Print this Article


පහන් සිතක කවි

මිනිසා

ලොව ඇති සියලු යසිසුරු පිඩකට සකසා
දුන්නත් බලායනු ඇති මොනවද විමසා
වැටුණත් බිමට දඹරන් කහවනු වරුසා
සෑහීමකට පත් නොමවෙනු ඇති මිනිසා

හටගත් සියලු දේ වැනසෙන සුළුය කියා
වදහළ සේක ඒ තිලොවග තිලක පියා
තර කොට බෙදාගෙන මෝහය නමැති නයආ
මිනිසා විසින් අඳුරෙන් අඳුරටම ගියා

****

අමාඵලය

නිතර පින් කෙරුව ත්
කුසලය නිතර පිරුව ත්
භාවනා නොකළො ත්
නිවන් දොරටුව නො ඇරෙ ත්

වැඩුවොත් බවුන් මග
සිතකට සුවය නැත හිඟ
සමාධිය ඇත ළඟ
එවිට නිවන ම විඳී සත්වග

සමධි සුව යේ
පීනා දහම් නදි යේ
දුක දුරැර බව යේ
අමා ඵලයම ලබමු දිවි යේ

****

යථාර්ථය

පේන තැන නැත
මැරෙන ඉපදෙන කෙනෙක්
එතැන ඇත්තේ චිත්‍රයක්
හිතන තැන නැත
කිසි දෙයක් – කිසි කෙනෙක්
එතැන ඇත්තේ
දකින්නට බැරි අති සංවේදී ශක්තියක්

****

සැනසුම සොයමි

කාලය ගෙවෙනවා රැය දහවල වෙනවා
රූපය දිරනවා සැම වයසට යනවා
උදයම පිපෙන මල සවසට පර වෙනවා
කවදා නමුත් සැම මරු වසඟෙට යනවා

මුළු හදවතින් මම බුදුහිමි සරණ යමී
සසරින් එතෙර වන්නට මහ වෙර දරමී
සදහම් සුවය ලැබ ගැනුමට මුල පුරමී
ගෞතම සසුන තුළදි ම සැනසුම සොයමී

මහණෙනි සියල්ල ඇවිලෙයි යන බුදු වදන
කොපමණ ඇත්තක් ද ඒ ගැන සිතනු මැන
පස්කම් සුවය මිරිඟුවකුයි දැන හැඳින
ඉක්මන් කළ යුතුය නැසුමට භව ගමන

****

මෙත් සිත

තණ්හා ක්‍රෝධ වෛරයෙ ගිනි පුපුරද්දී
මිනිසා සොයන සැනසුම ඈතට යද්දී
කොතැනද නවතින්නේ විමසුම් නො කරද්දී
සසරේ අපායක දුක ගැන නො සිතද්දී

දම් ඔසුවක් තිබේ ඇයි එය නො සොයන්නේ
තණ්හා තිමිර පටලය ඇයි නො ඉරන්නේ
මෙත් කරුණාව මුදිතා ගුණ මතුරන්නේ
එවිටයි දිවිය හැඩ වී ලස්සන වන්නේ

****

පෝදා

සුදු ඇඳුමින් සැරසී අප යනවා
දාගැබ් පැදකුණු කර සැනසෙනවා
බෝ මළුවට වී බවුන් වඩනවා
බුදු මැදුරට ගොස් බුදුන් වඳිනවා

පහන් වැටේ තිර එළිය කරනවා
ඒ එළියෙන් නව පැතුම් පතනවා
හේවිසි ඝණ්ඨානාද ඇසෙනවා
ලොකු හාමුදුරුවෝ බණට වඩිනවා

සාධුකාර නාදය පැතිරෙනවා
බණමඩුවේ දම් රසය විඳිනවා
දහසක් වියවුල් අමතක වෙනවා
පෝයට පන්සල් යන්න හිතෙනවා