ස්වර්ණහංස ජාතකය
මෙවර බුදුසරණ කවරයෙන් දැක්වෙන්නේ ස්වර්ණහංස ජාතක කතාවේ අවස්ථාවකි. එය සැකෙවින් මෙසේ
ය.
බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සමයේ ඒ ප්‍රදේශයේ ලූනු වගා කළ උපාසකයෙක්
විසී ය. ඔහු භික්ෂු භික්ෂුණින් වහන්සේලාට ලූනු කඩා දෙයි. දිනක් නන්දා නම් මෙහෙණක්
උපාසකගෙන් ලූනු ඉල්ලුවා ය. වත්තට ගොස් ගස් තුනක් ගනුමැනව‘යි කීවේ ය.
නන්දා මෙහෙණ තවත් මෙහෙණිවරු සමග ගොස් තමන්ට රිසි සේ ලූනු කැඩීය. මේ දුටු උපාසක
තරහින් කෑ ගැසී ය. නන්දා මෙහෙණ ඇතුළු පිරිස කළකිරිමට පත්වූහ. තමන් කළ දේ ගැන
නොසිතා, මේ බව භාග්‍යවතුන් වහන්සේට සැළකළහ. ඒ ඇසූ බුදුරජාණන් වහන්සේ
“පැවිද්දන් විසින් දුන් දෙයක් මිස නුදුන් දෙයක් නොගත යුතු ය. අධික තණ්හාව විනාශයට
මුලය. ඇති දෙයක් නැති වන්නේ ය. පිටතින් ද දෙයක් නොලැබෙන්නේ ය. ලද දෙයින් සතුටු
වන්න. එයින් ඇති දෙය තහවුරු වෙයි. පිටතිනුත් ලැබෙයි’
යනුවෙන් දේශනා කොට වදාළහ. එමෙන් ම මේ නන්දා නම් භික්ෂුණිය පෙරත් අධික තණ්හා ඇත්තී
යැයි අතීත කතාව වදාළ සේක.
අතීතයේ බරණැස් නුවර බඹදත් නම් රජකෙනෙක් විසී ය. එකල බමුණු කුලයක උපන් බෝසතාණන්
වහන්සේට දූවරු තිදෙනෙක් වූ හ. ඔවුන් කුඩා කල්හිම බෝසතාණෝ මිය ගොස් ස්වර්ණහංසයෙක් ව
උපන්හ. දිනක් ස්වර්ණහංස තෙමේ ජාතිස්මරණ ඥානයෙන් තමන් ඉහත ජාතියෙහි බමුණු ව උපන්
බවත්, අඹු දරුවන් අනුන්ට බැලමෙහෙ කරමින් ජීවත් වන බවත් දුටුවේ ය.
ඔවුන් දිළිඳු කමින් මුදවනු පිණිස වරින් වර ඔවුන්ගේ ගෙට ගොස් එක එක රන් පිහාටුව දමා
ගෙයි වහලය මත සිටියහ.
“ඔබ කවුරුදැ”යි දූවරු අසූහ.
”ඔබගේ පියාණෝ ය. පිහිටට පැමිණියෙමි’යි ස්වර්ණ හංසයා කීවේ ය.
මෙසේ කීප දිනක් ම සිදුවිය. දිනක් බැමිණිය සිය දූවරු අමතා පියාණන් අල්ලා ගෙන පිහාටු
සියල්ල උදුරා ගන්නැ’යි කීවා ය. දූවරු ඊට අකැමැති වූ හ. බැමිණි ය දිනක් ස්වර්ණ හංසයා
අල්ලාගෙන පියාපත් සියල්ල උදුරා ගත්තා ය. එහෙත් ඒ සියලු පිහාටු සාමාන්‍ය පිහාටු විය.
නැවත කිසි දිනෙක බෝසත්හු නොපැමිණියහ. මේ අතීත පුවත දැක් වූ සර්වඥයන් වහන්සේ එකල
බැමිණි නම් මේ නන්දා මෙහෙණ යැයි ද, හංසරාජයා නම් තමන් වහන්සේ යැයි ද වදාළ සේක. |