වංචා කරනවා ද? ආදීනව බරපතළයි
ඕස්ට්‍රේලියාවේ, මෙල්බර්න් නුවර
The Mirror of the Dhamma Society
බෞද්ධ සංගමයේ අනුශාසක
ඉඳීපරපේ ධම්මසිරි හිමි
බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කාලයේ වංචාකාරී, සොර වෙළෙන්ඳෙකු මුල්
කරගෙන මෙම ජාතක කථාව දේශනා කළහ.
සැවැත් නුවර වෙළෙඳ මිතුරෝ දෙදෙනෙක් එකතු වී ව්‍යාපාරවල නිරත වූහ. එක් කාලයක ඔවුහු
ගැල්වල බඩු පටවාගෙන ගමින් ගමට, ජනපදයෙන් ජනපදයට ගමන් කරමින් වෙළඳාම්වලින් හොඳ
ලාභයක් උපයාගෙන ආපසු සැවැත් නුවරට පැමිණියහ. ඒ දෙදෙනා අතරින් එක් අයෙකු වංචනික,
කපටි අදහස්වලින් යුක්ත වූයේ ය. එබැවින් ඔහු මෙසේ සිතී ය. ‘මගේ යහළු වෙළෙන්දා දවස්
ගණනකින් හොඳ ආහාරයක් ගෙන නැත. සැප සේ නින්දක් ද නොලැබ මහත් වෙහෙසට පත් ව සිටියි.
මගේ ගෙදර සකස් කර ඇති ඉතා මිහිරි ආහාර අනුභව කර දිරවාගන්නට නොහැකි වී ඔහු
අජීර්ණයෙන් මියගිය පසු මේ ඉතිරි භාණ්ඩවලින් දෙකොටසක් මම ගනිමි. ඉතිරි කොටස ඔහුගේ
දරුවන්ට දෙන්නෙමි.’ මෙසේ යටි සිතින් සිතා භාණ්ඩ සහ ලාභය බෙදීම ‘අද බෙදමි, හෙට
බෙදමි’ ආදී වශයෙන් කියමින් දවසින් දවස කල් දැමී ය.
මෙවර කවරයේ සිතුවමින් දැක්වෙන්නේ කූට වාණිජ ජාතක කතාවේ
අවස්ථාවකි |
එහෙත් කපටි වෙළෙන්දා සිතූ ආකාරයට කිසිවක් සිදු නොවුණි. තම යහළුවාගේ අස්වාභාවික
ක්‍රියා පිළිවෙත නොරිස්සූ නුවණැති වෙළෙන්දා බලහත්කාරයෙන් භාණ්ඩ සහ ලාභය සම සම ව
බෙදා ගත්තේ ය. ඉන්පසු ජේතවන විහාරයට ගිය ඔහු බුදුරජාණන් වහන්සේ හමු වී නමස්කාර කර
එකත්පස් ව සිටියේ ය. එවිට බුදුරදුන් ඔහුගෙන් බොහෝ දවසකින් විහාරයට නොපැමිණීමට හේතු
විචාළහ. “උපාසකය, වෙළඳාම් අවසන් කර ආපසු සැවැත් නුවරට අවුත් දැන් සෑහෙන දවසක් කල්
ගතවිය. මෙතෙක් දවසක් බුද්ධෝපස්ථානයට පැමිණීමට ප්‍රමාද වූයේ කුමක් නිසා ද?
බුදුරජාණන් වහන්සේගෙන් ලැබුණු අවසරය පරිදි නුවණැති වෙළෙන්දා තම යහළුවා කළ කී දෑ
සවිස්තර ව උන්වහන්සේට ප්‍රකාශ කළේය. ඔහුට සවන් යොමු කළ භාග්‍යවතුන් වහන්සේ.
‘උපාසකය, දැන් පමණක් නොවෙයි. පෙර භවයකදීත් මේ තැනැත්තා මේ ආකාරයට ම වංචා කිරීමට
උත්සාහ කළේ යැයි’
වදාරා අතීත කථාව මෙසේ ගෙනහැර දැක්වූහ.
අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජතුමාගේ කාලයේ අපගේ මහබෝසතාණන් වහන්සේ එම
නගරයේ එක් වෙළඳ පවුලක උපත ලැබී ය. ඔහුට නම් තබන දවසෙහි ජන්ම පත්‍රය පරීක්ෂා කළ
ඇදුරෝ ‘පණ්ඩිත’ යනුවෙන් නම් තැබීම සුදුසු බව ප්‍රකාශ කළහ. එහෙයින් එම නම සම්මත විය.
ඔහු තරුණ වයසට එළඹි කල්හි ‘අතිපණ්ඩිත’ නම් වූ තවත් වෙළෙන්දෙකු සමග එකතු වී වෙළඳාම්
කටයුතු සිදු කළහ. ඒ දෙදෙනා බරණැස් නුවර සිට ගැල් පන්සියයක නොයෙක් වෙළඳ ද්‍රව්‍යයන්
පුරවාගෙන, පිට පළාත්වලට ගොස් වෙළඳාම් කොට, ලාභ උපයාගෙන නැවත තමන්ගේ නුවරට ම
පැමිණියහ.
ඉතිරි ද්‍රව්‍යයන් සහ ලාභ බෙදන අවස්ථාවේ අතිපණ්ඩිත නම් වෙළෙන්දා එකී ද්‍රව්‍යයන්
තුන් කොටසකට බෙදා ඉන් කොටස් දෙකක් තමන්ට අයත් විය යුතු බව කීවේ ය. හේතුව විමසූ
කල්හි ඔහුගේ පිළිතුර වූයේ
‘නුඹ පණ්ඩිත ය. මම අතිපණ්ඩිත ය’ යනුවෙනි.
ඔහුගේ තර්කය ඇසූ බෝසත් පණ්ඩිත තෙමේ ‘අප දෙදෙනාගේ ද්‍රව්‍යයනුත් සමාන ය. ගොනුන් හා
ගැල් ප්‍රමාණයත් සමාන ය. මිලත් සමාන ය. එසේනම් නුඹට කොටස් දෙකක් අයිති වන්නට
විදියක් නැත. සියල්ල බෙදාගත යුත්තේ සමසම ව බව නැවත නැවතත් කියන ලද මුත් අතිපණ්ඩිත
එයට එකඟ නොවී ය. මේ හේතුවෙන් ඔවුන් දෙදෙනා අතර වාද විවාද සහ ගැටුම් ඇතිවිණ.
තමන්ට අවාසි වන ආකාරයට ගනුදෙනුව සිදුවන අයුරු දුටු අතිපණ්ඩිතයා වැඩි කොටසක් වංචනික
ව අයත් කරගැනීමට ඔහුගේ පියාණන් සමග එක් ව උපායක් යෙදී ය. ඒ අනුව විශාල ගසක තිබූ ගස්
බෙනයක් ඇතුළත පියාණන් රඳවා ඔහුට මෙසේ උපදෙස් ලබා දුණි. ‘මම පණ්ඩිතයා සමග මෙතැනට
පැමිණෙන්නෙමි. අප දෙදෙනා අතර භාණ්ඩ සහ ලාභය බෙදිය යුතු ආකාරය ගැන ඔහු සමග වාද කරමි.
එවිට මම, මේ ගසේ වෙසෙන රුක් දෙවියන් ගැන කියා ඔබට නඩුව ඉදිරිපත් කරමි. ඔබ කිවයුත්තේ
අතිපණ්ඩිතයාට දෙකොටසක් ලැබීම යුක්ති සහගත බවයි.’
එසේ තම පියාණන්ට උපදෙස් දී යළිත් තම යහළු පණ්ඩිත වෙළෙන්දා සමග සුපුරුදු වාදය පටන්
ගත්තේ ය. අවසානයේ අතිපණ්ඩිත මෙසේ ඉල්ලා සිටියේ ය. ‘මිත්‍රය, අප දෙදෙනා මෙසේ
නිරන්තරයෙන් වාද කිරීමෙන් පලක් නොවේ. එහෙයින් මා අදහන රුක් දෙවියා වෙත මේ ප්‍රශ්නය
ඉදිරිපත් කර උන්වහන්සේ දෙන විසඳුම අනුව කටයුතු කරමු’. බෝසත් පණ්ඩිත තෙමේ ද තම
යහළුවාගේ ඉල්ලීමට එකඟව ඔහුත් සමග ම රුක් දෙවියා හමුවට ගොස් ගැටලුව ඉදිරිපත් කළේ ය.
එහිදී කලින් ලබාදුන් උපදෙස් අනුව රුක් බෙනයේ සැඟවී සිටි අති පණ්ඩිතගේ පියාණන්.
‘ද්‍රව්‍යවලින් සහ ලාභයෙන් කොටස් දෙකක් අති පණ්ඩිතයාට ලැබිය යුතු බව දේව නියමයයි’
යනුවෙන් පැවසී ය.
තම කපටි මිත්‍රයාගේ උපක්‍රමය මැනවින් වටහා ගත් පණ්ඩිත බෝසතුන් ඔවුන් දෙදෙනාට ම කදිම
දඬුවමක් දීමට සිතා ගත්තේ ය. එසේ සිතා අවට තිබූ දරකෝටු, පරඬැල් ආදිය ගසමුල ගොඩ ගැසී
ය. තම මිතුරා කරන්නට යන දෙය නොවැටහුණු අතිපණ්ඩිතයා ඒ ගැන විමසූ විට ‘මම ඔබේ රුක්
දෙවියාට ගිනි පූජාවක් කිරීමට සැරසෙමි’ යනුවෙන් පිළිතුරු දී දරගොඩට ගිනි තැබී ය.
ගින්න ක්‍රමයෙන් ඇවිලෙද්දී ගස් බෙනයේ සැඟවී සිටි අතිපණ්ඩිතගේ පියාණන්ට ඒ තුළ
තවදුරටත් රැඳී සිටිය නොහැකි ව කෑගසමින් එළියට පැන ගසේ අත්තක එල්ලුණේ ය. අවාසනාවකට
එම අත්ත කඩාගෙන බිමට වැටී හඬමින් මෙසේ පැවසී ය. “මේ ලෝකයෙහි කාරණා දන්නා වූ, පණ්ඩිත
භාග්‍යයෙන් යුක්ත වූ උත්තම පුද්ගලයා ම යහපත් වන්නේ ය. අතිපණ්ඩිතයා යන නාම
මාත්‍රයකින් වංචා ස්වභාවය ඇති පණ්ඩිතයන්ට පිය ව මඳක් දාගියමෝ වේ ද?”
මෙම ජාතක කථාවෙන් අපට දෙන ආදර්ශයන් කිහිපයකි.
වංචාව, බොරුව, සොරකම ආදී අධාර්මික උපක්‍රම මගින් තමන්ගේ අභිවෘද්ධිය සලසා ගැනීමට
ක්‍රියා නොකළ යුතු ය. ධම්ම පදයේ පණ්ඩිත වග්ගයේ 09 ගාථාවේ මෙසේ සඳහන් වෙයි. “තමන්
උදෙසා හෝ අනුන් උදෙසා, නැතහොත් තම අඹුදරුවන් උදෙසා හෝ අධාර්මික ලෙස ධනය රැස්කිරීමට
ප්‍රඥාවන්ත, සිල්වත්, ධාර්මික පුද්ගලයා කැමැති නොවෙයි.
වංචනිකයා, බොරුකාරයා රවටන්නේ අනුන් නොව තමන් ම බව ඔහුට නොවැටහේ.
අසත්පුරුෂ දුර්ජනයන් විශේෂයෙන් ම මිත්‍ර ප්‍රතිරූපකයන් සමග එකතු වී කටයුතු කිරීම
සෑම විට ම තවත් කරදර, අවුල්වලට පත්වීමට හේතුවකි.
දරුවන්ගේ වැරදි ක්‍රියාවලට උදව් කරන මව්පියන්ට අවසානයේ අත්වන ඉරණම, දරුවන් ද සමග
පිරිහීමට, විනාශයට පත්වීම පමණකි.
චංචනිකයන්ට, අසත්පුරුෂයන්ට හොඳ නරක ගැන අවබෝධ කරවීමට යහපත් ක්‍රියාවලින් හෝ අවවාද
අනුශාසනාවලින් ම පමණක් නොහැකි වූ විට බෝසතාණන් වහන්සේට වුව ද ඇතැම් අවස්ථාවල
ප්‍රායෝගික ක්‍රමවේදයන් අනුගමනය කිරීමට සිදුවිය |