Print this Article


චීන ඉතිහාසයේ විශ්මිත නිමැවුම ලෂැන් බුදු පිළිම වහන්සේ හුදකලා වෙති

චීන ඉතිහාසයේ විශ්මිත නිමැවුම ලෂැන් බුදු පිළිම වහන්සේ හුදකලා වෙති

මේ දිනවල ලෝකයේ දිනපතාම කතාබහට ලක්වන රටක් වන්නේ චීනයයි. ලෝකයේ බෞද්ධ රටවල් අතර විශේෂත්වයක් ගන්නා චීනයේ මේ වන විට ක්‍රියාත්මක වන්නේ ධර්මාශෝක රජු විසින් චීනය ඇතුළු රටවලට යොමු කළ බුදු දහම නොව සම්මිශ්‍රිත දහමක්.

වර්තමානයේ චීනයේ පවතින්නේ බුදු දහමත්, කොන්ෆියුසියස් දහමත්, තාඕ දහමත් මිශ්‍ර වූ සංස්කෘතික ආගමික දර්ශනයක්.

අතීතයේ සිට මේ දක්වා බුදු දහම හා සබැඳීව විවිධාකාර වෙනස්කම්වලට බඳුන් වූ චීන දහමේ බුද්ධ වන්දනාවටද විශේෂිත ස්ථානයක් නැතිවාම නොවේ.

චීනයේ පමණක් නොව මේ දිනවල ලොව පුරා බොහෝ බෞද්ධ සිද්ධස්ථාන ජන ශුන්‍යව පවතිනවා. සාම්ප්‍රදායිකව පවත්වනු ලබන ආගමික වතාවත් හැරෙන්නට ජනතාවගේ ආගමික වතාවත් බොහෝ ආගමික ස්ථානයන්හි දක්නට නොවේ.

දිනකට දස දහස් ගණනකගේ නෙත්වලට බඳුන් වූ චීනයේ පිහිටි යෝධ බුදු පිළිම වහන්සේ ද මේ ලෙසින් අද හුදකලා වී තිබෙනවා.

චෙන්ග්ඩු ගුවන් තොටුපොළේ සිට කිලෝමීටර් 130ක පමණ දුරකින් මේ බුදු පිළිම වහන්සේ පිහිටා තිබෙනවා. දුම්රියෙන් ගමන් කරන්නේ නම් ඒ සඳහා ගත වන්නේ විනාඩි 45කටත් අඩු කාලයක්.

චෙන්ග්ඩු පළාතේ ෂු ෂෑන්ග් හි පිහිටි මේ පිළිම වහන්සේ ලොව ප්‍රසිද්ධ වී ඇත්තේ ලෂැන් (ඹ්ඥඵඩචද) යෝධ පිළිමය නමින්.

ක්‍රිස්තු වර්ෂ 713දී ලෂැන් යෝධ පිළිම වහන්සේ නෙළීමේ කටයුතු ආරම්භ කළ නමුත් එහි වැඩ අවසන් කිරීමට වසර 90ක් ගත වුණා. ඒ කියන්නේ වැඩ අවසන් වී ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 803 දීයි. මුදල් නොමැතිවීම මෙන්ම විවිධ බලපෑම් එම ප්‍රමාදයට හේතු වී තිබෙනවා.

ශිලා කඳු බෑවුමකින් කැටයම් කර ඇති මේ බුදු පිළිම වහන්සේ ගංගා තුනක එකතුවක් සිදුවන ස්ථානයේ කන්දක් කපා ඉදිකර තිබෙනවා. එම ස්ථානය ලෝකයේ ඉතාම දැකුම්කලු ස්ථානයක්. එම ස්ථානයේ මේ පිළිමය නෙළීමට චීන කලාකරුවා කටයුතු කර තිබෙනවා. ලෂැන්ග් පිළිමයේ උස මීටර් 71 ක් වනවා. සිරස පමණක් මීටර් 14.7ක් බවයි දැක්වෙන්නේ. උරහිස මීටර් 28 ක පළලකින් යුක්ත වීමෙන් එහි ප්‍රමාණය සිතා ගන්නට පුළුවන්.

මෙය ඩාඩු, මින්ෂියෑන්, ක්න්ග්යි ගංගාවන්, එක්වන ස්ථානයේ නිර්මාණය කර ඇති ලොව ඇති අතිවිශාලතම ශෛලමය පිළිමයයි.

චීන ජාතිකයින් මේ පිළිම වහන්සේ සලකා ඇත්තේ අදටත් සලකන්නේ මතු බුදුවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ බවයි. එමෙන්ම මහායාන සම්ප්‍රදායට අයත් සාම්ප්‍රදායික ලක්ෂණ මේ අවටින් සොයා ගෙන තිබෙනවා.

යෝධ බුදු පිළිම වහන්සේගේ ශරීරය කන්ද ඇතුළට සැඟවී තිබෙන පරිදි නිර්මාණය කර තිබෙනවා. විශේෂයෙන් වර්ෂාවෙන් සිදු වන හානිය වැළැක්වීම සඳහා ජල කාණු පද්ධතියක් සකස් කර තිබෙන්නේ පසුකාලීනව බවයි දැන ගන්නට ඇත්තේ. එම කාර්යය ද ස්වාමීන් වහන්සේ නමක් විසින් සිදු කර ඇති බවට චීන ආගමිකයන් පවසනවා. ආරම්භයේදී බුදු පිළිම වහන්සේට රැකවරණය සැපයීම සඳහා මණ්ඩපයක් තනා තිබූ නමුත් මින්ග් රාජවංශ සමයේදීම එය විනාශ වූ බවයි චීන ඉතිහාසයේ දැක්වෙන්නේ.

මේ පිළිම වහන්සේ එය ඉදිරිපිට සිට නැරැඹිය නොහැකියි. එය එතරම් අතිවිශාලයි. ඒ සඳහා දුරට ගොස් විවිධ අංශයන්ගෙන් නැරැඹීමට පුළුවන්.

මේ ස්ථානයට ළඟා වීමට මෙන්ම එය නැරැඹීමට නැව් හා බෝට්ටුද උපයෝගී කර ගැන්මට සංචාරකයින් කටයුතු කරනවා.

බුදු පිළිම වහන්සේගේ සිරස කොටස දක්වාම යාමට පසුකලෙක පහසුකම් සලසා තිබෙනවා. මේ වන විට ජන ශුන්‍යව ඇති ලෂැන් පිළිම වහන්සේ ද කියා පාන්නේ ලෝකයේ අනියත ස්වභාවයයි. දිනකට දස දහස් ගණනක් පැමිණ නැරැඹූ පිළිමය අද හුදකලාවක් දක්වයි.

විශේෂයෙන්ම වෙනත් වර්ෂවල මැයි මාසය යනු අධිකම පිරිසක් ලෂැන් බුදු පිළිම වහන්සේ නැරැඹීමට පැමිණෙන කාලයයි. මේ පිළිම වහන්සේ නැරැඹීමේ හොඳම කාලය ලෙස සැලකෙන්නේ අප්‍රේල් මස 1 වැනිදා සිට ඔක්තෝබර් මස 7 වැනිදා දක්වායි.

පැන්ඩා සතුන් නැරැඹීමට යන ගමනේ විශේෂ ස්ථානයක් ලෙසයි ලෂැන් බුදු පිළිමය සංචාරකයින් සලකන්නේ.

ශ්‍රී ලංකා ලුංහුවා ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය හව් වේමින් පවසන්නේ චීනයේ පුරාවිද්‍යා ඒකක 5ක් විසින් මේ පිළිම වහන්සේගේ සංරක්ෂණ කටයුතු සිදු කරන අතර එහි සියලු කටයුතු සිදු කිරීමට චීන රජයද කටයුතු කරන බවයි.

එය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති හෙයින් එහි වටිනාකම තවත් තහවුරු වී ඇති බවද මහාචාර්යවරයා පෙන්වා දෙයි.

වන්දනාකරුවන් මෙන්ම පාසල් දරුවන්ද කණ්ඩායම් ලෙසින් පැමිණ මේ පිළිමය වන්දනා කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ පිළිමයට කිලෝමීටර් 31ක් දුරින් පිහිටි ‘අ මේ‘ කන්ද සලකන්නේ සමන්ත භද්‍ර හිමියන්ගේ මූලස්ථානය ලෙසින් බවද මහාචාර්යවරයා පවසනවා. එසේම එම කන්ද අවලෝකිතේෂ්වර හා මංජු ශ්‍රී යන මහායාන සම්ප්‍රදායයන්ගේ මූලස්ථානය ලෙසින්ද සලකන බවයි මහාචාර්යවරයාගේ මතය වන්නේ.

‘අ මේ ‘ කන්දට ලෂැන් බුදු පිළිම වහන්සේ හොඳීන් දර්ශනය වනවා. මේ පිළිමය ගුවන් යානයේ ගමන් කරද්දී ද ඉතා පැහැදිලිව දකින්නට පුළුවන්.

අතීත කලා නිර්මාණකරුවන්ගේ තවත් විශිෂ්ට නිර්මාණයක් වන ලෂෑන් පිළිම වහන්සේ තවත් කාලාන්තරයක් ලෝකයාට දැක ගන්නට සැලැස්වීමටයි චීන බලධාරීන් කටයුතු කරන්නේ. චීනයට ගොස් වරක් හෝ මේ පිළිම වහන්සේ නරඹන්නට හැකියාව ඇත්නම් එයත් බෞද්ධයෙක් ලෙස අපට ලබන්නට හැකි වටිනා සම්පතක් වේවි.