලාසිතාවන්ට, මොස්තරවලට ඇඳුම්
තෝර ගත්තම වෙන්නේ අනුන්ගේ ලස්සන ඇඳුම් දකින විට ඒවා අනුකරණය කරන්න පෙළඹෙනවා. අනෙත්
අයට වඩා තමන් කැපී පෙනෙන්න ඇඳුම් අඳීන්න ඕන කියන සිතිවිලි ඇති වෙනවා. ඒ විදියට
අඳීනවා. එවිට ඇති වෙන්නේ තමන් ගැනම තමන්ට මානයක්. තමන්ට වඩා ලස්සන ඇඳුම් ඇඳලා ඉන්න
අය කෙරෙහි ඊර්ෂ්‍යාවක් ඇති කර ගන්නවා. ද්වේශයක් ඇති කර ගන්නවා.
ඔබට දැන් පැහැදිලි ද? ඇඳුමක් නිසා ඊර්ෂ්‍යාව, ද්වේශය, මානය ආදි කෙලෙස් තමන් තුළ ඇති
වන ආකාරය. ඇඳුමක් අඳීන්නේ කුමක් සඳහා ද යන්න සිහි බුද්ධියෙන් සලකා ඒ අනුව තෝරා ගත්,
සකසා ගත් ඇඳුම් පමණක් අඳීනවා නම් කෙලෙස්වලින් සිත දූෂණය වෙන්නේ නැහැ. අනෙක්
අවශ්‍යතාත් සිහි බුද්ධියෙන් භාවිත නොකොළොත් ඇති වෙන්නේ සිත දූෂණය වෙන කෙලෙස්මයි.
විඳ දරා ගන්න
ලෝක ස්වභාවය අනුව අපට බොහෝ දේවල් විඳ දරා ගන්න සිදු වෙනවා. ඒවාට අප කැමැති වෙන්න
පුළුවන්. අකමැති වෙන්න පුළුවන්. ඒ මොනවා වුණත් ඉවසා විඳ දරා ගන්න වෙනවා. ඒක තමයි
ලෝක ස්වභාවය. ඒ වගේ දේවල් විෂය ක්‍ෂේත්‍ර ලෙස කොටස් තුනකට බෙදා දක්වන්න පුළුවන්.
ස්වභාවිකව සිදු වන සීතල, උෂ්ණ, අව්ව, වැස්ස, කුසගින්න, පිපාසාව, මැසි මදුරු සර්ප
ආදී සතුන්ගෙන් වන උවදුරුවලට අප නිතරම ලක් වෙනවා. මේ සියල්ලටම අප අකමැතියි. එයයි
සත්‍යය. එහෙත් මේවායින් ගැලවෙන්න අපිට පුළුවන්කමක් නැහැ.
විවිධ ආරක්‍ෂාකාරී උපක්‍රම යෙදුවත් ඒවායෙන් ආරක්‍ෂා වෙන්න පුළුවන් එක්තරා
ප්‍රමාණයක් පමණයි. මෙම ස්වභාවික විපර්යාස සියලු දෙනාටම පොදු බව දැන, දැක තේරුම් ගෙන
ඒවා ඉවසා විඳ දරා ගැනීමට පුරුදු වීමයි අධිවාසනා කියන්නේ. නැත්නම් කෝපය, කළකිරීම,
ඉච්ඡාභංගත්වය ආදී කෙලෙස් ඇති වෙනවා. එයින් සිත දූෂණය වෙනවා.
අපට අපේ නෑයෝ, යාළුවෝ, ගමේ අය, රක්‍ෂාව කරන තැන අය මේ විදියට එකට ජීවත්වෙන අය
නින්දා අපහාස කරනවා. ඒ අය අපව සැක කරනවා. විවිධ චෝදනා එල්ල කරනවා. බණිනවා. අපත්
එක්ක රණ්ඩුවට එනවා. ඒ වෙලාවට නින්දා අපහාස, ඇණුම් බැණුම් සියලු දෙනාටම පොදු බව
සලකා, එය තේරුම් ගෙන ඒවා ඉවසා විඳ දරා ගැනීමට පුරුදුවීමයි අධිවාසනා කියන්නේ.
නින්දා නොලබන කෙනෙක් නෑ
නින්දා අපහාස නොලබපු කෙනෙක් මේ ලෝකයේ ඇත්තේම නැහැ. “නත්‍ථි ලොකෙ අනින්දිතො” කියලා
බුදුරජාණන් වහන්සේ ම දේශනා කළේ ඒ නිසයි. දැන් බලන්න බුදුරජාණන් වහන්සේට ම මිනිස්සු
කොච්චර නින්දා අපහාස කළා ද? බොරු චෝදනා එල්ල කළා ද? චිංචිමානවිකාව නිසා ස්ත්‍රී
දූෂකයෙක් විදියට නින්දා ලැබුවා. සුන්දරී පරිබ්‍රාජිකාව නිසා මිනීමරුවෙක් ලෙස නින්දා
ලැබුවා. සමාජයේ බොහෝ දෙනෙක් මේ සිද්ධිවල දී බුදුරජාණන් වහන්සේ සැක කළා කියන එක මතක
තියා ගන්න. බුදුරජාණන් වහන්සේ ගැන එහෙම නම්, අප ගැන කවර කතා දැයි නුවණින් විමසා
බලන්න. එතකොට අන්අයගේ දෝෂාරෝපණ, නින්දා අපහාස ඉවසා සිටින්න ආත්ම ශක්තියක් ඇති වේවි.
අපේ මේ ශරීරය බොහෝ ආබාධ සහිත, දුක් සහගත එකක්. ඒකයි සත්‍යය. මේ ආබාධ නිසාම අපට
නොයෙක්වර ඉතා තියුණු ශාරීරික වේදනා විඳීන්න සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි මානසික
වේදනාත් විඳීන්න සිද්ධ වෙනවා. මෙන්න මේ ශාරීරික හා මානසික වේදනා සියලු දෙනාටම පොදු
බව දැන, දැක තේරුම් ගෙන ඒවා ඉවසා විඳ දරා ගැනීමට පුරුදු වීමයි අධිවාසනා කියන්නේ.
එහෙම නොකොළොත් කෝපය, කළකිරීම, ඉච්ඡාභංගත්වය ආදී කෙලෙස්වලින් සිත දූෂණය වේවි.
මෙහිදී තවත් දෙයක් පුරුදු වෙන්න ඕන. ගොඩක් අය තමන් කැමැති අරමුණුවල ඇලෙනවා. ඒවායේ
සතුටු වෙනවා. එය කෙළවර වෙන්නේ රාගයෙන්. අකමැති අරමුණු ප්‍රතික්‍ෂේප කරනවා. ඒවායේ
දුක් වෙනවා. එය කෙළවර වෙන්නේ ද්වේශයෙන්. අධිවාසනා යනු කැමැති අරමුණුත්, අකමැති
අරමුණුත් සම සේ ඉවසීමයි. එහෙම සමසේ ඉවසන්න පුරුදු වුණොත් රාගයක් ඇති වෙන්නෙත් නැහැ.
ද්වේෂයක් ඇති වෙන්නෙත් නැහැ. සිත උපේක්‍ෂාවට පැමිණෙනවා. |