Print this Article


මහලු වියෙහි දුක් නොවන්න තුරුණු දිවිය ගොඩනගන්න

මහලු වියෙහි දුක් නොවන්න තුරුණු දිවිය ගොඩනගන්න


ප්‍රීතිමත් මහලු ජීවිතයක් ගත කිරීමට නම් සාර්ථක තරුණ ජීවිතයක් ගත කළ යුතු ය.

බුදුරජාණන් වහන්සේ භික්ෂූන් අමතා “‘මහණෙනි, ඒ මම පසු කලෙක තරුණ වියේ පසු වූයේ, කාල වර්ණ කෙස් කළඹින් යුක්ත වූයේ , භද්‍ර යෞවන වියෙහි පළමු වයසෙහි යුක්ත වූයේ දෙමාපියන්ගේ අකමැත්ත පිට දෙනෙතින් කදුළු වගුරුවමින් හඩන කල කෙස් රැවුල් බා කසාවත් හැඳ ගිහිගෙයින් නික්ම පැවිදි වුණෙමි" යනුවෙන් දේශනා කරති.

මෙයින් පෙනෙන්නේ බුදුන් වහන්සේ සිය ජීවිතයේ නිවැරැදිම තීරණය භද්‍රයෞවනයෙහි දී ගත් බවයි. ධනය උපයමින් දිවි ගෙවීම හෝ ආධ්‍යාත්මය පෝෂණය කරමින් දිවි ගෙවීම යෞවන වියෙහිම කළ යුතු වෙයි. මහලු වූ විට ධනය ඉපයීමට නොහැකි වන්නා සේ ම මහලු වූ විට සිත දමනය කිරීම ද කළ නො හැකි ය. ගසක්, ගොවියාට අභිමත අයුරින් සකසා ගත හැකි වන්නේ එහි කුඩා සමයේ දී ය. එපරිද්දෙන් සිත දමනය කළ හැකි වන්නේ ද කාය ශක්තිය පවතින සමයෙහි දී ය. කාය ශක්තිය ඉක්ම වූ විට සිත වැඩීමට නො හැකි ය.

බුදු දහම පරලොව ජීවිතය ගැන පමණක් උගන්වන දහමකි. සසර බියකරු බව පෙන්වන දහමකි. වැනි වදන් දහම නොදත් අඥානයින්ගේ මුවින් පිටවෙනු පෙනේ. බුදු දහම අධ්‍යනය කළ පුද්ගලයා ධර්මය වහා අවබෝධ කරගෙන ගැටලුවලින් තොර සාර්ථක ගිහි ජීවිතයක් සකසා ගනියි. මිනිසත් බව ලබන සත්වයා මාර්ග දෙකක යා යුතු ය. පළමු මාර්ගය ජීවිතය පවත්වා ගැනීමයි. දෙවැනි මාර්ගය ආධ්‍යාත්මය දියුණු කිරීමයි. ජීවිතය පවත්වා ගැනීමට, අඹුදරුවන් පෝෂණය කිරීමට, සමාජ මෙහෙවරෙහි යෙදීමට ධනය ඉපයිය යුතුය. උපයා ඇති ධනය නිවැරැදිව පරිභෝජනයට ගත යුතු ය. ධනය ඉපයීමටත්, ධනය පරිභෝජනයටත් බුදු දහමින් උපදෙස් ලබා දී ඇත. ඒවා අනුගමනය කරන්මෝ මෙලොවත් පරලොවත් ජයගනිති. තරුණ සමය විනෝදයෙන් ගත කිරීමට, ශරීරය පිනවීමට සහ වෙනත් නිෂ්ප්‍රයෝජන කටයුතුවලට ඇතැම්හු කළමනාකරණයකින් තොරව ධනය වැය කරති. ශරීර ශක්තිය දිනෙන් දින පිරිහෙමින් මහලු වියට පා තැබූ විට සරණක් සොයති. අන්අයගේ පිහිටම අපේක්ෂා කරති. බුදුන් දවසත්, වර්තමානයේත් මෙවැනි පිරිස් සමාජයේ ජීවත්වනු පෙනේ.

යමකු හෝ යම්දෙයක් විනාශවීමටත්, අසාර්ථකවීමටත් බලපාන හේතු ඇත. මෙහි දී ජීවිතය අසාර්ථකවීමට රහමෙර පානය කිරීම, නොකල්හි වීථිසංචාරයේ යෙදීම, උත්සව, සංදර්ශන පිණිස යාම, ප්‍රමාදයට සහ ධනය විනාශයට හේතුවන සූදු කෙළියෙහි යෙදීම, පාප මිත්‍රයන් හා එක්වීම, අලස බවින්කාලය ගෙවීම යන කරුණු හය හේතුවන බව පෙන්වා දෙයි.

මහලු වියෙහි සතුටින් ජීවිතය ගත කිරීමට නම් භෝග විනාශ මුඛ සයෙන් හෙවත් දොරටු සයෙන් සම්පූර්ණයෙන් මැ ඈත් විය යුතු ය. එය සාර්ථක තරුණ ජීවිතයකට මුල පිරුමක් වන අතර ප්‍රීතිමත් මහලු දිවියක ආරම්භය ද වෙයි. මේ මාර්ගයේ ගමන් කරමින් ධනය උපයා දරුවන් වෙනුවෙන් ඒවා ආරක්ෂා කර තබා දෙමාපියන් කළුරිය කළ පසු ඇතැම් දරුවෝ ඒවා රිසි අයුරින් වියදම් කරමින් තරුණ දිවිය විනෝදයෙන් ගත කිරීමට උත්සාහ දරයි.

එලෙස ජීවත් වෙයි. ඔවුන් නොදැනුවත්ව ම ධනය පිරිහී යයි. ඒ වන විට ඔවුන්ගේ ශරීර ශක්තිය ද පිරිහී ගොස් ඇත. එවැනි අවස්ථාවල ඔවුන්ට උරුම වන එකම ධනෝපාර්ජනය සහ දිවි රැකීමේ රැකියාව වන්නේ අනුන්ට අතපා යමක් ඉල්ලා ගනිමින් ජීවත්වීම ය. බුදුන් වහන්සේ එවැනි පවුලක් උදෙසා දේශනා කොට වදාළ ගාථා ධර්මයක් ධම්මපදයේ දක්වා ඇත. එය මහලු ජීවිතය ගත කළ යුතු ආකාරය සහ තරුණ දිවිය ඒ වෙනුවෙන් කැප කළ යුතු ආකාරය පෙන්වා දෙන්නකි.

දඹදිව බරණැස් නුවර මහා ධනයකට හිමිකම් කියූ සිටුවරයෙකුගේ පුතකු ලෙස මහධන සිටුවරයා අසූකෙළක් ධනයකට හිමිකම් කියමින් ම උපත ලබයි. එම නගරයේ ම අසූ කෝටියක් ධනය හිමි තවත් සිටු පවුලක මහධන සිටුවරයා විවාහ කරගත් සිටුදේවිය ද උපත ලබයි. දෙදෙනාම තරුණ වියට පා තැබූ පසු දෙපිරිසේ දෙමාපිය ආශිර්වාදය මැද දෙදෙනා විවාහ ගිවිස ගනියි. කාලයාගේ ඇවෑමෙන් දෙදෙනාගේම දෙමාපියන් කළුරිය කිරීමෙන් පසු සියලු ධනය ඔවුන්ට හිමි වෙයි. කිසිදු වෙහෙසකින් තොරව ධනය හිමි වූ සිටුවරයා පාපමිත්‍ර සේවනය හේතුවෙන්, සුරාවට පෙළඹී දෙ අසූකෝටියක් වූ ධනය අහිමි කරගනියි. තමා සමීපයේ සිටි සියලු මිතුරන් ද සිටුවරයා අත්හැර දමයි. ඒවන විට දැඩි ශාරීරික දුබලතාවලින් පිරි සිටුවරයා සහ සිටු දියණිය අන් අයගේ පිහිට පතමින් වීථිවල හැසිරෙන අයුරු දැක බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතා තරුණ වියෙහි කළ යුතු කටයුතු නො කර වයසට ගිය පසු ඒ ගැන සිතමින් පසුතැවෙන පුද්ගලයා මසුන්ගෙන් හිස් වුණු දිය සිදුණු විලක් අසලට වී පසුතැවෙන පියාඹා යාමට නොහැකි කොස්වාලිහිණියකුට උපමා කර දක්වයි

ධම්මපදයේ එන මේ ගාථා ධර්මයෙන් තරුණවියෙහි දී බඹසර විසීම හෝ ධනය ඉපයීම කළ යුතු බව පෙන්වා දෙයි. යමෙකු මේ දෙකින් එකක්වත් නො කර තරුණ සමය ගත කරන්නේ නම් ඔහු දිය සිදුණු විල සමීපයේ සාගින්නෙන් පෙලෙමින් සුසුම්ලන කොස්වාලිහිණියකුට සමාන කර ඇත. වැසි සමයේ මසුන් අල්ලා ගත යුතුවාක් මෙන් ම තරුණ වියෙහි දී කය වෙහෙසා ධනය ඉපයිය යුතු ය. ආයෝජන කළ යුතු ය. පවත්නා ධනය සුරුකිය යුතු ය. බුදු දහම පරලොව ගැන උගන්වන දහමක් පමණක් නොවන බව මෙයින් තහවුරැ කරයි. ධනය ඉපයීම, ධනය වියදම් කිරීම සහ ජීවිතයේ එක් එක් අවධි ගත කළ යුතු ආකාරය ද පැහැදිලිව උගන්වයි.

මිනිස් ජීවිතයක් සාර්ථක කර ගැනීමට බුදු දහමේ පවතින මග පෙන්වීම් වෙනත් කිසිදු දාර්ශනික මග පෙන්වීමක දක්නට නැත. අන් අයට හිංසාවක් හෝ පීඩාවක් හෝ නො වන අයුරින් සහ තම චිත්ත සන්තුෂ්ටිය රැකෙන අයුරින් මග පෙන්වීම් කර ඇත. එක් මග පෙන්වීමක් අනුව සාර්ථක ජීවිතයක් ගොඩනගා ගැනීමට නම් නොපසුබස්නා උත්සාහය, නිවැරැදි සිහිකල්පනාව, කයින් වචනයෙන් සහ සිතින් නිවැරැදි දේ කිරීම, විමසා බලා කටයුතු කිරීම, හික්මීම, දැහැමිව ජීවත්වීම, ජීවිතය සාර්ථකව ඉදිරියට ගෙන යන කටයුතුවල අලස බිවින් තොරව යෙදීම යන කරුණු හත තම ජීවිතයට සමීප කර ගත යුතු බව දක්වයි.

සිය ධනය කොතරම් තිබුණත් තම උත්සාහයෙන් ධනය උපයා ජීවත්වීමට වෙරදැරීම නිසාම කුම්භඝෝෂක කුමරුට සිටුතනතුරු පවා හිමි වෙයි. අලස නොවී කටයුතුවල යෙදීමෙන් ජීවිත සාර්ථක කරගත් පුද්ගල චරිත බුදුන් දවසත්, අදත් දක්නට ලැබෙයි. තරුණ වියෙහි කොතෙක් ධනය තිබුණත් මහලු වූ විට ඇතැම්හු අපමණ දුක් විදිති. ප්‍රීතිමත් ජීවිත ගත නො කරති. ඒ තරුණ වියෙහි නිසි ධන කළමනාකරණයක් සහ ධාර්මික දිවිපෙවතක් ගත නො කිරීමේ හේතු ය. එ බැවින් ජීවිතයේ ආරම්භයේ සිට ම ප්‍රීතිමත් මහලු දිවියක් උදෙසා සැලසුම් සැකසිය යුතු ය. ගෙය ගිනිගත් විට ළිං හෑරීමෙන් පළක් නො වෙයි. යන උපමාව නිතර සිහියේ තබා ගැනීම ප්‍රීතිමත් මහලු දිවියක් සැලසුම් කර ගැනීමට උපකාර වනු ඇත.