Print this Article


ව්‍යසනවලින් ගොඩ එන්න දින චරියාව වෙනස් කරන්න

ව්‍යසනවලින් ගොඩ එන්න දින චරියාව වෙනස් කරන්න

පසුගිය කාලයේ ලෝකයේ දිවි ගෙවූ බහුතරයක් ලෝක ධර්මතා වටහා ගත් බවක්, අවබෝධයෙන් කටයුතු කළ බවක් පෙනුණේ නැහැ. බුදු දහමේ කරුණු මහ ඉහළින් අදහන අප පවා ඒ ගැන අවබෝධයෙන් කටයුතු කෙළේ නැහැ.

අප කළ ඒ වරදේ ස්වභාවය තරම තමයි අද මේ අපි විඳවන්නේ. මඳක් සිතා බලන්න. අප ආහාර පිණිස පවා ගත්තේ මොනවාද කියා, බහුතරයක් පිරිස් ශරීරයට අහිතකර ලෙසයි ආහාර ගැනීම් සිදු කෙළේ. පුළුවන්තරම් වස විස ආහාරයට ගත්තා. ටිකක් හිතල බලන්න. කී දෙනෙක් පසුගිය අවුරුදු කීපය ඇතුළත පස්පංගුව බොන්න ඇත්ද? දැන් මොකද මේ වෙනිවැල්ගැට, කොත්තමල්ලි, පෙරුම්කායම්, හොය හොය දුවන්නෙ. පිටරටවලට පවා යවනවා දුම් අල්ලන්න හට්ටි පිටින්. ඒ කියන්නෙ අපි ඇත්ත නැත්ත හඳුනනවා කියන එකනේ. අපි දන්නවා නියම පිළියම මොකක්ද කියන එක.

භික්ෂූන් වහන්සේ කෙතරම් දැනුවත් කළත් ධර්ම දේශනා කළත් මේ තරම් බණ අහන ශ්‍රී ලංකාවේ, ලෙඩවීම, මරණයට පත් වීම යන ධර්මතා ගැන අප අවධානය යොමු කෙළේ නැහැ. තම තමන්ගේ වැඩ කටයුතු, තමන් නිවැරැදි යැයි සිතන ලෙසින් කරගෙන ගියා.

ඒ ගමනේ තිබුණ වැරැද්දේ ප්‍රතිඵල තමයි අද මේ අපි විඳීන්නේ. ධර්මානුකූලව සුළුවෙන් හෝ මේ ගැන අවධානය යොමු කරා නම් ප්‍රශ්නය මේ තරම් බරපතළ වෙන්නෙ නැහැ. ලෙඩවීම ගැන හිතුවනම් ඔය විදිහෙ ක්ෂණික කෑම බීම ගන්නවද? අපි කී දෙනෙක් බෙලිමල්, රණවරා අවුරුද්දකට සැරයක්වත් බොනවද කියල කල්පනා කරන්න. පොල්පලා, වැල්පෙනෙල වැල් පාග පාග කඩේට ගිහින් පාට කරපු පැණි බීම බෝතල් ගන්නවා.

වසර 34ක් විදේශ රටක සිටියත් අවුරුදු 10කට කලින් ලෝකය යන මේ ගමන වැරැදි බව අප තේරුම් ගත්තා .ඒ අනුව සතියට දවස් 3ක් පස් පංගුව පානය හුරු කළා. දහම් පාසල් දරුවන්ට පවා ඒ පානය හුරු කළා. ඒ අයට හොඳ ප්‍රතිශක්තියක් තියෙනවා.

සිංගප්පූරුව කියන රටින් අනෙක් රටවලට නැව් සිය ගණන් අපනයනය කළා. මේ වන විට රටට ආනයනය කරන තත්ත්වයට කරුණු සැලසෙමින් තිබෙන්නෙ.

අවුරුදු 100කට කලින් පැමිණි බව කියන ‘ස්පාඤ්ඤ උණ‘ රෝගයෙන් පවා මේ තරම් ලෝකයට හානි වෙලා නැහැ. නමුත් අද තත්ත්වය ගැන හොඳීන් අවධානයෙන් බලන්න.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ මධ්‍යම ප්‍රතිපදාව අනුව කටයුතු කළානම් මේ කිසි ලෙසකින් අපට විඳවන්නට වන්නේ නැහැ. අසීමිත සුඛ විහරණය, සුපිරි තත්ත්වයේ ආහාර පාන, ඉඳුම් හිටුම් අපට යම් ව්‍යසන අවස්ථාවකදී විශාල විපතක් ඇති කරනු ලබන බව අප තේරුම් ගත්තේ නැහැ. මේ අවස්ථාවේදී කොරෝනා රෝගය නිසා අපට රෝග හා මරණ බියක් ඇති වුණා. ඒ තැති ගැන්ම නිසා සමස්ත ලෝකයේම යම් පාලනයක් ඇති වුණා. එහෙත් ඒ ධර්මාවබෝධය නිසා නෙමෙයි. තාවකාලිකව ඇති වුණු බිය නිසයි.

සුපිරි දිවි පෙවෙත් අනුව ගෙවූ ජීවන රටාවන්ට මොකද දැන් වෙලා තියෙන්නෙ. කෝ රාත්‍රී සමාජ ශාලාවල එළිවෙනකල් විනෝද වුණු අය?

මීට පෙර ලෝකයට විපතක් වුණු විට ඇතැම් අයට ඒ බව දැනුණේ නැහැ. ඒත් දැන් ලෝකවාසී සියලු දෙනාටම මේ විනාශය දැනිලා තියෙන්නෙ.

දහම තේරුම් කරල දුන්නත් මිනිස්සු ලෙඩ වෙනවා මිය යනවා කියන එක කිසි කෙනෙකුට අවබෝධ කර ගන්න බැරි වුණා. දැන් ලෙඩේට බයේ, මරණයට බයේ යම් ආකාරයකින් අප පාලනය වෙලා ඉන්නවා. ඒත් යථාර්ථය බුදු රජාණන් වහන්සේ පෙන්වා දී වදාළ දහම තේරුම් ගෙන නෙමෙයි.

කොරෝනා රෝගය පැමිණියත් ඉතාලිය මොකද කෙරේ. ඒක කිසිම ගණනකට ගත්තේ නැහැ. ඒ අය කාලා බීලා නටලා රෑ එළි වෙනකල් විනෝද වුණා. රෝගය උත්සන්න වෙලා දවසකට දහස් ගණන් මියයද්දි තමයි ඒ අයගේ අවධානය යොමු වුණේ. එතකොට පරක්කු වැඩියි.

අද වන විට අපිට ජීවමාන විශාලා මහනුවර වගේ තත්ත්වයක් ඉතාලියේ හා ඇමරිකාවේ ඇති වෙලා තියෙනවා .

අපි දැන්වත් අපේ ජීවිත නිසි අවබෝධයෙන් යුතුව පවත්වාගෙන යා යුතු වෙනවා. අපේ දින චරියාව වහාම වෙනස් කළ යුතු වෙනවා.

අද අපේ දින චරියාව ගෙන බලන්න. දරුවන් උදේට ඇහැරෙනවා, කඩිනමින් සූදානම් වෙනවා. පාසල් වෑන් එකට දුවනවා. දරුවන් කී දෙනෙක් අඩුම ගානේ විනාඩියක් දෙකක් ආගම සිහි කර යනවාද? වැඩිහිටියන් ඒ වෙනුවෙන් දරුවන් හුරු කර නැහැ. පෝය දවසකට නැත්නම් ඉදල හිටල පන්සලට යනවා. එයින් පමණක් අපේ සාරධර්ම සකස් කර ගන්න අමාරුයි.

උදේට අවදිවෙලා පිළිවෙළකට සූදානම් පාසල් යන්න දරුවන් සූදානම් කළ යුතුයි. වේලාව ප්‍රමාණවත් නොවෙනවානම් තවත් විනාඩි 5ක් 10ක් දරුවන් කලින් අවදි විය යුතුයි. බුද්ධ වන්දනාව විනාඩි කිහිපයක් හෝ සිදු කර මවට පියාට වැඩිහිටියන්ට වැදලා ආශිර්වාදය ලබාගෙන යන්න දරුවන් හුරු කළ යුතුයි.

දරුවන්ගෙන් කී දෙනෙකුට පුළුවන්ද තුන් සූත්‍රයෙන් එක සූත්‍රයක්වත් කටපාඩමින් කියන්න.

ආහාර ගන්නා ක්‍රමවේදය වැරැදියි කියා දැන දැනත් ක්ෂණික ආහාර ගැනීම නවතා දරුවන් නිසි ලෙසින් පෝෂණය කළ යුතුයි. එසේ නොවී අපට වසංගත තත්ත්වයන්ගෙන් ගැලවෙන්නට බැහැ. ලෝකයේම සමාජ රටාව වෙනස් කළ යුතු වෙනවා.

ආගමට දහමට මුල් තැනක් ලබා දිය යුතුමයි. අපි ආගම දහම අදහන හැටි සිතා බලන්න. සමහර ගෙවල්වල උදේ පාන්දර පිරිත් ඇහෙනවා. ගුවන් විදුලියෙන්. පිරිත් දාන අම්මල තාත්තල එයාලගෙ වැඩ, පොල් ගානවා, කෑගහනවා, දරුවන්ට බණිනවා, අම්මල තාත්තල රණ්ඩු වෙනවා. පිරිත් පැත්තකින් ඇහෙනවා. මොකක්ද ඒ පිරිතේ තේරුම.

විනාඩි කිහිපයක් හෝ තමන් අවබෝධයෙන් ආගම දහම සිහි කරන්න එයයි වැදගත් වන්නේ.

බුදුරජාණන් වහන්සේ මෛත්‍රිය උදෙසා දේශනා කර ඇත්තේ

‘අච්චරා සංඝාත මත්තම්පි භික්ඛවෙ - භික්ඛු මෙත්තං චිත්තං භාවෙයිය - ඔවාද කරො ශාසන කරො‘

‘අසුරු සණක් හෝ භාවනාව සඳහා යොදවනවානම් අන්න එයා තමයි මගේ ශාසනයට අයත් වන තැනැත්තා.‘

එම නිසා පැය ගණන් පිරිත් හඬපට යෙදීමට වඩා තමන් බුද්ධ වන්දනාව විනාඩි කිහිපයක් කරන්න.

ලෝකයේ විද්‍යුත් නාළිකා ඔස්සේ සිදු කළ නොහැකි විෂයයන් දෙකක් තිබෙනවා. එකක් ආගම. අනෙක භාෂාව මේ ධර්මතා නැත්නම් විෂයයන් අවධානයෙන් යුතුව අවබෝධ කර ගත යුතුයි.

ඉදිරියේදී තවත් විශාල අර්බුද රැසක් මතුවෙන්නට පුළුවන්. අපි ඒ සඳහා දැන් සිටම සූදානම් විය යුතුයි.

අද කී දෙනෙක් ගහ මරා ගන්නවද? වැට මායිමට රණ්ඩු වෙනවද? සමහර දේ බෙදා ගන්න බැරිව. අවබෝධය නැතිකම නේද ඒ. ලෝකයේ දහස් ගණන් මියයාම හරහාවත් අප මේ ධර්මතා ගැන අවබෝධයක් ඇති කර ගත යුතු වෙනවා.

ලෝකයේ සුපිරි බලවතුන්ට මොකද වෙලා තියෙන්නෙ. ට්‍රම්ප් පවා අද මුඛ ආවරණ දාගෙන ආරක්ෂා වෙලා ඉන්නෙ. බුදු රජාණන් වහන්සේ ‘ආරෝග්‍ය පරමා ලාභා‘ යනුවෙන් දේශනා කරේ වසර 2600කට පෙරයි. ඒ ප්‍රකාශයේ සත්‍යයතාව අද ලෝකයම වටහා ගෙන අවසානයි.

අපේ ශීඝ්‍රගාමී ජීවිතයේ වේගය අඩු කර ගත යුතුයි. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ අපට සිඟාලෝවාද සූත්‍රය, ව්‍යඝ්ගපඡ්ජ සූත්‍රය වැනි දේශනා ගෙන හැර දක්වා තිබෙනවා. අප සැමවිටම මධ්‍යම ප්‍රතිපදාවෙන් කටයුතු කරන්නේ නම් අපට ගැටලු මතුවීම ඉතාම අඩුයි.

අද දුප්පත් පවුල්වලට ආහාර ගන්න වත්කම් නැහැ. ඒත් බලන්න ඇඳීරි නීතිය ඉවත් කළ සැණින් සුරාසල් ඉදිරිපිට තිබුණු පෝලිම්. ඒ පෝලිම්වල හිටපු අය දිහා බලන්න. ඇතැම් අය දිහා බලපුවහම එදා වේල හොයා ගන්න බැරි අය. ඒත් සුරාවට මුදල් තියෙනවා.

අප අවබෝධ කරගත යුතුයි මේ අර්බුදය ඉදිරියේදී තවත් අර්බුද රැසකට මුල පුරනා බව. මේ උවදුර නිසා දැනටමත් රැකී රක්ෂා හිඟයක් මතු වෙලා. ආහාර හිඟයක් ඇති වෙන ලකුණු පහළ වෙලා, ඒ වගේම වෙනත් ලෙඩදුක්වලට මුල් වෙන්නත් පුළුවන්. ජනතාවට සමාජ ප්‍රශ්න මතුවෙනවා. ඒවා වළක්වන්න බැහැ.