Print this Article


තෙවළා බුදු වදන් අතරින් 65 : සැබැවින්ම යමක් පිදිය යුත්තා කවුද?

තෙවළා බුදු වදන් අතරින් 65 :

සැබැවින්ම යමක් පිදිය යුත්තා කවුද?

සංයුක්ත නිකායේ කෝසල සංයුත්තයේ ඉස්සත්ත සූත්‍රයේ දැක්වෙන පරිදි දිනක් බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි කොසොල් රජතුමා "භාග්‍යවතුන් වහන්ස, කවුරුන් උදෙසා දන් දිය යුතුදැයි? " විමසී ය.

එයට පිළිවදන් දුන් භාග්‍යවතුන් වහන්සේ "යමෙකු කෙරෙහි සිත පැහැද එම තැනැත්තාට දිය යුතුය” යැයි පැවසූහ. එයින් සෑහීමට පත් නොවූ කොසොල් රජු " භාග්‍යවතුන් වහන්ස, කවරෙකු උදෙසා දීමෙන් මහත්ඵල මහානිසංස ලැබේදැයි” විමසීය. අනතුරුව භාග්‍යවතුන් වහන්සේ, මහාරජ "කවුරුන් උදෙසා දන් දිය යුතුද?" යනු එක් කරුණකි. "කවුරුන් උදෙසා දන්දීම මහත්ඵල මහානිසංස වේද?" යනු අනිකකි, යනුවෙන් පවසා සිල්වතාට දන්දීම මහත්ඵල මහානිසංස ලැබීමට හේතුවන බවත් දුසිල්වතාට යමක් පිදීමෙන් උසස් ආනිසංස නොලැබෙන බවත් පැහැදිලි කළහ .

බුදුරජාණන් වහන්සේ කොසොල් රජතුමාටම කරුණු අවබෝධ කර ගැනීමට පහසුවන පරිද්දෙන් ප්‍රශ්න කීපයක් විමසූහ. කිසියම් යුද්ධයක් එළඹි මොහොතක සටන් කිරීමෙහිලා මනා පුහුණුවක් හා දක්‍ෂතාවක් නොමැති ක්‍ෂත්‍රීය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර යන කවර කුලයකට අයත් තරුණයෙකු වුව රජු විසින් පෝෂණය කරනු ලබන්නේදැයි බුදුරජාණන් වහන්සේ කොසොල් රජුගෙන් විමසූ සේක. එයට පිළිවදන් දුන් කොසොල් රජු ප්‍රකාශ කළේ යුද්ධයක් එළඹි මොහොතක එවන් අභියෝගයක් ජයගත නොහැකි කවර අයෙකුවුව තමා විසින් පෝෂණ නොකරනු ලබන බවත් තමා විසින් පෝෂණය කරනු ලබන්නේ කවර කුලයකට අයත් වුවද යුද්ධයෙහි දක්‍ෂතාවක් ඇති තරුණයන් බවත් පැවසීය. අනතරුව කොසොල් රජු ඇමතු බුදුරජාණන් වහන්සේ ගිහිගෙයින් නික්ම පැවිද්දට පත් කවර කුලයකට අයත් කෙනෙකු වුව අංග පහක් බැහැර කොට, අංග පහකින් යුක්ත වේද එම තැනැත්තාට යමක් පිදීම මහත්ඵල මහානිසංස වන බව පැවසූ සේක. ඉක්බිති බුදුරජාණන් වහන්සේ එම බැහැර කළ අංග පහත් වර්ධනය කරනලද අංග පහත් කොසොල් රජුට සැකෙවින් පැහැදිලි කළහ.

ඒ අනුව කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්චකුක්කුච්ච, විචිකිච්ඡා යන පංච නීවරණ ධර්ම බැහැර කිරීම අංග පසක් බැහැර කිරීම නම් වේ. මෙම ධර්ම චිත්ත සමාධියට මෙන්ම ප්‍රඥාව අවදිකරගැනීමට බාධාකාරි එමෙන්ම ප්‍රඥාව දුර්වල කරන ධර්මයෝ ය. යම් කෙනෙක් මෙම පංචවිධ නීවරණ ධර්ම බැහැර කර තිබේ නම් එම තැනැත්තා චිත්ත සමාධිය සම්පූර්ණ කළ අයෙකු ලෙස හැඳීන්වීම නිවැරදිය. අකුසල චෛතසික වන පංච නීවරණ ධර්ම මනස තුළ කොතරම් ප්‍රබල ලෙස ක්‍රියාත්මක වන්නේද යන්න සිත්ගන්නා සුළු උපමා පහකින් පැහැදිලි කළ අයුරු සංගාරව සූත්‍රයෙහි දැක්වේ.

චිත්ත සමාධියට බාධාකාරිවන නීවරණ ධර්ම බැහැර කිරීම චිත්ත භාවනාව හෙවත් සමථ භාවනාවෙහි මූලික අරමුණ වේ. ප්‍රඥාව අවදි කර ගැනීමට අවශ්‍ය යෝග්‍යතාව වර්ධනය කෙරෙන්නේ නීවරණ බැහැර කිරීමෙන් ය.

සිත නීවරණයන්ගෙන් මිදීම ණයෙන් නිදහස් වීමක්, රෝගයකින් සුවපත් වීමක්, සිරෙන් නිදහස් වීමක්, වහල් බවින් නිදහස් වීමක්, උවදුරුවලින් නිදහස් වීමක් හා සමාන කොට දක්වා තිබේ. නීවරණ පහකිරිමෙන් ඇතිවන මානසික පරිවර්තනය කෙබඳු ආකාරයේ එකක්ද යන්න මෙම නිදසුන් මගින් සනාථ වේ. පංචනීවරණ පහකළ තැනැත්තාගේ සිත ප්‍රීතියෙන් පිරී පවතින හෙයින් එහි ප්‍රතිඵලයක් වශයෙන් කයද සැහැල්ලුවට පත්වන බව සාමඤ්ඤඵල සූත්‍රයේ දැක්වේ.

සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්තිඤාණ දර්ශනය යන අංග පහ වර්ධනය කළයුතු අංග ලෙස නම්කර තිබේ. ඒ සියල්ල හැඳීන්වීම සඳහා "අසේඛ” යන පොදු වචනය භාවිත කොට තිබේ.

සේඛ - අසේඛ යන වදන් ආධ්‍යාත්මික පුහුණුව හා සම්බන්ධ විශේෂ යෙදුම් ය. සේඛ යනුවෙන් හැඳීන්වෙන්නේ ආර්යමාර්ගයේ ශික්‍ෂණය වන හෙවත් පුහුණුවන ශ්‍රාවකයා ය. පුහුණුව සම්පූර්ණ කොට විමුක්තිය සාක්ෂාත් කළ පුද්ගලයාට තවදුරටත් පුහුණුවක් අවශ්‍ය නොවන හෙයින් ඔහු අසේඛ යනුවෙන් හැඳීන් වේ. අෂ්ටාර්ය පුද්ගලයන් අතරින් අග්‍රඵලය සාක්‍ෂාත් කළ තැනැත්තා හැර අනෙකුත් මර්ග-ඵල ලාභීන් සේඛ ගණයට ඇතුළත් වේ. ඒ ඔවුන් විමුක්තිය සාක්ෂාත් කිරීමෙහිලා තවදුරටත් ශික්‍ෂණය වියු යුතු හෙයිනි.

කොසොල් රජු ඇසූ පැනයට බුදුරදුන් ලබාදුන් පිළිතුරෙහි ඇතුළත් වර්ධනය කළ යුතු අංග පස සම්පූර්ණ කළ තැනැත්තා රහතන් වහන්සේ ය. උන්වහන්සේගේ ශීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්තිඤාණ දර්ශනය හැඳීන්වීම සඳහා අසේඛ යන්න භාවිත කොට ඇත්තේ ඒ හෙයින්ය. බුදුරදුන් වදාළ පරිදි පංචනීවරණ බැහැර කොට වර්ධනය කළ යුතු අංග පසින් පරිසමාප්තියට පත් රහතන් වහන්සේ උදෙසා පිරිනමන දානය මහත්ඵල මහානිසංස වේ. කොසොල් රජු ඇසූ "කවුරුන් උදෙසා දන්දිය යුතුද?" යන පළමු පැනයට අනුව තම සිත පැහැදුන කවර ප්‍රතිග්‍රාහකයෙකුට වුව දිය හැකිය.

එහිලා කිසිදු සීමා සම් භේදයක් නැත. දුසිල්වතාගේ සිට මාර්ගඵල ලාභී උතුමෙකු දක්වා (රහතන් වන්සේ හැර) කවර අයෙකුට වුව යමක් පරිත්‍යාග කළ හැකිය. මේ වනාහි දානයෙහි හා පරිත්‍යාගයෙහි පොදු තත්ත්වයයි.

එහෙත් දෙවන ප්‍රශ්නය අනුව කිසියම් විශේෂ පිරිසක් අවධාරණය කර තිබේ. එනම් පංචවිධ නීවරණ බැහැර කළ අංග පසකින් පරිසමාප්තියට පත් වීතරාගී උතුමා ය. එම උතුමන් උදෙසා යමක් පරිත්‍යාග කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබේ. දන්දිය යුත්තා හා යමක් දීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නා යනු දෙදෙනෙකි. තම සිත පැහැදුන කවරෙකු උදෙසා දන්දිය හැකි වුවද එයින් මහත්ඵල මහානිසංස නොලැබේ. එයින් පිනක් හෝ කුසලයක් සිදුවුවද එය මහත්ඵල මහානිසංස නොවේ. එහෙත් වීතරාගි උතුමෙකුට යමක් පිදීමෙන් මහානිසංස ලැබේ.

එයට හේතුව උන්වහන්සේ ශීලයෙන් පරිපූර්ණත්වයට පත්ව ඇති හෙයිනි. මේ අනුව දන්දිය යුත්තා මෙන්ම මහානිසංස ලැබෙන්නා යනු දෙදෙනෙකි යන්න පැහැදිලිය. දානයෙහි මහත්ඵල මහානිසංස ලැබීම කෙරෙහි ඉවහල් වන්නේ ප්‍රතිග්‍රාහකගේ ශීලය ආදි ගුණය ය. එය සාමාන්‍ය මට්ටමේ එකක් නොව පරිපූර්ණ ත්වයට පත් වූවකි.

දානය පිළිබඳ අනුශාසනා කරන බොහෝ දෙනෙක් කොසොල් රජු හා බුදුරදුන් අතර ඇතී වූ මෙම ධර්ම සංවාදයෙහි පූර්ණ අවබෝධය ලබාගෙන නොමැත.

ඔවුහු තම සිතැගියාව පරිදි සිල්වතුන්ට දන්දීම ගැන පමණක් සිහිපත් කරනු පෙනේ. එහෙත් මෙහි සිතා යනු වීතරාගී උතුමාය යන්න පැහැදිලිය. එහි ඇති විශේෂත්වය ගැන නිසි වැටහීමක් නොමැති නිසා දන්දීය යුත්තා හා මහත්ඵල මහානිසංස ලබන්නේ කවුරුන්දැයි නිවැරදිව හඳුනාගත නොහැකිය. එහෙත් ඉහතින් දැක්වූ පරිදි කවරෙකුට වුව දන්දිය හැකි වුවද මහත්ඵල මහානිසංස අපේක්ෂා කරන්නේ නම් සිල්වතුන් උදෙසා ම පිරිනැමියතු ය.