Print this Article


ඉසුරින් මත් නොවී කිත් යසස් ඉපැයූ තරුණයා

ඉසුරින් මත් නොවී කිත් යසස් ඉපැයූ තරුණයා

ජීවිතයේ යසස සහ කීර්තිය ලබන්න අප කවුරුත් කැමතියි. ඒ වෙනුවෙන් මිනිසා මොනතරම් මහන්සි ගන්නව ද බලන්න. ජීවිතයේ බොහෝ වටිනාකම් ළඟා කර ගන්නේ විශාල කැප කිරීම් කරලා. අප දන්නා ලෝකයේ පැසසුමට ලක් වුණ ඉසුරුමත්, කිර්තිමත් මිනිසුන් ඕන තරම් ඉන්නවා. ඔවුන්ගේ ජීවිත කතා කියවනවා නම් අපට දැන ගන්න පුළුවන් කොහොම ද ඔවුන් එතනට ආවේ කියලා

පෙර දඹදිව රජගහ නුවර අභිවාතක නම් ඉතා බිහිසුණු රෝගයක් පැතිරුණා. මුළු නුවර ම මිනිසුන් මෙම වසංගතයට ගොදුරුව මිය යමින් සිටියා. රෝගය වැළඳුණු කිසිවකුට එයින් බේරීමට නොහැකි වුණා. රජ, සිටු, මැති, ඇමති පවුල්වල සිට පහළම පවුල දක්වා පැතිර ගිය මෙම රෝගයෙන් බේරිමට තිබුණු එකම පිළියම නම් තම නිවසේ පිටුපස බිත්තිය සිඳ එළියට පැමිණ නුවර අතහැර දා වෙනත් නුවරකට පලා යාමයි.

රජගහ නුවර සිටි ඉතා ධනවත් සිටු පවුලක වයස්ගත සිටුවරයා සහ ඔහුගේ බිරිඳ ද එම රෝගයට ගොදුරු වුණා. රෝගය දරුණු වූ බව දැනගත් මහලු සිටුවරයා තම එකම පුතු, ළඟට කැඳවා

“මා පුතණුවනි, මේ නුවරුන් බිලි ගන්නා අහිවාතක නම් ඉතා බිහිසුණු වසංගත රෝගයෙන් අපි ද පීඩා විඳීමු. තව නොබෝ දිනකින් අප මරණයට පත් වනු ඇත. එබැවින් ඔබ ගෙයි පිටුපස බිත්තිය සිඳ නුවරින් පලා ගොස් ජීවිතය බේරා ගන්න. ඔබ වයසින් වැඩුණු පසු පැමිණ මෙන්න මේ තැන් වල අප සඟවා ඇති සතළිස් කෝටියක් පමණ ධනය ගෙන සුව සේ ජීවත් වන්න.”

යැයි අවවාද කළා. මවුපියන් හැරදායාම හදවත නුහුලන ක්‍රියාවක් වුවද තම පියාගේ කාරුණික ඉල්ලීම පිළිගෙන රෝග බියෙන් බේරීමට පුතණුවන් ද තීරණය කළා.

වෙනත් නුවරකට පැමිණි සිටු පුත්‍රයා නොදන්නා නගරයක ඉතාම දුක සේ අප්‍රසිද්ධ ව ජීවත් වුණා. මව්පියන් ද දරුණු ලෙස උත්සන්න වූ රෝගයෙන් පීඩා විඳ මරණයට පත් වුණා.

කාලය ඉක්ම ගියා. තරුණ වියට පත් සිටු පුත්‍රයා පෙරළා රජගහ නුවර පිහිටි තම නිවස සොයා පැමිණියා. එහෙත් ඉතිරිව තිබුණේ නිවස තිබූ තැන සලකුණු පමණයි. සියල්ල කාලයේ වැලි තලාවෙන් වැසී ගොස් තිබුණා. සිටු පුතණුවන් කාගේ කවුද යන්න නුවර කිසිවකුටත් හඳුනාගත නොහැකි තරමට වෙනස් වී සටියා. තම පියා දුන් අවවාද අනුව සතළිස් කෝටියක ධනය තිබුණූ තැන්වල මං සලකුණු පරීක්ෂා කර බලා එම ධනය නොනැසී තිබෙණු දැක සතුටු වුණා. එහෙත් ධනය ගැනීමට පෙර බුද්ධිමත් තරුණ සිටු පුත්‍රයා මෙසේ සිතුවා.

‘වෙනත් නුවරක සිට පැමිණි මම හඳුනන, මගේ විස්තර දන්නා කෙනෙකුන් නොමැත. කිසිවක් නැති දුප්පත් වූ මා වැන්නෙක් එකවර මෙම ධනය ගෙන පොහොසතෙකු වූ සැණින් මිනිසුන් මා කෙරෙහි සැක උපදවන් පුළුවන් සොරෙකයයි චෝදනා කරන්න පුළුවන්න. එසේත් නොමැති නම් රජතුමාට පවරා දී මට හිමි ධනය රාජසන්තක කරන්න පුළුවන්. ඒ නිසා ධනය තිබෙන තැන්වලම තිබෙන්නට හැර නුවණින් විමසා බලා තම දිළිඳු වෙසින්ම රැඳී සිට උපායෙන් යුක්තව ජීවත් වීමට සිතුවා.‘

පසුව සුදුසු රැකියාවක් සොයා ගිය ඔහුට නුවර එක් වීදියක වැඩ කරන කම්කරුවන් පාන්දරින් අවදි කරවීමේ රස්සාවක් ලැබුණා.එය නම් කුලී වැඩ කරන කම්කරුවන්ට බැල මෙහෙවරකම් කිරීමක් වැනියි. හිරු උදාවීමට පෙර අවදි වී කෑ ගසමින් වීදි දිගේ ඇවිද යා යුතුයි. එම හඬින් අනෙක් කම්කරුවන් අවදි වී රැකියාවන් සඳහා පිටත්ව යාමට සූදානම් වුණා. පාන්දරම මහ හයියෙන් කෑ ගසා අන් අය නින්දෙන් අවදි කරන බැවින් ටික දවසක් යන විට ඔහු ‘කුම්භඝෝෂක’ යන නමින් ප්‍රසිද්ධ වුණා.

රජගහ නුවර අධිපති බිම්බිසාර මහ රජතුමා විවිධ හඬ පිළිබඳ මනා දැනුමක්, අවබෝධයක් තිබුණු රජ කෙනෙක්. රජ මාලිගයේ අලුයම අවදිව සිටි මහ රජතුමාට කීප දිනක්ම කුලවත් ධනවත් සිටු පුත්‍රයෙකු වූ මේ තරුණ ඝෝෂකගේ ගාම්භීර හඬ ඇසුණා. රජු මෙම හඬ පිළිබඳව විමසා බලා “මෙවැනි හඬක් නිකුත් වන්නේ මහා ධනවතෙකුගේ යැයි දැනගෙන ඝෝෂක තරුණයා රජ මාලිගාවට කැඳවා ඔහුගේ සියලු තොරතුරු විමසා දැන ගත්තා. තමන්ට ධනය ඇතැයි, වස්තුව ඇතැයි උඩඟු නොවී , නිහතමානී ව, සුළු රැකියාවක යෙදෙමින් තම වීර්ය, උත්සාහය සහ දැමුණු ඉඳුරන් ඇතිව සුදුසු අවස්ථාව එනතුරු බුද්ධියට අනුව උපායෙන් සිය ජීවිතයත් ධනයත් ආරක්ෂා කරගත් ආකාරය විමසා බලා නුවණින් කටයුතු කළ ඝෝෂක කෙරෙහි රජු පැහැදුණා. මව්පියන්ගෙන් හිමි සතළිස් කෝටියක ධනය තිබූ තැනින් ගෙන තරුණය ට භාර දී තම රාජ දියණියක් ද විවාහ කරදී රජගහ නුවර සිටු තනතුරේ පිහිටවනු ලැබුවා. මෙම පුවත ඉතා ඉක්මනින් දසත පැතිර ගොස් සැමගේ මුවින් ඝෝෂකගේ ගුණ කියවුණා.

පසු කාලයේ දිනක් බිම්බිසාර මහ රජතුමන්, ඝෝෂක සිටුතුමන් සමඟ බුදු රජාණන් වහන්සේ හමුවට පැමිණ ඝෝෂක සිටුවරයා එම තනතුර ලද ආකාරය පිළිවෙළින් කියා සිටියා. එම අවස්ථාවේ ඔවුන් දෙදෙනා අරභයා “නොපසුබට වීර්ය හා සිහිනුවණින් නිවැරදි දිවි රැකුමක් කරන දැහැමි වු අප්‍රමාදි වූ තැනැත්තාගේ යසස හා කීර්තිය වැඩෙන්නේයැ’යි” දේශනා කරමින් යසස සහ කීර්තිය ලැබීමට නම් අප චරිතයන් තුළ පුරුදු පුහුණු කළ යුතු ධර්ම කරුණු කිහිපයක් ද පෙන්වා වදාළා.

යසස කියලා කියන්නේ ඉසුරුමත් බවයි. නැත්තම් ධනවත් බවයි. කීර්තිය කියලා කියන්නේ අපේ චරිතයේ තිබෙන සීලා දී ගුණ ධර්ම හෝ අධර්මය දෙස් විදෙස් දනන්ගේ මුවඟ තුළ කතාබහට ලක්ව පැතිර යාමයි. ඝෝෂක සිටුවරයා මේ සා විශාල ඉසුරුමත් බවත්, කීර්තියත්, සිටු තනතුරත් ලැබුවේ

උත්සාහය ඇති බව, සිහි නුවණ ඇති බව, පිරිසිදු කය - වචනය - මනෝ කර්ම ඇති බව, නුවණින් විමසා පරීක්‍ෂා කොට කටයුතු කිරීම් ඇති බව,හික්මුණු ඉඳුරන් ඇති බව, දැහැමි දිවි පැවැත්මක් ඇති බව, අප්‍රමාදිව කටයුතු කිරීම් ඇති බව යන ධර්ම කාරණා ඔහු තුළ පුරුදු පුහුණු කරගෙන තිබුණ නිසයි.

ඝෝෂක තමන් හඳුනන කිසිවකුත් නැති නුවරක උත්සාහයෙන් යුතුව ජීවත් වුණා. හැමවිටම සිහි නුවණින් විමසා බලා තීරණ ගත්තා. කරන කියන සිතන හැම දෙයකම පිරිසුදු බවක් තිබුණා. ආසාවන් පසු පස හඹා ගොස් අනතුරේ වැටුණේ නෑ. දැහැමෙන් සෙමෙන් දියුණු වීමට සිතුවා. “ඉසුරු තිබුණත් නුසුදුසු කල නොවටී” යන කියමන සැබෑ කරමින් ඉසුරු මදයෙන් උඩඟු නොවී ඉවසීමෙන් දැමුණු ඉඳුරන් ඇතිව සුදුසු කාලය පැමිණෙන තෙක් බලා සිටියා. ඔහු කරන රැකියාවේ පවා කුසීතකම්, කම්මැලිකම් දුරලා අප්‍රමාදී ව කටයුතු කළා. ඔබත් කීර්තිය සහ යසස වැඩි දියුණු කර ගැනීමට බලාපොරොත්තු වන්නේ නම් මෙම කරුණු ඔබේ ජීවිතයට එක් කර ගන්න. අනුගමනය කරන්න. දවසක ඔබගෙ කීර්ති යසස් දසත පැතිරී යනවා නොඅනුමානයි.

මේ වන විට මුළු ලෝකයම ගිලගත් කොරෝනා වසංගතයත් එදා රජගහ නුවර ඇති වූ අභිවාතක රෝගය මෙන්ම දරුණුයි. එයිනුත් මිනිසුන් ලක්ෂ ගණන් මරණයට පත් වුණා. උත්සාහය, සිහිය, පිරිසිදුකම, නුවණින් විමසා කටයුතු කිරීම, ඉඳුරන් දමනය, දැහැමිකම, අප්‍රමාදී බව සහ නොපසු බට වීර්ය තිබෙන නිසා අපේ රටේ අපට අන් රටවලට වඩා ඉදිරියෙන් සිට මේ ගැටලුවෙන් මිදෙන්න පුළුවන්කම ලැබුණා. එසේ නොවුණු ලොව බොහෝ රටවල මිනිසුන් දැඩි අපහසුතාවයන්ට පත්ව සිටිනවා. ඒ සියලු දෙනාටම ද මෙම ධර්ම කාරණය අනුව සුවපත් වේවායි පතමු.