Print this Article


ජීවිතයට වටිනාකමක් දෙන්න

ජීවිතයට වටිනාකමක් දෙන්න

මනුෂ්‍යයෙක් ගැන කතා කරන්නේ නම් උපත හා සමගින් ලෙඩවීම, දිරාගෙන යෑම, මරණය, අප්‍රියන් හා එකතුවීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, කැමැති නම් ඒ දෑ නොලැබීම, රූප වේදනා, සංඥා සංඛාර, විඤ්ඤාණ, ස්කන්ධ පංචකය නම් වූ මේ ජීවිතය ම දුකකි.

දුක කියන කතාව මතුවෙන්නේ මුලාව නම් වූ, චතුරාර්ය සත්‍ය ධර්මය කෙරෙහි ඇති අනවබෝධය නිසා ය. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගත්තා වූ රහත් උතුමෙකුට හෝ ඒ මඟට පිලිපන් ගිහි හෝ පැවිදි හෝ වේවා, ශ්‍රාවකයකුට දුක හඳුනාගෙන දුකෙන් නිදහස් වීමේ මඟට පත්විය හැකියි. මේ බව තේරුම් ගන්නා වූ ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා බුද්ධ ශ්‍රාවකයන් විසින් කළ යුතු වන්නේ කුමක් ද? භාග්‍යවතුන් වහන්සේ විසින් මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවෙහි පැහැදිලි කළ අයුරින් ඒ ඒ අවස්ථාවන්හි ශරීරය හා ක්‍රියාවන් පවත්වන විට මනා වූ සිහිය හෙවත් සතියෙන් යුක්තව ජීවිතය පවත්වා ගත යුතු බවයි.

සතිය, සිහිය නම් කුමක් ද? පඨවි ආදී හේතූන් ප්‍රත්තිය කරගෙන සකස්වන පණ ඇති හෝ පණ නැති හෝ වේවා හැම පුද්ගලයෙක් ම වස්තුවක් ම හේතූන් ම විසිරී යන විට නැතිවෙනවා. එසේ නම් මේ ලෙඩ දුක් හෙවත් ව්‍යාධීන්ට මුහුණ පෑම නම් ශරීර අභ්‍යන්තරය තුල මේ පඨවි ආදී ධාතූන්ගේ විසිර යෑම සිද්ධවීමයි. කොරෝනා උවදුරෙහි ලක්ෂණ හැටියට පෙන්වා දෙන්නේ සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, උගුරේ වේදනාව, ආශ්වාසය ප්‍රාශ්වාසයේ අපහසුව හෙවත් ස්වසන පද්ධතියේ දුර්වලතාවයයි. මේවා බෞද්ධ දර්ශනයට අනුව ධාතූන්ගේ නොගැලපීම හෙවත් විසිර යෑමේ ප්‍රතිඵලයකුයි.

අප අනවබෝධයෙන් “මම”, “මගේ” කියා තෘෂ්ණාවෙන් බැඳී ඇසට රූප, කනට ශබ්ද ආදී වශයෙන් ආරම්මනයන් “මම”, “මගේ” කරගෙන ලෝභ, ද්වේෂ, මෝහ ආදී කෙලෙස් සිදු කරගන්නවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ අයුරින් සියල්ලම හට ගත්තා සේ ම නැතිවෙනවා, නම් අවබෝධයෙන් යුතුව කායික, වාචසික සංවරය නම් වූ සීලයේ පිහිටා ජීවිතය පවත්වන්න. එයට හේතුව ඔබ “මම”, “මගේ” කියන තම කය හා අපි සිතින් හා අතින් අල්ලා ගන්නා වූ හෙවත් උපාධානය කර ගන්නා වූ බාහිර වස්තූන් ද හට අරගෙන බිඳී නැතිව යනවා. මෙන්න මේ අවබෝධය අප හඳුන්වන්නේ පස් පව් දස අකුසල්වලින් බැහැරවී සීල සමාධි ප්‍රඥා ගුණ වඩන මඟට පත්වුණා වූ සත්පුරුෂ වූ පුද්ගලයෙක් හැටියටයි.

එවැනි පුද්ගලයාගේ මනස අභිජ්ජා දෝමනස්ස නම් වූ දැඩි ආශාවන්ගෙන් හා ගැටීම්වලින් නිදහස්ව පවතින විට ඒ සිත සංසුන් වූ මනසක් ඇති සිතක් හැටියට ධර්මයේ පෙන්වා දෙනවා. මෙය භාවනාව සමාධිය, ධ්‍යානය සංසිඳුනු බව ආදී වශයෙන් ධර්ම කතාව පෙන්වා දෙනවා. මනස තද ආශාවන්ගෙන් හා ගැටීම්වලින් බැහැර වූ තැන සංසිඳීමකට, සමාධියකට, නිවුණු බවකට පත් වන්නේ නම්, එය හදවත, මොළය, පේශීන්, ලේ ගමනා ගමනය ඔස්සේ මුළු ශරීර පද්ධතියම නීරෝගී කරන්නට, ශක්තිමත් කරන්නට හේතුවක් බවට පත්වෙනවා. මෙය වර්තමානයේ වෛද්‍ය විද්‍යාවේ නිතර කතා කරන ප්‍රතිශක්තිකරණයයි. තද ආශාවන්ගෙන් හා ගැටීම්වලින් සිත ව්‍යාකූල වන විට එය මොළයට බලපායි. ලේ ගමනා ගමනය ඔස්සේ මුළු ශරීරය ම දුර්වල කරයි. එහි ප්‍රතිඵල ඔබ අප සරල ලෙස දැක තිබෙන්නේ විවිධාකාර කායික රෝග වශයෙනුයි. වර්තමානයේ හඳුන්වන දියවැඩියාව, අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල් හෙවත් මේද බහුලතාවය, ආශ්වාස ප්‍රාශ්වාස පද්ධතියේ දුර්වලකම් මේ සියල්ලටමත් හේතූන් හැටියට සිතෙහි ව්‍යාකූල බව එය මොළය ඔස්සේ ශරීරය පුරා ක්‍රියාත්මක වීම හඳුන්වා දිය හැකියි.

එසේ ම සංසුන් වූ මනසක් ඇති කරගන්නා වූ පුද්ගලයකුගේ මොළයේ ක්‍රියාකාරීත්වය ලේ ගමනා ගමනය ඔස්සේ ශරීරය පුරාම පිරිසුදුවත්, නිවැරැදිවත් ව පැවැතීම නිසා ප්‍රතිශක්තිකරණය හෙවත් රෝගයන්ට මුහුණ දී අනවශ්‍ය වෛරසයන් දමනය කර ගැනීමේ හැකියාවක් පවතින බව ඉතාම පැහැදිලි වේ. යම් කෙනෙක් ප්‍රබල ලෙස බාහිර වෛරසයන්ට මුහුණ දෙන්නට හුරු වූ විට, කය තරමක් හෝ නීරෝගී ව පවත්වා ගත හැකි බව සාමාන්‍ය පිළිගැනීමයි.

නමුත් වෙන යම් අතුරු ආබාධයන්ට ද මුහුණ දිය හැකියි. එළියේ සිඟමන් යදිමින් හැසිරෙන අයෙකු විශේෂ වෛද්‍ය පහසුකම් නැති වූවත් කෙසේ හෝ ජීවත්වන බව සඳහන් කළ හැකියි. නමුත් ඔවුන් තුළ පවත්නා විවිධාකාර රෝගාබාධයන්ගෙන් පිරිපුන් වී ඇති බව පැහැදැලියි. නමුත් මනස පිරිසුදු කර ගත් පුද්ගලයකුට බාහිර ශරීරයේය ප්‍රසන්නතාවය පටන් නීරෝගීතාව, දීර්ඝායුෂ සම්පත්තියත් ලබා දිය හැකි බව පැහැදිලියි.

මහා කාරුණික තථාගත බුදුරජාණන් වහන්සේ මේ ජීවිතයේ යථා ස්වභාවය පෙන්වා මතු කොට දැක්වූයේ සතිය නම් වූ සිහිය පවත්වා ගන්නටයි. එනම්, මේ ලෝකයේ විනාශ නොවන කිසිවක් හට නොගන්නේ ය. මේ රෝග උවදුරට පත් වූ අපේ ශරීර ද හට අරගෙන බිඳී යන්නේ ය. මේ බව දැනගෙන සිත පිරිසුදු කරගෙන සංසුන් වූ මනසක් ඇති කර ගැනීම අවශ්‍යයයි. උපත හා සමඟින් ම රෝගයන්ටත් උරුමකම් කියනවා නම්, සිහිය පවත්වා ගැනීමෙන් බලවත් ලෙස රෝගයන්ට මුහුණ නොදෙන ස්වභාවයන්ටත් රෝගයන්ට පත් වුණත් ඒවායින් නිදහස්වීමටත් සිත කලබල නොකරගෙන ක්‍රියාවට පත්විය හැකියි. භාග්‍යවතුන් වහන්සේ ගිරිමානන්ද සූත්‍රයේ දී දේශනා කළේ පිත, සෙම, වාතය නම් තුන් දොස් ම කිපීමෙනුත්, සෘතු භේදයන් නිසාත්, තමාගේ වැරැදි හැසිරීම නිසාත්, කර්ම විපාක නිසාත් ලෙඩ දුක් ඇති විය හැකි බවයි.

අප විසින් කළ යුතු වන්නේ මේ බව දැනගෙන සීල, සමාධි, ප්‍රඥා ගුණ වඩන නිවැරැදි ජීවිතයක් පවත්වා ගැනීමයි. ලෙඩ දුක්වලට කොහොමත් උරුම නම්, සංසුන් වූ මනසකට තරමකින් හෝ බාහිර විපත්වලින් ඇතිවන ලෙඩදුක් වළක්වා ගැනීමට පුළුවනි. උදාහරණයක් ලෙස වර්තමානයේ වෛරස් උවදුර පවතින විට වෛද්‍ය විද්‍යාව හෝ සෞඛ්‍ය අංශ පෙන්වා දෙන අයුරින් සමාජයේ දුරස්ථව සිටීම ඒ වගේ ම තමා සතියෙන් යුක්තව අන් අයට රෝග පැතිරවීමට ඉඩ නොදීම තමාත් අන් අයගෙන් රෝගයට හසුවීම, ගැලවීම, වෛද්‍ය පහසුකම් ලබාගැනීම ආදිය වෙනුවෙන් යොමුවීමයි. එයට හේතුව අනන්ත සංසාර ගමනේ අප්‍රමාණ දුක් විඳ දුර්ලබව ලබාගත් මනුෂ්‍ය ජීවිතය රැක ගත යුතු නිසායි. එය උතුම් නිසායි.

දුර්ලබව ලැබූ මේ මනුෂ්‍ය ජීවිතය ධර්මාවබෝධය පිණිස ප්‍රයෝජනයක් ගත යුතුයි. නැවත සතර අපායකට නොයන මාර්ගය සාදා ගත යුතුයි. මේ ජීවිතය ම දුකින් නිදහස් වීම නම් වූ සත්‍යාවබෝධය ලබාගත නොහැක්කේ නම්, අඩුම තරමෙ සම්‍යග් දෘෂ්ඨිකව සුගතියවත් උරුම කර ගත යුතුයි. ඒ වගේ ම ලෞකික ලෝකය තුළ තමා හා වෙසෙන ප්‍රියයන්ට යුතුකම් කළ යුතු සේ ම හැකි නම් ලෝකයක් කෙරෙහිත් තමාට හැකි අයුරින් යුතුකම් කරමින් උපකාර කරමින් පරාර්ථ චර්යාව ද කළ යුතුයි.

සසර පැවැත්ම හා ජීවිතයේ යථා ස්වභාවය නුවණින් දැක ලෙඩ දුක් සෑදෙන්න මත්තෙන් සිහියෙන් යුක්තව කටයුතු කළ යුතුයි. ව්‍යාදීන්ට මුහුණ දුන් විට ජීවිතයේ යථා ස්වභාවය නුවණින් දැක එයට ප්‍රතිකාර කරමින් සංසුන් වූ මනසක් ඇති කර ගැනීම හැබෑවට ම තමාට මනසින් වගේ ම කයින් ද නීරෝගී වීමේ හැකියාවක් පවතිනවා.

මහා කාරුණික ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දීර්ඝ සසරින් දුකින් නිදහස් වන්නට පෙන්වා දුන් ධර්ම කතාව වර්තමානයේ කොරෝනා උවදුරින් වැළකෙන්නත්, එය ලෝකයෙන් බැහැර කරන්නත්. අන් අයට රෝගය පැතිර නොයෙන්නට උදව් උපකාර කරන්නටත්. මේ ධර්මය අපට ගළපා ගත හැකියි. .තමාට තමාගේ ජීවිතය වටිනා සේ ම හැම ජීවිතයකට ම වටිනාකමක් තිබෙනවා. එය ජාතියක්, ආගමක්, රටක්, සංස්කෘතියක් වශයෙන් නොබිඳුණු මහා කාරුණිකයාණන් වහන්සේගේ මහා කාරුණික දර්ශනයයි. වර්තමානයේ මේ රෝග උවදුර ඉදිරියේ මෙම ව්‍යසනයෙන් වැළකීම පිණිස අප විසින් කටයුතු කළ යුතු වන්නේ එසේ නොවේ දැයි ඔබ ම සිතා බලන්න.