Print this Article


දියුණුව ළඟා කරදෙන පහසු පෝෂණය

දියුණුව ළඟා කරදෙන පහසු පෝෂණය

සන්තුස්සකො ච සුභරෝ ච යනුවෙන් කරණීය මෙත්ත සූත්‍රයෙහි සඳහන්ව ඇති වචන දෙක වර්තමාන ලෝකයේ ජීවත් වන සියලුදෙනා වෙත ප්‍රයෝජනවත් වන අයුරින් යොදාගත හැක්කේ කෙසේ දැයි විමසා බැලිය යුතුයි.

චීවර, සේනාසන, පිණ්ඩපාත, ගිලානප්‍රත්‍ය යන සිව්පස දානයෙන් නොමසුරුව උපස්ථාන කරනු ලබන දායක කාරකාදීන්ට ප්‍රත්‍යලාභීන් ‍ලෙස ආර්ය ප්‍රතිපදා මාර්ගය අනුගමනය කරනු ලබන භික්ෂුව පිළිපැදිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව දක්වා ඇත. ඒ උතුම් ධර්මය ප්‍රදානය කිරීමෙනි. ඒ ලෞකික හා ලෝකෝත්තර සුවය පිණිස ම ය. ලෝකෝත්තර සැපය යනු බෞද්ධයන්ගේ පරම මෙත්තාව වන නිවන් සුවය සැලසීම ය. ලෞකික සැපය යනු පස්කම් සැප නිසි ලෙස පරිභෝග කරමින් පුහුදුන් සත්ත්වයකු ලෙස ජීව ලෝකය ජයගත් මානව ගුණයෙන් පිරි සමාජ හිතකාමී පුද්ගලයකු වීමයි. බුදු දහමේ සඳහන් පරිදි මානව දයාවෙන් පිරුණු මනුෂ්‍යයකු වශයෙන් හඳුනාගත හැකි වන්නේ කුමන කරුණු මත පදනම්ව දැයි සොයා බැලීමේ දී පුද්ගලයකුගේ ජීවන චරිතය තුළින් ඔහුගේ ක්‍රියාකාරකම් තුළින් ප්‍රකට වන චරිත ලක්ෂණ මත ඔහු කෙබඳු පුද්ගලයකුදැයි පැහැදිලි වේ. උපතින් පුද්ගලයකු බ්‍රාහ්මණයකු හෝ වසලයකු නොවන බව ද ඔවුහු ක්‍රියාව අනුව ම ප්‍රකට වන බවද වසල සූත්‍රයේ දී පැහැදිලිව දක්වා ඇත.

යම් පුද්ගලයකු වැරදි මගින් මුදවා අකුසලයෙන් වළකා නිවැරැදි මඟ යැවීමත් , කුසලයෙහි යෙදවීමත් කළ හැක්කේ කෙසේද යන්න පිළිබඳව බුදු දහමේ කරුණු රැසක් දක්වා ඇත. ඒ අතරට ගිහි විනය ලෙසින් දක්වා ඇති සිඟාලෝවාද, ව්‍යග්ඝපජ්ජ, මංගල, වසල, පරාභව, ධම්මික වැනි සූත්‍රවල සම්පූර්ණයෙන්ම කරුණු දක්වා ඇත. භික්ෂු ජීවිතයෙහි පරමාර්ථය විදසුන් වඩා මාර්ගඵල නිවන් අවබෝධයෙන් සසර ගමන අවසන් කිරීම ය. එහෙත් ඒ ගමන යාම අතිශය දුෂ්කර කාර්යයකි. එදා බුදුන් දවස භික්ෂූන් වහන්සේලා පන්සිය නමක් කමටහන් ලබා පිඬු සිඟා වඩින සමයෙහි ඇති වූ අමනුෂ්‍ය උවදුර දුරලනු වස් දේශනා කරන ලද කරණීය මෙත්ත සූත්‍රය විදසුන් වඩන පැවිදි උතුමන්ට මෙන්ම කාමභෝගී ජීවිත ගතකරන ගිහි ජනයා හටද මෙලොව දියුණුව සලසා දෙන කරුණු රැසකින් සමන්විත ය.

එහිදී මෙම සූත්‍රයේ අඩංගු කරුණු අතර විශේෂ වූ එක් ගුණයක් ලෙස සුභරතා ගුණය පිළිබඳ සලකා බැලීමට අවධානය යොමු කළ යුතු ය. ‘සුභර‘ යනු පහසුවෙන් පෝෂණය කළ හැකි විමයි. වටිනා හෝ නොවටිනා රසවත් හෝ නීරස දෙයක් ලැබුණු විටද එය සතුටු සිතින් පිළිගැනීමෙන් පහසුවෙන් පෝෂණය කළ හැකි කෙනෙකු විම ය. භික්ෂුව වනාහි පෝෂණය ලබනුයේ දායකයන්ගෙනි. එබැවින් කිසිදු ලාබ අපේක්ෂාවකින් තොරව තම කාලය, ධනය, ශ්‍රමය, වැය කොට භික්ෂුව වෙනුවෙන් කැපකරනු ලබන්නේ හුදෙක් ම පුණ්‍ය ලාභය පිණිස ම ය. දෙලොව සැප සලසා ගනු පිණිස ම ය. එවන් කරුණු සලකා බලා භික්ෂූ ජීවිතය දායකයාට පහසුවෙන් පෝෂණය කළ හැකි චරිතයක් බවට පත්විය යුතු යැයි බුද්ධ දේශනාවේ විවිධ අයුරින් පැහැදිලි කර ඇත.

යම් සේ වන බමරුන් වනයෙහි ඇති මල්වල ඇති පැහැයත් සුවඳත් නොනසා රොන් පමණක් ම රැගෙන යන්නා සේ දායකයන් පීඩාවකට හා අපහසුතාවකට පත් නොකරමින් සිව්පසය ලබාගැනීමේ දී කටයුතු කළ යුතු බවයි. සිව්පස පරිභෝජනය පිළිබඳව මනා අවබෝධයකින් කටයුතු කිරීම ආර්යයන් වහන්සේගේ ප්‍රතිපදාව බව අරියවංශ සූත්‍ර දේශනාව භික්ෂුන් වහන්සේලාට වදාළේ ද එබැවිනි. එහිදී විශේෂිත වූ කරුණු හතරක් සඳහන් කර ඇත.

ලද සිවුරෙන් සතුටු වීම, ලද පිණ්ඩපාතයෙන් සතුටුවීම, ලද සෙනසුනෙන් සතුටු වීම, භාවනාවෙහි ඇලීම යන කරුණු හතර පෙන්වා දී ඇත. ලොව වටා සෑම අයකුටම අවශ්‍ය වන ආහාර සේනාසන වස්ත්‍ර සෞඛ්‍ය යන මූලික අවශ්‍යතාවයන් කෙරෙහි ලද අයුරින් තෘප්තියට පත්වීමට තරම් මානසික එකඟතාවයක් ආර්යයන් වහන්සේලා සතුව පැවතිය ද පුහුදුන් සත්ත්වයන්ගේ මනස හාත්පසින්ම වෙනස් ස්වභාවයක් ගනී . එනම් සිව්පසයෙන් පංචේන්ද්‍රයන් කෙරෙහි ඉතා ආසන්න සම්බන්ධතාවයක් පවත්වමින් යළි යළිත් එහි ගැටීම අපේක්ෂා කිරීමයි. එබැවින් පංචේන්දද්‍රියන් අසීමිත ලෙස තෘප්තිමත් කිරීමට යාම නිසා සසරෙහි ඇලීමත් , ලෝකය හා ගැටිමත් ඇතිකර ගනී.

බුදුදහමෙහි සඳහන් වන සුභරතාවය යනුවෙන් හඳුන්වන්නේ ලද දෙයින් සතුටු වීමයි. එය ගිහි පැවිදි කියා භේදයක් නැත. සුභරතාවය හෙවත් සන්තෝෂය විවිධාකාරයකින් දක්වා ඇත. ගිහි හෝ පැවිදි හෝ වුව ද, දුප්පත් හෝ පොහොසත් වුව ද, අනුවණ හෝ නුවණ ඇති වුව ද, ළමා හෝ වැඩිහිටි වූ ද, මනුෂ්‍ය හෝ තිරිසන් වුවද, යන සෑම සත්ත්වයකුම සතුට සැනසුම නිරතුරුවම අපේක්ෂා කරති. බොහෝ විට ආත්මාර්ථකාමී සිතිවිලි හේතුවෙන් අනෙකාගේ සැපතට බාධා කරවන හිංසා පීඩා උපදවන වංචාවෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් යුතුව දිවි ගෙවන මිනිසා සමාජයට පිළිලයක් මෙනි. එබැවින් අන් සැපතට බාධා නොවෙමින්, දෑතේ සවියෙන්, දහඩිය හෙළා උත්සාහයෙන්, වීර්යයෙන්, මහ පොළොවට ද සාධාරණව යමක් උපයා සපයාගෙන දැන උගත් ශිල්ප ශාස්ත්‍ර ආදියෙන් හා මිථ්‍යා ආජීවයෙන් තොරව අයථා ධනෝපායනයෙන් තොරව, ලබාගත් දේ පරිභෝජනය කළ යුතු ආකාරය සිඟාලෝවාද සුත්‍රයේ පෙන්වා දී ඇත.

තමා උපයා ගන්නා ආදායම කොටස් හතරකට බෙදා ඉන් කොටසක් පරිභෝජනයට ද, කොටස් දෙකක් තම කර්මාන්ත දියුණුවට ද, හතරවන කොටස ආපදාවක දී ප්‍රයෝජනය සඳහා තැන්පත් කර තැබීමට ද , නැණවත් ව ක්‍රියා කළ යුතු ආකාරය පෙන්වා දී ඇත. ඒ අනුව තම ආදායම එක්තරා සැලැස්මකට අනුව සකස් කරගත යුතු ය. වර්තමාන සමාජයේ බොහෝ දෙනෙකුගේ අදහස වන්නේ අන්‍යයකු දෙස බලා හෝ ඔහුගේ ගෙවල් දොරවල් දෙස බලා හෝ ඊට නොදෙවෙනි ආකාරයෙන් ජීවත් විය යුතුය යන්න ය. තම ආදායම නොගැළපෙන හා නොදැරිය හැකි බර දැරීමටකට යාම නිසා ජීවිතයේ කටුක අත්දැකීම් ලැබ විනාශයට පත්වීම ය. ගිහි පැවිදි භේදයකින් තොරවම නිවැරැදි ලෙස තම ජීවිතය පරිහරණය කිරීමට නම්, ලද දෙයින් සතුටු වීමේ ගුණය අතිශයින්ම ඉගෙන ගත යුතු ය. ගිහි භවතුන්ට ධනය ඉපයීම සීමා කරගත යුතු බව මෙයින් අදහස් නොකළ යුතු ය. එහෙත් ධනය ඉපයීමේ දී නිවැරැදි පිළිවෙත් අනුගමනය කළ යුතුයි.

අනලස්ව වැඩ කළ යුතුයි. යම් විටකදි ලැබෙන ලාභ අලාභයන් හි දී, කීර්ති ප්‍රශංසාදියෙ හි දී, කළකිරීම් හෝ උදම්වීම් හෝ බෞද්ධ ප්‍රතිපදාව නොවේ. එමෙන්ම නෙක විසිතුරු වලින් බබළන නානා විධ සැරසිලි හා ඒ පිළිබඳ ලොබ බඳීමින් ඒවා පසුපස හඹායාමෙන් වැළකී තමාගේ රටට, ජාතියට, සංස්කෘතියට ගැලපෙන දේ තෝරා බේරාගෙන පරිහරණය කිරීම ද අප සතු යුතුකමකි. සමාජයේ වැදගත් පුරවැසියකු ලෙස අනෙකා ඉදිරියේ දෙපයින් සිටගැනීමේ ශක්තිය බොහෝ තරුණ තරුණියන්ට නැත. ආචාරශීලි ගති හා වැඩිහිටි ගෞරවය හා බොහෝ දේ ඔවුන්ගෙන් ගිලිහී ඇත. බුදු දහමෙහි දැක්වෙන සුභරතා ගුණය මෙත් කරුණා දයා ගුණය, උපදවා වාසයකොට දෙලොව දියුණුව සලසාගෙන සසර දුක් කෙළවර අමාමහ නිවනින් සැනසීමට කටයුතු කළ යුතුය.