Print this Article


 අභියෝග ජයගැනීමට උට්ඨාන වීර්යය

 අභියෝග ජයගැනීමට උට්ඨාන වීර්යය

"යම් කාර්යයක දී එය නිසි වේලාවට නිසි පරිදි ක‍්‍රමානුකූල ව ආරම්භ කළ යුතු ය. එකී ආරම්භ කරන ලද කාර්යය කුමන බාධක අවහිරතා පැමිණියත් ඉදිරියට පවත්වා ගෙන යාමේ හැකියාව තමා සතු විය යුතු ය."

එක් අවස්ථාවක අප තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ කක්කරපත්ත නම් කෝලිය ගමට වැඩිය සේක. එහිදී දිනක් දීඝජාණු නම් කෝලිය පුත‍‍්‍රයා බුදුරජාණන් වහන්සේ වෙත ගොස් නමස්කාර කොට එකත්පස් ව හිඳ මෙසේ පැවසී ය.

”ස්වාමීනි, අප පස්කම් සැප අනුභව කරමින්, දරුවන් නිසා වන කරදර සහිත ව, ගිහි ගෙදර වාසය කරමු. කසී රට සුවඳ විළෙවුන් දරමු. රන් රිදි මසු කහවණු භාවිත කරන්නෙමු. ස්වාමිනි, මෙසේ ජීවත්වන අපට මෙලොව හිත සුව පිණිස, පරලොව හිත සුව පිණිස උපකාර වන ධර්මයක් දේශනා කරන සේක් වා”

එහිදී දීඝජාණු කෝලිය පුත‍‍්‍රයාගේ ඉල්ලීම අනුව බුදුරදුන් මිනිසාගේ මෙලොව හිත සුව පිණිස හේතුවන කරුණු හතරකුත්, පරලොව හිත සුව පිණිස හේතු වන කරුණු හතරකුත් දේශනා කොට වදාළහ.

”ව්‍යග්ඝපජ්ජය, කුල පුත‍‍්‍රයෙකුට ලොව හිත සුව පිණිස පවතින ධර්ම හතරකි. එනම්, උත්සාහ සම්පත්තිය ආරක්ෂා සම්පත්තිය, කලණ මිතුරු සම්පත්තිය, සමසේ දිවි පැවැත්ම නම් වේ.

සර්ව බලධාරී දෙවි කෙනෙකු හෝ වෙනත් බාහිර පුද්ගල වස්තූන්ට නොව තමා පිළිබඳ විශ්වාසයෙන් කටයුතු කළ යුතු බව බුදු දහමෙන් පෙන්වා දී තිබේ. තමාගේ උත්සාහයෙන් වීර්යයෙන් අධිෂ්ඨානයෙන් කටයුතු කරන පුද්ගලයා මෙලොව දියුණුවට පත්වන බව ධර්මයේ සඳහන් වේ.

බුදුන් වහන්සේ විසින් පෙන්වා දුන් මෙලොව දියුණුවට හේතු වන කරුණු හතරෙන් පළමු වැන්න උට්ඨාන සම්පදාවයි. උට්ඨාන සම්පදාව යන්නෙහි වචනාර්ථය වනුයේ උත්සාහ සම්පත්තිය යන්නයි. කුමක් සඳහා අප උත්සාහ සම්පත්තිය ඇති කර ගත යුතු දැයි ව්‍යග්ඝපජ්ජ සුත‍‍්‍රය තුළ සඳහන් ව ඇත්තේ මෙලෙසිනි.

”ව්‍යග්ඝපජ්ජය මෙලොව කුල පුත‍‍්‍රයෙක් කෘෂි කර්මයෙන්, ගව පාලනයෙන්, අවි ශිල්පය හෙවත් ආරක්ෂා සේවයෙන්, රාජ පුරුෂ හෙවත් රාජ්‍ය සේවයෙන් හෝ වෙනත් කිසියම් ශිල්පයකින් දිවි ගෙවයි ද හෙතම ඒ පිළිබඳ අලස නැති එම ජීවිකා වෘත්තිය පිළිබඳ උපාය හා විධික‍්‍රම පිළිබඳ විමසිල්ලෙන් යුතු, එය නිසි ලෙස කිරීමට අවශ්‍ය පරිදි සංවිධානය කිරීමට දක්ෂයෙක් වෙයි නම් මෙය ඔහුගේ උත්සාහ සම්පත්තිය යැයි කියනු ලැබේ.”

තමන් විසින් කරන ලද ඉහත දක්වන ලද කවර ම හෝ රැුකියාවක් මගින් උත්සාහයෙන් (උට්ඨාන විරියාධිගතා) දෑතේ මහන්සියෙන් (බහාබල පරිචිතා) දහදිය මහන්සියෙන් (සෙදාවක්ඛිත්තා) ධාර්මිකව (ධම්මිකා) ධාර්මික ක‍්‍රියා අනුගමනයෙන් (ධම්මලද්ධා) ධන සපයා ගැනීමයි.

යම් කිසි වෘත්තියක නියැළෙන විට එය සිදු කළ යුත්තේ ධාර්මික ව යන්න මින් මනාව අපට පැහැදිලි වේ. අලසව කටයුතු කිරීම පුද්ගලයකුගේ ආර්ථික දියුණුවට සංවර්ධනයට බාධාවකි. එනිසා උත්සාහයෙන් හෙවත් උට්ඨාන වීර්යයෙන් ක‍්‍රියා කළ යුතු ය. උත්සාහය ආර්ථික දියුණුව සමෘද්ධිය පිණිස හේතු වේ. කුසීත අලසව යමෙක් කටයුතු කරන්නේ නම් එම පුද්ගලයාට ඉදිරියට යා නොහැකි ය. කිසිවක් ජයගත නොහැකි ය. අලසකම කුසීතකම දුරලා උත්සාහයෙන් කටයුතු කිරීමෙන් සියලූ‍ අභියෝග ජයගත හැකි ය. බාධක මැඩගෙන සියලූ‍ ජයග‍‍්‍රහණ අත්පත් කර ගත හැකි ය.

දිළිඳු බව දුකක් යැයි බුදු දහමේ දේශිත ය. ඒ නිසා දහදිය මහන්සියෙන් ධාර්මික ව ධනය ඉපයිය යුතු ය.

ධම්මපදයේ අප්පමාද වග්ගයේ සඳහන් පරිදි

”උට්ඨානවතො සතිමතො
සුචිකම්මස්ස නිසම්මකාරිනො
සඤ්ඤතස්ස ච ධම්මජීවිනො
අප්පමත්තස්ස යසො හි වඞ්ඪති.”

නැඟී සිටි වීර්යයෙන්, මනා සිහියෙන් යුක්ත විය යුතු ය. නිදොස් දේ කරන, විමසා බලා කටයුතු කරන, තැන්පත් දැහැමි දිවි පැවතුම් ඇති නො පමා වූ පුද්ගලයාගේ කීර්තිය මනා ව වැඬේ, යනුවෙනි.

උට්ඨාන වීර්යයෙන් කටයුතු කරන පුද්ගලයා තුළ පැවතිය යුතු ලක්ෂණ කීපයක් පෙන්වා දිය හැකි ය. ධනය ඉපයීමේ දී එම කටයුත්තෙහි දක්ෂයෙකු විය යුතු ය. එනම් තම හැකියා වර්ධනය කර ගත යුතු ය. අලස නොවිය යුතු ය. කාර්යශුර බව, සංවිධානයේ දක්ෂ බව, අවංක බව, වෘත්තිය නිපුණත්වය බෙහෙවින් වැදගත් වේ. මෙහි දී පුද්ගලයා තුළ වඩාත් ම පැවතිය යුතු වන්නේ ආත්ම දමනය හා ශික්ෂණයයි. තමාට තමා පාලනය කිරීමේ හැකියාව හා හික්මීම නොමැති නම් එවැනි පුද්ගලයන්ට උට්ඨාන වීර්යයෙන් කටයුතු කළ නොහැකි ය.

”එවං භොගෙ සමාහත්වා අලමත්ථො කුලෙ” සිඟාලෝවාද සුත‍‍්‍ර පාඨයට අනුව ගිහි ගෙදර විසිය හැක්කේ ප‍‍්‍රමාණවත් ධනයක් උපයා ගැනීමෙන් පසුව ය. තමා තෝරාගත් කුමන වෘත්තියක නියැළුණ ද බෞද්ධ සදාචාර ධර්මයන්ට පටහැනි නොවිය යුතු බව නිරන්තරයෙන් සිහි තබා ගත යුතු කරුණකි. ධනය (භෝග) රැස් කළ යුත්තේ ධාර්මික ව හා සීල සම්පන්නව ය. එය මී මැස්සෙකුගේ ඉරියව්වට උපමා කොට තිබේ. මලට ද එහි පැහැයට ද එහි සුවඳට ද හානියක් නො කොට මලේ මෙන්ම ගසේ පැවැත්ම තහවුරු කරමින් මී මැස්සා මල නොතලා රොන් ගනී.

මීමැස්සන් තමාගේ ආහාරය මෙන් ම වටිනා ඖෂධයක් වන මී පැණි ද සමාජයට ලබා දෙමින් ඉමහත් සේවයක් සිදු කරනු ලබති. මෙය උපමාවට ගෙන මිනිසා විසින් ද කටයුතු කළ යුතු ය. එය බුද්ධිමත්ව හා ධාර්මික ව සිදු කළ යුත්තේ කෙසේ ද යන්න මෙම කාරණයෙන් අප සැමට වටහා ගත හැකි ය.

යම් කාර්යයක දී එය නිසි වේලාවට නිසි පරිදි ක‍්‍රමානුකූල ව ආරම්භ කළ යුතු ය. එකී ආරම්භ කරන ලද කාර්යය කුමන බාධක අවහිරතා පැමිණියත් ඉදිරියට පවත්වා ගෙන යාමේ හැකියාව තමා සතු විය යුතු ය.

උත්සාහයෙන් මහන්සියෙන් ධාර්මිකව රැස් කර ගත් ධනය රැක ගැනීමට අප විසින් ම වග බලා ගත යුතු ය. එම ධනය දඩ මුදල් ලෙස රාජ සන්තක විය හැකි ය. සොරුන් අතට පත් විය හැකි ය. ගින්නෙන් දැවි යාමට හෝ ජලයේ ගසා ගෙන යා හැකි ය. තමා ප‍‍්‍රිය නොකරන කිසිවෙකුට අයත් විය හැකි ය. ඒ පමණක් නොව පුද්ගලයාගේ දුර්වලතා නිසා තමාගේ ම ධනය විනාශ වී යා හැකි ය. සුරාව, සුදුව, අනවශ්‍ය ගමන් බිමන් යාම, උත්සව ආදියෙහි ඇලීම, පාපමිත‍‍්‍ර සේවනය, අලස කම, මේ ආදී යම් කරුණක් මගින් ද තමා සතු ධනය විනාශ වී යා හැකි ය. අලසකමෙන් යුතු පුද්ගලයා යම් කාර්යයක් කිරීමට යාමේ දී දැන් ඉතා සීත ය, දැන් ඉතා උණුසුම් ය, දැන් ඉතා සවස් වී යැයි,

දැන් ඉතා උදෑසන වැඩි යැයි, දැන් ඉතා කුසගිනි වැඩි යැයි, දැන් ඉතා වැඩියෙන් ආහාර ගෙන යැයි වශයෙන් කටයුතු කරන්නේ නම් එය තමාගේ විනාශයටම හේතු වන බව තේරුම් ගත යුතු ය.

බුදු දහමේ පෙන්වා දෙන්නේ කරන රැකියා කර්මාන්ත ආදියේ දී උත්සාහය, වීර්යය ඇති, අනලස්ව ප‍‍්‍රමාද නොවී මනා සංවිධානයකින් යුත් පුද්ගලයා අය වැය සමව පවත්වා ගනිමින් ජීවිකාව කරගෙන යනු ලබන බවයි. තමා විසින් රැස් කළ ධනය රැක ගනීම උදෙසා කටයුතු කරන බවයි.

සැදැහැති බෞද්ධයන් ලෙස අප විසින් තේරුම් ගෙන කටයුතු කළ යුත්තේ ද ඒ ලෙසිනි. එය ”දිට්ඨධම්ම හිතාය - දිට්ඨධම්ම සුඛාය” යනු වෙන් බණ පොතේ සඳහන්ව ඇති පරිදි මෙලොව හිත සුව පිණිස හේතු වේ.