Print this Article


තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත් නා හිමියන්ගේ කතාව 05 කොටස: පද්මසිරිගේ මහණ පින්කම

තිස් වසරක යුද්ධය මැද නාගදීපය රැකගත් නා හිමියන්ගේ කතාව 05 කොටස:

පද්මසිරිගේ මහණ පින්කම

නාගදීප විහාරාධිපති ව වැඩ විසූ රන්දොඹේ සෝමසිරි තිස්ස නා හිමියන්ගේ තෙමස් සමරු පින්කම දා පැවිදි කිරීම පිණිස නවදගල බීටින් මහතාගේ බාල පුත් පද්මසිරි මැන්දිස් නාගදීපයට කැඳවාගෙන ගියේ ය.

එහිදී දඟකාරකම්වල නියැළුණු පද්මසිරි පැවිදි පින්කමට පෙර දින මුළුතැන්ගෙට ආසන්නයේ තිබූ පලු දෙකකින් යුක්ත කබඩ් එකක් ඇර බලා එහි පිඟන් ඇතුළු වීදුරු භාණ්ඩ තිබෙනු දැක එය වසා දැමුවේ ය. ඔහුගේ නෙත ගැටුණේ කබඩ් එක මත ඉහළින්ම තිබූ කැටයම් කළ රන්වන් පැහැති හක් ගෙඩියකි.

එය ගෙන බලන්නට පද්මසිරිට අවශ්‍ය විය. එහෙත් පද්මසිරි උස මදි ය. මුල්ලක තිබුණු කුඩා බංකුවක් ගෙන ආ පද්මසිරි එයට නැග්ගේ ය. ඒත් හක්ගෙඩියට තවත් අඟල් දෙක තුනක් උස මදි ය. පද්මසිරි දෙපයේ ඇගිලිවලින් ඉස්සී කබඩ් එක ඉහළට අත දිගු කෙළේ ය. ඒ සමඟම බංකුව පෙරළී ගියේ ය. පද්මසිරි කබඩ් එකේ මදුණේ එල්ලුණේ ය. කබඩ් එක පද්මසිරි සිටි පැත්තට ඇලවෙන්නට පටන් ගත්තේ ය. ඒ සමඟම කබඩ් එකේ දොරපලු ඇරී පිඟන් බඩු සියල්ල එළියට පෙරළී කුඩු පට්ටම් වී ගියේ ශබ්ද නඟමිනි. පියන් විවෘත වූ කබඩ් එකේ පද්මසිරි එල්ලී සිටී.

‘‘බුදු අම්මෝ..! බේරගනියෝ‘‘ පද්මසිරි කෑගසන්නට විය.

මුළුතැන්ගේ පැත්තේ සිට පිඟන් වැටෙන ශබ්දයට දුව ආ අයෙක් පද්මසිරි ඉවතට ඇද ගත්තේ ය. ඒ සමඟම කබඩ් එක බිමට පතිත වූයේ දොර පලු දෙක ගැලවී විසි වී යමිනි.

තත්ත්පර 5ක් හෝ 6ක් එම තරුණයා ප්‍රමාද වූයේ නම් පිඟන් කටු හා කබඩ් එක අතරට සිර වන පද්මසිරි දොරට අසු වූ හූනකුගේ තත්ත්වයට පත් වන්නට තිබුණි.

මේ කාලගෝට්ටිය ඇසී එතනට කඩිනමින් වැඩම කළ ධම්මකිත්ති හිමියෝ හිසේ අත ගසා ගත්හ. පද්මසිරිට පියාගේ කෝටු පහර මතක් විය. සීවලී හිමියන්ගේ වේවැල් පහර මතක් විය. දියෙන් ගොඩ දැමූ මාලුවකු සේ පද්මසිරි ගැහෙන්නට වූයේ සිදු වූ විනාශය දෙස ධම්මකිත්ති හිමියන් දෑස් උඩ හිඳුවමින් බැලූ ආකාරය දැකීමෙනි. ධම්මකිත්ති හිමියන්ගේ වේවැල් පහර කුමනාකාරයෙන් තමන් රිදවන්නේ ද යන්න ගැන පද්මසිරි ඉහින් කනින් දහඩිය දමමින් සිතන්නට විය.

‘‘දැන් ඉතින් මේ පිඟන් කටු දිහා බලාගෙන ඉඳල හරි යන්නෙ නැහැ, ඔන්න ඕක අස්කරල දාපල්ල, තව කරන්න කප්පරක් වැඩ තියෙනව‘‘ නාහිමියන් එසේ පවසමින් එතැනින් ඉවත්ව ගියේ පද්මසිරි දෙසවත් නොබලමින් ය.

ඒ වන විටත් පැවිදි කිරීමේ පින්කම වෙනුවෙන් සිය ගණනින් ජනතාව නාගදීපයට පැමිණෙමින් සිටියහ. ඒ බලපිටිය, අම්බලන්ගොඩ, ඇතුළු දකුණු පෙදෙසින් මෙන්ම අනුරාධපුරය, වවුනියාව වැනි ප්‍රදේශවලනි. භික්ෂූන් වහන්සේ සිය නමකට අධික පිරිසක් ඒ වන විටත් වැඩම කර සිටි අතර එම භික්ෂූන් වහන්සේ වෙනුවෙන් තාවකාලික සංඝාවාස පවා ඉදි කර තිබුණි.

ගුවන් විදුලි සංස්ථාව මෙන්ම ජාතික චිත්‍රපට සංස්ථාව ද ඒ වන විට නාගදීපයට පැමිණ සිටි අතර ඔවුන්ගේ සන්නිවේදන උපකරණ ඒ වන විටත් විහාරස්ථානයේ සවි කරමින් තිබුණි. ඒ සඳහා දෙමළ ජාතිකයන් විශාල වශයෙන් සහයෝගය ලබා දෙන ලදී.

නාගදීපයේ ම කොල්ලන් කෙල්ලන් පමණක් නොව දූපතේ සියලුම දෙනා එදින පන්සල අවට ය. ගුවන් විදුලි සංස්ථාවේ සන්නිවේදන කුලුනු දෙස ඔවුන් බලා සිටියේ කට ඇරගෙන ය.

කඩිමුඩියේ සියලු කටයුතු සිදු කෙරුණේ පසුදින පැවිදි කිරීමේ පින්කම මෙන්ම අපවත් වූ රන්දොඹේ සෝමසිරි තිස්ස නා හිමියන්ගේ තෙමස් පින්කම ද එදින යෙදී තිබූ හෙයිනි. රාත්‍රී ආහාර පිසීම සඳහා විහාරස්ථානයට දෙමළ ජාතිකයෝ විශාල පිරිසක් පැමිණ සිටියහ. ඔවුන් ඒ සියලු කටයුතු සඳහා සහභාගි වූයේ දැඩි කැපවීමෙන් යුක්තව වන අතර එය ඔවුන්ගේ කටයුත්තක් සේ ඔවුහු සැලකූහ.

පසුදිනට පහන් විය. එදින පද්මසිරි සහ රන්දොඹේ අබේසිරිගේ පැවිදි පින්කම් දිනයයි. එදින අලුයම සම්ප්‍රදායනානුකූල ව කුල දරුවන් දෙදෙනාගේ මවුපියෝ දරුවන් ඉදිරියට පැමිණියහ. පැවිදි වීම සඳහා මවුපියන්ගේ දෙපා නැමද අවසර පැතූහ.

පද්මසිරි අම්මාගේ හා තාත්තාගේ මුහුණ බැලුවේ ය. අම්මාගේ මුහුණ ශෝකයෙන් බර වී ඇත. තාත්තාගේ ද මුහුණ ශෝකයෙන් බර ය. අම්මා පද්මසිරිගේ මුහුණ සිම්බා ය.

‘‘රත්නත්‍රයේ පිහිටයි පුතේ‘‘ ඇගේ ආශිර්වාදය මුවෙන් පැවසෙද්දී තාත්තාගේ මුහුණේද ඒ ආශිර්වාදය පද්මසිරි දුටුවේ ය.

දෙදෙනාම දිය නෑම පිණිස පහළ ළිඳට කැඳවාගෙන ගියේ මූලික කටයුතුවලින් අනතුරුව ය. දිය නෑමෙන් පසු ඇඳ ගැනීමට සුදු රෙදි ලැබුණි. නෑමට ගත් තෙත සරම ගන්නට පද්මසිරි බිමට නැවුණි.

‘‘ හා.. හා.. දැන් ඕව අල්ලන්න බැහැ‘‘ ධම්මකිත්ති හාමුදුරුවෝ ඇඟිල්ලක්ද ඔසවා නියෝගය දුන්හ.

‘‘දැන් මේ පැවිදි වෙන චාරිත්‍ර කරන අතරේ ගිහියන්ගේ වැඩ කරන්න බැහැ‘‘ නාහිමියෝ යළි තරමක් උස් හඬින් පැවසූහ.

පසුව සියලු මූලික වත් පිළිවෙත්වලින් අනතුරුව පැවිදි පින්කමේ වැඩ ආරම්භ විය. සාදු නාද මැද පද්මසිරි තරමක් හිස ඔසවා බැලුවේ ය. බැලූ බැලූ අත සිටි සියලු දෙනාම අත් ඔසවා වන්දනා කරමින් ආශිර්වාද කළහ. ඒ වන්දනාව සිදු කරන්නේ තමන්ට බව දැනගත් පද්මසිරිට තරමක ආඩම්බරයක්ද දැනුණේ ය.

නාගදීපයේ සිදු කෙරුණු මේ පින්කම ගුවන් විදුලි සංස්ථාව විසින් සජීවී ලෙසින් ප්‍රචාරය කරද්දී පිරිසක් ඒ දෙස ද කට ඇරගෙන බලා උන්හ. චිත්‍රපට සංස්ථාවේ පටිගත කිරීම දෙස තවත් පිරිසක් බලා උන්හ. විශේෂයෙන්ම ආලෝකය ලබා දෙන්නට එහෙන් මෙහෙන් එළි සහිත කනු අල්ලාගෙන යන අය දෙස බොහෝ දෙනා බලා සිටියේ යෝධ කාර්යයක් කරන්නන් දෙස බලන අයුරිනි. ඒත් සමඟම පින්කම අස්සේ විදුලි කොටන්නාක් මෙන් වරින් වර එළි පත්තු වෙන්නට පටන් ගත්තේ ය. එක් වරම අඩි තුනකට මඳක් වැඩි උසින් යුත් දෙදෙනකු පද්මසිරි ඉදිරියට පැමිණියහ. එක් අයකු අත තිබූ පෙට්ටිය ඇස් මට්ටමට ගත් ඔහු එය පද්මසිරි දෙසට එල්ල කරගෙන සිටියේ ය. පද්මසිරි තරමක් තැති ගත්තේ ය.

එක්වරම පද්මසිරිගේ දෑස් නිලංකාර වී ගියේ එයින් ආ එළියෙනි. ක්ෂණයකින් එම මිටි තැනැත්තා එහි වූ බල්බය ඉවත් කර තවත් බල්බයන් සවි කර යළිත් වරක් එසේ කෙළේ ය. ඒ පින්තූර ගැනීමක් බව පද්මසිරි දැන ගත්තේ එවිට ය. මීට පෙර ජනතාව අතරින් ආ එළිය එය බවද ඔහුට වැටහී ගියේ ය.

මහාචාර්ය කන්දෙගොඩ විමලධම්ම හිමියෝ උපසම්පදා වූයේ ද මේ පින්කමේදී ම ය. උන් වහන්සේ පැවිදි වූ පද්මසිරිට විශේෂ ඉන පටියක් ලබා දුන්හ.

පද්මසිරිටත් අබේසිරිටත් රජ ඇඳුම් අන්දවා පෙරහරින් විහාරස්ථානයේ සිට බුද්ධ වලව්ව නැමැති ස්ථානයට රැගෙන ගියහ. එහෙත් ඒ පෙරහරට අලියකු නොවී ය. ඒ අලින් නාගදීපයට ගෙන ඒමට යාත්‍රා පහසුකම් නොවූ නිසා ය.

(මතු සම්බන්ධයි)