Print this Article


නිදහසේ සීමාව

නිදහසේ සීමාව

මානව ස්වාධීනත්වය ගැන සිතන විට මිනිසා සැබැවින් ම තමාට රිසි පරිදි ක්‍රියා කිරීමට තරම් නිදහස් ව සිටීදැයි සොයා ගැනීම දුෂ්කර ය. මිනිසා අභ්‍යන්තර හා බාහිර තත්ත්ව රැසකින් බැඳී ඇත. රජය පනවා ඇති නීති රීතිවලට අවනත වීම ඔහුගෙන් අපේක්ෂිත ය. ආගමික මූලධර්ම අනුගමනය බලාපොරොත්තු වෙයි. ඔහු ජීවත් වන සමාජයේ සාමාජීය හා චාරිත්‍රමය තත්වයනට සහයෝගය දැක්වීම අවශ්‍ය වේ.

ජාතික හෝ ගෝත්‍රික සිරිත් හා සම්ප්‍රදායන් රැකුමට ද බල කෙරෙයි. වර්තමාන සමාජයේ දී ඇතැම් විට ජීවන කරුණුවලට එකඟ නො වීමට ද නැඹුරු විය හැකි ය. ඇතැම් ජීවන මාර්ග සඳහා යථායෝගය වීමට ද සිදුවෙයි. ස්වභාවික නීතියට සහයෝගය දීමට බැඳී සිටියි. විශ්ව බල වේගයන් පිළිබඳව ද එසේ ය. ඔහු ද එම බලවේගයේ කොටසක් වන හෙයිනි. ප්‍රදේශයේ දේශගුණික කාලගුණික තත්ත්වයනට ද හේ විෂයය වෙයි. තම ජීවිතයට හෝ භෞතික පදනම් කෙරෙහි හෝ අවධානය යෙදීම පමණක් නො ව තම ආවේගයන් පාලනය කළ හැකි මනසකින් යුක්ත වීමට ද සිදු වේ. වෙනත් වචනවලින් කිවහොත් ඔහුට නිදහසේ සිතීමට නිදහසක් නැත. මක්නිසාදයත්? එම සිතිවිලිවල බලපෑමට අසුවීමෙන් ඔහු ගේ පැරණි අදහස් උදහස් තීරණ ඉවත ලෑමට හෝ ප්‍රතිරුද්ධ කාරණයට හෝ යෙමු වී තිබීම යි. ඒ අතරතුරෙහි දී ම දෙවියන්ගේ කැමැත්ත පරිදි ඔහුට කීකරුව ඔහු කියන පරිදි වැඩ කිරීමටත් තම අභිමතය අනුගමනයට ඉඩක් නොමැති බවත් විශ්වාස කිරීමට සිදු වේ. මිනිසා බැඳී ඇති ඉහත කී වෙනස් වීම් තත්ත්වයන් සලකා බැලීමෙන් අපට මෙ වැනි ප්‍රශ්න පැන නැගිය හැකි ය. එනම් මිනිසාට තම අභිමතය පරිදි ක්‍රියා කිරීමට නිදහස තිබිය යුතු ය යන අයිතිය තුළ සත්‍යතාවක් තිබේ ද යනුයි. මිනිසා ගේ දෑත් තදින් බැඳ තබා ඇත්තේ මන් ද? එයට හේතුව ඔහු තුළ විවිධ අයහපත් මූල ද්‍රව්‍යයන් ඇති නිසා ය. ඒ මූලික ආශාවන් සකල ජීව ප්‍රාණීන්ට ම අනතුරුදායක හා විනාශකාරී වේ.

පසුගිය අවුරුදු සිය දහස් ගණන තුළ සියලු ආගම් තැත් කරමින් සිටියේ විශ්වාසය තැබිය නො හැකි මිනිසා ගේ ඊනියා ආකල්පයන් හීලෑකර ඔහුට උත්තරීතර ජීවිතයක් ගත කිරීමට කෙසේ ඉගැන්විය යුතු ද යන්න අධ්‍යයනට ය. නමුත් අවාසනාවකට මෙන් මිනිසා කොතරම් හොඳ මූණක් පෙන්නුව ද විශ්වාස කළ හැකි තත්ත්වයක් නොමැත. මිනිසා තවමත් ඔහු තුළ අකුසල මූලයන් සඟවා ගෙන සිටී. එකී අකුසල මූලයන් බාහිර ප්‍රභවයකින් ඉදිරිපත් කළ හෝ බලපෑම් කළ හෝ ඒවා නොව මිනිසා විසින් ම අභ්‍යන්තරයේ ජනිත කළ ඒවා ය. ඒ මිනිසා විසින් ම නිර්මිත හෙයින් ඒවායේ අන්තරායකාරී බව වටහා ගැනීමෙන් පසු මහත් ප්‍රයත්නයක් දරා ඉන් මිදිය යුතුව ඇත. අවාසනාවකට මෙන් වැඩි කොටසක් කුරිරු ය, කපටිය, දුෂ්ට ය, අකෘතඥ ය, අවිශ්වාසදායක ය, අවිනිශ්චිත ය. මිනිසාට තම අභිමතය පරිදි ස්වාධීන ව හා මධ්‍යස්ථභාවය හා වැළකීම් රහිතව කටයුතු කිරිමට ඉඩ දුනහොත් අහිංසක මිනිසුන් ගේ සාමය හා සතුට විනාශ කරණු නිසැක ය. ඔහු ගේ හැසිරීම රැදුරු තිරිසනුන්ගේ චර්යාවට වඩා නරක එකක් විය හැකි ය.

ආගමක් අවශ්‍ය වන්නේ ඔහුට වැදගත් ජීවිතයක් ගත කිරීම මෙන් ම සාමය හා සතුට මෙලොවදී හා පරලොව දී ලැබිය හැකි සේ පුරුදු පුහුණු වීමට ය. ආගමික ජීවිතයට හා ආධ්‍යාත්මික ප්‍රගතියට එරෙහිව ඇති තවත් බාධකයක් නම් වර්ගවාදී අහංකාරත්වය යි.

බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයනට ආගමික ක්‍රියා කාරකම්වල දී ජාතිභේද ප්‍රශ්නයන් මතුවීමට ඉඩ නො තබන ලෙස අනුශාසනා කළ සේක. බෞද්ධයිනට උගන්වා ලූයේ තම ජාති කුල පන්ති විශේෂත්වයන් යටපත් කිරීමට ය. ආගම් අනුව සියලු ජනයා තම තමන්ට ආවේනික පෞද්ගලික ජීවන මාර්ග ඉස්මතු කර සෙසු අය කොන් කිරීමට තැත් නො කළ යුතු ය. සියලු දන එකසේ සැලකිය යුතු ය. ආගමික කටයුතුවල දී ඇතැම් ආගම්වල අනුගාමිකයන් වෙනත් ආගමිකයනට වෙනස්කම්, විරුද්ධවාදීකම් කරන බව කිව හැකි ය. තම තමන් ගේ ඊනියා සම්ප්‍රදායයන් හෝ සිරිත් නිසා අනුන් සමඟ වැඩ කිරීමේ දී එකිනෙකා ගේ භක්තියට බාධා කිරීම හෝ රිදවීම නො කළ යුතු ය.