Print this Article


ආර්ය ශ්‍රාවක ප්‍රතිපදාව - 01:  පෘථග්ජන බවින් මිදීම

ආර්ය ශ්‍රාවක ප්‍රතිපදාව - 01: 

පෘථග්ජන බවින් මිදීම


ගෞතම ශාසනය තුළ ආර්ය ශ්‍රාවකයින් අටදෙනෙකු ගැන කරුණු සඳහන් වේ. උන්වහන්සේලා නම්, රහතන් වහන්සේ, රහත් මාර්ගයට පැමිණි උත්තමයා, අනාගාමී උත්තමයා , අනාගාමී මාර්ගයට පැමිණි උත්තමයා, සකෘදාගාමී උත්තමයා, සකෘදාගාමී මාර්ගයට පැමිණි උත්තමයා, සෝවාන් උත්තමයා සහ , සෝවාන් මාර්ගයට පැමිණි උත්තමයා ය.

සංයුත්ත නිකායේ පටිපන්න සූත්‍රයේ දී මේ ආර්ය ශ්‍රාවකයින් අටදෙනාට අමතර ව නව වැන්නෙකුත් හඳුන්වා දී ඇත. ඔහු පෘථග්ජනයායි. මෙම පෘථග්ජනයා ගෞතම ශාසනයෙන් බැහැර වූවෙක්. බුදුරජාණන් වහන්සේම ඒ බව දේශනා කළේ ‘බාහිරො පුථුජ්ජනපෙක්‍ඛ ඨිතොති වදාමි‘ යනුවෙන්. මෙයින් පැහැදිලි වෙන්නේ පෘථග්ජනයා ගෞතම ශාසනයේ සිව්වණක් පිරිසට අයිති නොවන බවයි. පෘථග්ජන භාවයේ සිටිමින් කිසිදාක ආර්ය මාර්ග ප්‍රතිපදාව ආරම්භ කිරීමටවත්, එහි ගමන් කිරීමටවත් නොහැකියි. ඒ නිසා ආර්ය මාර්ගයේ ගමන් කිරීමට කැමැති අය විසින් පළමුවෙන් ම කළ යුත්තේ පෘථග්ජන බවින් මිදීමයි. පෘථග්ජන බව ඉක්මවීමයි.

පෘථග්ජන බවේ බැරෑරුම්කම හා භයානකකම තේරුම් නොගත් සමහරු ඇතැම් අවස්ථාවක තමන්ගෙන් වරදක් සිදු වුණාම සිදු කළ හෝ , සිදු වූ වරද සුළු කොට සැලකීමට පුරුදුව සිටියි. අනෙත් අයත් ‘තාම ඉතිං අපි හැමෝම පෘථග්ජනයො නේ. ඒකනේ අපි කාගෙනුත් වැරදි සිදු වෙන්නේ‘ යි පවසමින් ඒ වැරදි ඉවසා සිටියි. ඔබ සිදු කළ හෝ ඔබ අතින් සිදු වූ හෝ වැරැද්ද අවම කර ගැනීමට ඔබම තමන් පෘථග්ජනයෙක් යැයි පිළිගනිමින්, ඔබේ මුවින් ඒ බව ප්‍රකාශ කරනවා නම් ඔබ ඒ මොහොතේම ගෞතම ශාසනයෙන් බාහිර, ගෞතම ශාසනයට අයිති නැති අයෙකු බවට පත් වේ. එය මොනතරම් භයානක කරුණක්දැයි නුවණින් විමසන්න.

පෘථග්ජන බව හඳුනාගැනීම

‘පුථුජ්ජන‘ පාලි වචනයේ සරලම තේරුම පුහුදුන් බවයි. එනම් මාර්ග ඵල නොලැබූ බවයි. පුථු + ජනන වචන දෙකේ එකතුවෙනුයි ‘පුථුජ්ජන‘ වචනය හැදිල තියෙන්නේ. ‘පුථු‘ මහා කෙලෙස් ‘ජනන‘ උපද්දවන හෙයින් පුථුජ්ජන (පෘථග්ජන) නමින් මාර්ග ඵල නොලැබූ අය හඳුන්වනවා. අටුවාව එය දක්වන්නේ ‘ පුථු කිලෙස ජනෙන්තීති - පුථුජ්ජනො‘ කියලා. මීට අමතරව දීඝනිකාය අටුවාව පුථුජ්ජන වචනය විවිධ තේරුම්වල අර්ථ දක්වා තිබෙනවා. ඉන් අර්ථ කිහිපයක් මෙසේයි.

1. සො හි පුථූනං නානප්පකාරකානං කිලෙසාදීනං ජනනාදීහි කාරණෙහි පුථුජ්ජනො (මහත් වූ නානාප්‍රකාර ක්ලේශයන් ඇති කරන කරුණුවලින් යුක්ත වන නිසා පෘථග්ජන නම් වේ)

2. පුථු අවිහත සක්කායදිට්ඨිකාති පුථුජ්ජනා (නොනසන ලද සක්කාය දෘෂ්ටි ඇත්තේ පෘථග්ජන නම් වේ)

3. පුථු සත්‍ථාරානං මුඛුල්ලොකකාති පුථුජ්ජනා (ශාස්තෘවරුන්ගේ මුව දෙස මහත් සේ බලා සිටින්නේ පෘථග්ජන නම් වේ)

4. පුථු සබ්බගතීහි අවුට්ඨිතාති පුථුජ්ජනා (සියලූ ගතීන්හි නොනැගිටින ලද්දේ පෘථග්ජන නම් වේ)

5. පුථු නානාභිසංඛාරෙ අභිසංකරොන්තීති පුථුජ්ජනා (නොයෙක් නොයෙක් අභිසංස්කාරයන් රැස් කරන්නේ පෘථග්ජන නම් වේ)

6. පුථු නානා ඔඝෙහි වුය්හන්තීති පුථුජ්ජනා (නොයෙක් සැඩ දිය පහරින් ගසාගෙන යන්නේ පෘථග්ජන නම් වේ)

7. පුථු නානා සන්තාපෙහි සන්තප්පන්තීති පුථුජ්ජනා (නොයෙක් සන්තාපයන්ගෙන් මහත්සේ තැවෙනුයේ පෘථග්ජන නම් වේ)

8. පුථු නානා පරිළාහෙහි පරිඩය්හන්තීති පුථුජ්ජනා (නොයෙක් දාහයන්ගෙන් මහත් සේ දවනු ලබන්නේ පෘථග්ජන නම් වේ)

9. පුථු පඤ්චසු කාමගුණෙසු රත්තා ගිද්ධා ගථිතා මුච්ජිතා අජ්ඣොපන්නා ලග්ගා ලගිතා පළිබුද්ධාති පුථුජ්ජනා

(පස්කම් ගුණයන්හි මහත් සේ ඇලූණු, ගිජු වුණු, ගැලූණු, මුලා වුණු, බැස ගත්, ලැග ගත්, පැටලූණු බැවින් පෘථග්ජන නම් වේ)

10. පුථු පඤ්චහි නීවරණෙහි ආවුතා නිවුතා ඔවුතා පටිච්ඡන්නා පටිකුජ්ජිතාති පුථුජ්ජනා (පංච නීවරණයන්ගෙන් මහත් සේ වටවුණු, දැවටුණු, බාධා කරන ලද, වැසුණු, යටිකුරු වුණු බැවින් පෘථග්ජන නම් වේ)

11. පුථූනං බහූනං ගණනපථමතීතානං අරියධම්ම පරම්මුඛානං නීචධම්මසමාචාරානං ජනානං අන්තො ගධත්තාති පුථුජ්ජනා

(මහත් වූ බොහෝ වූ ගණන පථය ඉක්මවා ගිය ආර්ය ධර්මයන්ට පිටු පෑ නීච වූ ස්වභාව හා සමාචාර ඇති බැවින් පෘථග්ජන නම් වේ)

12. පුථු වා අයං විසුං යෙව සංඛං ගතො විසංසට්ඨො සීලසුතාදි ගුණයුත්තෙහි අරියෙහි ජනෙහීතිපි පුථුජ්ජනො (සීලසුත ආදී ගුණ ඇති ආර්ය ජනයන්ගෙන් වෙන් වූයේ යැයි ප්‍රකටව ගිය බැවින් පෘථග්ජන නම් වේ)

පෘථග්ජනයාගේ මූලිකම ලක්‍ෂණය සිය චිත්ත සන්තානය තුළ බොහෝ සේ, මහත් සේ කෙලෙස් ඉපදීමයි. උපද්දවීමයි. බුදුදහම තුළ මිනිස් සිතක ඇති වන කෙලෙස් එක්දහස් පන්සියයක් පමණ දක්වා තිබේ. නමුත් මේ අතරෙන් නිතර නිතර බොහෝසේ, මහත් සේ පෘථග්ජනයෙකුගේ සිතේ ඇති වෙන්නේ කෙලෙස් දහසයක් (16) පමණයි. මෙම කෙලෙස් දහසය නිතර නිතර බොහෝ සේ, මහත් සේ සිත තුළ ඉපදීම, ඇතිවීම පෘථග්ජන බවේ ස්වභාවයයි.

එසේ නිතර ඇති වන කෙලෙස් දහසය මජ්ජිම නිකායේ වත්‍ථූපම සූත්‍රයේ දී දක්වා ඇත්තේ මෙසේයි.

අභිජ්ඣා - දැඩි ලෝභකම, ව්‍යාපාද - අනුන්ට හානි කිරීමේ කල්පනාව, කොධ - අනුන් විනාශ කිරීමේ කල්පනාව, උපනාහ - සිත තුළ පවතින වෛරී සිතුවිලි, මක්ඛ - කළ ගුණ යටපත් කිරීමේ ගුණමකුබව, පලාස - උසස් ගුණවත් අය තමා හා සමාන කොට සිතීම, ඉස්සා - අනුන්ගේ ලාභ සැප කීර්ති ප්‍රශංසා ආදිය ඉවසා සිටීමට නොහැකි ගතිය, මච්ඡරිය - තමන්ට අයිති දේඅනුන්ට ලැබීම ගැන ඇති අකමැත්ත, මායා - කළ පව්කම් සඟවන ගතිය, සාඨෙය්‍ය - තමා තුළ නැති ගුණ ඇති ලෙස හැඟවීම, ථම්භ - නොනැමෙන දරදඬු ගතිය, සාරම්භ - අනුන්ට වඩා ඉහළින් පෙන්වීමට ඇති කැමැත්ත, මාන - අනුන් හා තමා සැසඳීමෙන් තමා උසස්ය, නැතිනම් තමන් ඒ අය හා සමානය, එහෙමත් නැතිනම් තමන් පහත්ය යනුවෙන් ඇති කර ගන්නා හැඟීම, අතිමාන - අනෙත් අය හා තමන් සසඳා බලා තමා සියල්ලන්ටම වඩා උසස් යැයි ඇති කර ගන්නා හැඟීම, මද - ජාතිය, කුලය, ගෝත්‍රය, ධනය, උගත්කම් ආදිය නිසා ඇති කර ගන්නා මත්වීම, පමාද - සිහි බුද්ධිය නොමැතිකම යනුවෙනි.