සොබා දහමෙන් ඈත් වෙනවා
ව්‍යසන ළංකර ගන්නවා
කැලණිය විශ්වවිද්‍යාලයේ
සිංහල අධ්‍යයන අංශයේ අංශාධිපති
ආචාර්ය
මල්වානේ චන්දරතන හිමි
සොබා දහමේ විශ්මිත නිර්මාණය, මිනිසා යි. සොබා දහම විසින් මිනිසා නිර්මාණය කිරීමෙන්
පසුව භෞතික ලෝකය මිනිසාට බාර දුන්නා. ඒ බාර දුන්නේ මිනිසාට මනා ඥානයක් ද ලබා
දෙමින්. එමෙන්ම ගුණ ධර්ම ද ඔහුට ලබා දුන්නා.
මිනිසාට ඒ ඥානය ලබා දුන්නේ, තමාත් ආරක්ෂා වී අනෙක් සත්ව ලෝකයේත්, සොබා දහමමේත් ,
පරිසරයෙත් ආරක්ෂාවද රැකගෙන ඉදිරියට ගමන් කිරීමටයි. එහෙත් මිනිසා ටික කලක් යන විට
සත්ත්ව ලෝකය ආක්‍රමණය කළා. පරිසරය තම අත්අඩංගුවට, නැත්නම් ග්‍රහණයට ගත්තා. සොබා
දහමට නම් මිනිසාට දැඩි බලපෑමක් කරන්න බැහැ. උදාහරණ ලෙස හිරු පෑයීම, සඳ පෑයීම,
වර්ෂාව, සුළං හැමීම වැනි දේ පෙන්වා දීමට පුළුවන්.
නමුත් මිනිසාගේ අත්තනෝමතික ක්‍රියාවන් නිසා සොබාදහම පවා වෙනස් වුණා.
ගස් කොළන් සීමාවක් නැතිව විනාශ කළ ා. ප්‍රතිඵලයක් ලෙස ජල සම්පත අඩු වුණා. සොබා දහම
වෙනුවෙන් මිනිසාගේ යුතුකම, වගකීම ඉටු වුණේ නැහැ.
මෙහිදී අප පෙන්වා දිය යුතුයි මිහිඳු මහ රහතන් වහන්සේගේ ආගමනය සිදු වූ මිහිඳු
මහරහතන් වහන්සේ හමු විටදී උන් වහන්සේ දේවානම්පියතිස්ස රජුට දේශනා කරන ලද
ප්‍රකාශයක්.
‘මහ රජතුමනි කුරුල්ලන්ට අවකාශය තුළ නිදහසේ පියඹා යන්න අයිතිය තිබෙනවා. ඒ වගේම
සත්ත්වයන්ට නිදහසේ සැරිසරන්න අයිතිය තියෙනවා. ඔබ මේ පොළොවේ භාරකරු පමණයි
‘මේ බව දැක්වෙන සෙල් ලිපිය මිහින්තලේ අදත් තිබෙනවා.
මේ ලෝකය ගත්තහම සොබා දහම, පරිසරය, වගේම සත්ත්වයන් හරිම අවංකයි, අව්‍යාජයි.
අපි ගහක් යටට ගිහින් සෙවණ සාදා ගන්නා විට ගස අපට නොකිව්වත් ගස කරන ප්‍රකාශය මොකක්ද?
‘මම වරෙක මොර සූරන වැස්සෙන් පීඩාවට පත් වෙනවා . වරෙක ගිනි කාෂ්ඨක අව්වෙන් පීඩා
විඳීනවා. ඒත් මම ඔබට සෙවණ සදනවා. හෙටත් ඔබ ආවොත් මම හෙටත් ඔබේ පිහිටට එනවා. ‘
‘මිනිසාටත් සත්ත්වයන්ටත් සෙත සලසන්න.සෙවණ දෙන වෙලාවේ මම අතිශය පිඩා විඳිනවා. නමුත්
මගේ අමනාපයක් නැහැ. මම ඒ කාර්යය කරනවා‘‘ බලන්න පරිසරයේ ගහ කොළ මොනතරම් අව්‍යාජද
කියලා. සොබා දහමේ අපට පෙනෙන දේ, ඇසෙන දේ ගැන සිතා බලන්න.
වැස්ස වහින්න කලින් මොකද වෙන්නෙ, අහස කළු කරනවා. සුළං හමනවා, වැස්ස එන බව අපට
කියනවා. අපි වැස්සට සූදානම් වෙනවා. සොබා දහම අව්‍යාජයි, අවංකයි.
මහා දැවැන්ත නුග රුකක් දෙස බලන්න. නුග ඵලය ඉතාම කුඩයි. යම් අයකුට සිතෙන්නට පුළුවන්
එය සොබා දහමේ අසාධාරණ නිර්මාණයක් බව. මහා වපසරියක මුල් පවා මහ පොළොවට ඇදී ගොස්
පැතිර පවතින මහා දැවැන්ත ගසක ඉතා කුඩා ඵලයක් හටගන්නේ ඇයි කියා.
නුග ගස බොහෝ මිනිසුන් හා සත්ත්වයන් සෙවණ සදා ගන්නා වෘක්ෂයක්. ඒ ගස යට සිටින අයට නුග
ඵලයෙන් අනතුරක් හිරිහැරයක් නොවන ලෙසයි එසේ නිර්මාණය වී තිබෙන්නේ.
පැණි කොමඩු ඵලදාව දරන්නේ කුමන ප්‍රදේශවලද? කටුක කර්කශ ප්‍රදේශවලයි වැවෙන්නේ. ඇයි ඒ.
ඒ ප්‍රදේශවල ජනතාවටයි නිතරම පිපාසය දැනෙන්නේ. ඒ පිපාසාව සංසිඳුවා ගැනීම පිණිසයි එය
නිර්මාණය වී ඇත්තේ. මිනිසාට සොබා දහම, පරිසරය කුමනාකාරයෙන් සලකා ඇත් ද යන්න මෙයින්
පැහැදිලියි.
සත්ත්ව ලෝකය දෙස බලන්න. සතුන් කොයිතරම් අවංක ද? මෙහිදී පැරැණි කවියක් උපුටා දක්වන්න
පුළුවන්.
‘කොටියා සිංහයා ගොරවා රවා පනී
එනිසා ඔවුන් රුදු බව ලෝකයා දනී
මිනිසා සිනාසී කරුණා දයාවෙනි
අත ගා ඔලුව ඇස් දෙක සූරලා ගනී‘
සිංහයා, කොටියා ළගට යන්න බැහැ ගොරවනවා. නයා පෙනේ කරනවා. එයාල කියනවා ළගට එන්න එපා
අපි නපුරුයි කියලා. හරිම අවංකයි තමන්ගේ ළග තියෙන ගතිගුණ ගැන කලින්ම කියනවා.
මිනිසා එහෙමද? ඒ කවියෙන්ම මිනිසාගේ ගතිගුණ ගැන කියනවා. මිනිස්සු කරුණාව දක්වලා,
දයාව පෙන්නලා, කරට අත දාගෙන ගිහින් විපතක් කරනවා. තමන්ගේම මිත්‍රයා අනතුරක් කරයි
කියන බයක් තියෙනවා. මේ විදිහට බලද්දී මිනිසා තමන්ට ආරක්ෂා කරන්නට පැවරූ ලෝකය ආරක්ෂා
කෙළේ නැහැ. තිරිසන් සතුන් කියල කැළේට ඇදල දැම්මට ඒ සතුන්ගේ ගති ගුණ කොයිතරම් වටිනවද
කියල බලන්න. මිනිසා ව්‍යාජ, අකෘතඥ ලෝකයක ජීවත් වුණේ. ඒනිසා තමයි වර්තමානය වන විට
ලෝකය තදින් පණිවුඩයක් ලබා දෙනවා මිනිසා ආපු ගමන වැරැදියි කියලා.
අදටත් බලන්න ලෝකයේ තැන් තැන්වල යුද්ධ තියෙනවා. ඇතැම් තැනක තෙල් යුද්ධ, තවත් තැනක
දේශ සීමා යුද්ධ, දේශපාලන මත ගැටුම් කියනවා. සීතල යුද්ධ කියනවා.
භාෂාවේ තිබෙන ලස්සන වදන් වලින් මොනවද මේ පෙන්නුම් කරල තියෙන්නෙ. මිනිසාගේ අකාරුණික
බවනේ. තෙල් යුද්දෙ කියන්නෙ තෙල්-තෙල් ගහගන්නෙ නැහැනෙ, දේශ සීමා ගැටුම් කිව්වට දේශ
සීමා නෙමෙයිනෙ ගහ ගන්නෙ, මත ගැටුම් කිව්වට මත - මත නෙමෙයිනෙ ගහ මරා ගන්නෙ. තනිකරම
මේ සියල්ල කරන්නෙ මිනිස්සු. මිනිස්සුන්ගෙ සාහසික බව භාෂාවෙ තියෙන මේ ලස්සන වචන
යොදාගෙන වහල තියෙනවා.
ඒ නිසා මධ්‍යම ප්‍රතිපදාව තමයි අපට තියෙන එකම මාර්ගය. ප්‍රශ්නයක් ඇති වුණහම කළ යුතු
දේ, ගමන් මාර්ගය බුදු රජාණන් වහන්සේ පෙන්වා දී තිබෙනවා.
සරල උදාහරණයක් ගෙන බලමු. දෙමාපියන් හා දරුවන් අතර ඇති වන ප්‍රශ්නයකදී දරුවො කල්පනා
කළොත් අපි මේ ප්‍රශ්නයේදී නිවැරැදියි, ඒ නිසා අපි කියන දේම විතරක් කළ යුතුයි කියල.
එතැනදී දෙමාපියන් 100%ක් පරාජයට පත් වෙනවා. දෙමවුපියන් සිතුවොත් ඒ විදිහට දරුවො
100%ක් පරාජයට පත් වෙනවා. මෙතනදී කළ යුත්තේ කුමක්ද? දෙපාර්ශවය ම මැද මාවතකට
පැමිණීමයි. මධ්‍යම ප්‍රතිපදාව ලෙසින් බුදු හිමියන් දේශනා කළේ එම නිසයි.
එවිට අන්තවල ඉන්න අය අන්ත අත හරින්න ඕන. තමන් බලාපොරොත්තු වූ සියල්ල ඉටු නොවන්නට
පුළුවන්. එහෙත් ඒ ඔස්සේ සියලු පාර්ශ්වයන්ට යම් දුරකට සෑහීමකට පත්වන්නට පුළුවන්.
අන්ත අත් හැරීම කළ යුතුමයි.
එහෙම නොවුණහොත් මේ ලෝකයට වැඩි කලක් ඉදිරියට යන්න අපහසු වෙනවා. වර්තමානයේ මේ ලෝකයේ
ගමන් මාර්ගයද බුදු රජාණන් වහන්සේ දේශනා කළ මේ මැද මාවතට අනුගත විය යුතුමයි.
මැද මාවතට නොපැමිණීමේ විපාකය අදට වඩා හෙට තේරේවි. අදටත් මිනිස්සු හුදකලා වෙලා.
අනෙකා සමඟ ඇසුර අඩු වෙලා. ළෙන්ගතුකම ආදරණීයත්වය අද අඩු වෙලා. සමාජභාවය දුරස්වෙලා මේ
ගුණධර්ම වඩා ගන්න කාලයක් යයි.
මිනිසාගේ මුහුණ පවා අද වසා දමා තිබෙනවා. සමාජභාවය නැති වීම නිසා සිදුව ඇති
දුරස්ථභාවය රැක ගන්න අපට කාලයක් යාවි. මේ බරපතළ ව්‍යසනය උදෙසා අපට ඇති එකම මාර්ගය
බුදුරජාණන් වහන්සේ දේශනා කළ මැද මාවතම පමණයි.
බුදු රජාණන් වහන්සේ ජීවමාන සමයේ සැලකිල්ල ලැබුණේ ධනයට බලයට බව අප දන්නවා. නමුත්
බුදු රජාණන් වහන්සේ එදා අපට පෙන්වා දුන්නා නිසි මාවත කුමක්ද කියා. ගුණධර්ම හිස මත
තබාගෙන මේ ගමන යා යුතු බව. අද අපට මේ කොරෝනා වයිසරය පවා පෙන්වා දී ඇත්තේත් ඒ
ධර්මතාවයම තමයි. රූපයට මුල් තැන දෙන සමාජ රටාවක් පවා එදා තිබුණා. මිහිඳු මහ රහතන්
වහන්සේ විසින් එහි යථාර්ථය අපට තවත් පෙන්වා දුන්නා. නමුත් අද අපෙන් ඒ ගුණ ධර්ම ඈත්
වෙලා. යළි නිසි ගමන් මාර්ගයක් සකස් කර ගත හැක්කේ මැදුම් පිළිවෙතට අප පැමිණියහොත්
පමණයි. එහිදී අප මුලින්ම සඳහන් කළ පරිසරය, සතා සිවුපාවා, සොබා දහමටත් අපට හා සමාන
අයිතිවාසිකම් තිබෙන බව වටහා ගෙන කටයුතු කළ යුතුමයි. එසේ නොවුණහොත් මිනිසාගේ
පැවැත්මේ අවසානයට වැඩි දුරක් නොවන බව අප තේරුම් ගත යුතුයි. කොරෝනා එහි එක් පෙර
නිමිත්තක් පමණයි. |