දෙවියන්ගෙන්
පිදුම් ලැබීම
බෙලිහුල්ඔය සීලසමාහිත යෝගාශ්‍රමවාසී,
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද,
අභිධර්මය පිළිබඳ කථිකාචාර්ය,
ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,
බලංගොඩ රාධ හිමි
කයින් කළ යුතු වතාවත් සිදු කරමින් නොදැහැමි කායික ක්‍රියාවන්ගෙන් වෙන් වී, වචනයෙන්
සුභාෂිත වදන් පවසමින් , සිත් තලන පෙළන හා මුළාකරන බස් නොකියමින් දිවි ගෙවන්නා
සීලවන්තයෙ කි.
රත්සඳුන් හා තුවරලා ආදිය බොහෝ සුවඳමුත් සිල්වතුන්ගේ සිල් සුවඳ හමුවේ මහමෙර අබිමුව
අබ ඇටයක් සේ එය ඉතා අල්ප ය. මිනිසුන් රක්නා සීලය දෙව් බඹුන් පවා අනුමෝදන් වන
කිසිවකින් නොකිලිටි මහත් සුගන්ධයකි. අප බුදුරදුන් දිවමන් කල තෙවැනි මහා
ශ්‍රාවකයාණන් වූ කාශ්‍යප මහා රහතන් වහන්සේගේ ඒ සිල් ගුණය නිසා දෙවියන්ට බොහෝ
ප්‍රියශීලී විය. එනිසා ම දිනක් අසිරිමත් දානයක් සක්දෙව් රජ පිදුවේ ය.
සත් දිනක් නිරෝධ සමවතින් වැඩ හිඳී කාශ්‍යප මහා රහතන් වහන්සේ ගෙපිළිවෙළින් පිඬු
පිණිස හැසිරුන සේක. තව්තිසා දෙව්ලොව අධිපති සක්දෙව් රජුගේ පන්සියයක් දෙවඟනෝ මහා
කාශ්‍යප තෙරුන්ට දානයක් පිදීමට කල්පනා කළහ. පන්සියයක් පිණ්ඩපාත සකස්කොට මනුලොවට
අවුත් අතර මඟ වීථියේ දී පූජා කරන්නට සැරසුණ ද මහ තෙරණුවෝ එය ප්‍රතික්‍ෂේප කළහ. පැන්
පිරි බඳුන් උතුරා යන සේ පැන් වත් කරන කල, දිය සිඳී බඳුන්, වියළී විනාශව යන නිසා
නුඹලා වැනි දෙවඟනන්ට නොව දුප්පත් අසරණයින්ට සංග්‍රහ කරන්නෙමි’ යි දන් නොපිළිගෙන ම
වැඩියහ. මොවුන්ගෙන් කරුණු අසා දැනගත් සක්දෙවිඳු හට ද මහ තෙරුන්ට දන් පිදීමට සිත්
විය.
ජරා ජීර්ණව මහලුව වැහැරී ගිය අවපැහැ දත් ඇති සුදුමැලි වී සිඳුණු කයක් ඇති දුටු
වනින් මහත් අනුකම්පා උපදවන මහලු වෙසක් මවාගෙන සුජා දෙව් බිසවත් එවැනි ම මහලු සේ
වෙස් ගන්වා මිනිස් ලොව පැමිණියේ ය. රෙදි වියන්නන් වසන එක් වීථියක් මවා තමාත් මහලු
අඹුවත් රෙදි විවීමේ කර්මාන්තයේ යෙදෙන්නන් සේ පෙනී සිටියහ. කසුප් තෙරණුවෝ ඒ වීථිය
දැක මහලු අඹු සැමියන් දෙදෙනා කෙරෙහි කරුණාව උපදවා ඔවුන් කරා වැඩම කළහ. සත් දිනක්
විසූ නිරෝධ සමවතින් නැගී සිටි උතුමාණන්ට පුදනු ලබන බත් පිඬක් නමුත් කල් නොයවා මේ
දිවියේ දී ම මහා සිටු සම්පත් සේනාපති සම්පත් ලබා දීමට සමත් ය. එනිසා ම මොවුන්
දෙදෙනාට වඩා දුගී බවින් පෙළෙන මහල්ලන් මේ නගරයේ ම නැතැයි සිතා ඔවුන්ගේ නිවෙස් දොර
අබියසට ම වැඩම කළහ.
කුමන හෝ උපායකින් තෙරුන්ට දන්හැන්දක්මුත් පිදීම සක් දෙව් රජුගේ එකම අභිලාෂය යි.
එනිසා තෙරුන් එන මඟ දැක නොදුටුවා සේ හිඳීමින් සුජාවට ද එසේ හැසිරීමට පෙරදීම පැවසුයේ
ය. දොරකඩට වැඩම කළ මුත් නොදන්නා සේ මඳක් කල් ගෙවා අනතුරුව දුටු වග හඟවමින් දොර
අබිමුව පිඬු පිණිස ආ තෙරනමක් සිටියිදැයි බැලීමට සුජාවට පැවසී ය. සුජාතොමො නොගොස්
පෙර කතිකා පරිදි තම ගතේ දුබලතා තෙරුන්ට ඇසෙන සේ පවසමින්, “ නුඹම ගොස් බලව” යි
සක්දෙවිඳු හට පැවසුවා ය. පසඟ පිහිටුවා සිරිපා වන්දනා කොට දුබල බව පාමින් දෑත්
දෙදණමත පිහිටුවමින් නැගී සිට කිනම් තෙරුන් වහන්සේ වැඩසිටිත්දැයි මහලු තම දෑසට
නොපෙනේ යැයි හඟවමින් තම නළලෙහි අත්ල තබා ගනිමින් සිරි මුව මඬල නෙත් පුරා සමීපයේ
සිටම ශක්‍ර තෙම බලාගත්තේ ය.
“කලෙකින් වැඩම කළ මහාශ්‍රාවක පුතුන්ට පිදීමට යමක් නිවස තුළ ඇද්දැ” යි සුජාගෙන්
විමසුවේ ය. ඇය ද මඳක් පැකිලෙමින් කල් යවා “ඇතැ” යි පැවසුවා ය. ශක්‍රයා ද “ස්වාමීනි,
ප්‍රණීත වූවා හෝ නොවූවා හෝ අපට අනුග්‍රහ කරන්නැ” යි පවසා
තෙරුන් අතින් පාත්‍රා ධාතුව ගත්තේ ය. “මොවුන් පුදන පළා කොළයක් හෝ කුඩු සහලින් කළ
අහරක් හෝ පිළිගෙන අනුග්‍රහ කෙරෙමි” යි මහරහත් කසුප් තෙරණුවෝ සිතූහ. නිවසට පිවිස
දිව්‍ය භෝජනයෙන් පාත්‍රය පුරවා මහාමේරු පර්වතය ඉදිරියේ ගල් කැබලිත්තක් බඳු සක්
දෙව්සැප නිසා ලත් මහේශාක්‍ය පින සිත් පුරා විඳීමින් තෙරුන්ට පාත්‍රය පිදුවේ ය.
අනේක සූප ව්‍යඤ්ජනයෙන් පිරි සුධා භෝජනයෙන් රජගහනුවරම සුවඳවත් විණ. “මෙතරම් කයෙන්
දුබලව දුගී දුප්පත්ව අල්පේශාක්‍ය වන්නේ නමුත් ඔහු පුදන දානය සක් දෙවිඳුන්ගේ අහරක්
මෙන් මහේශාක්‍ය වන්නේය” යැයි සිතූ තෙරණුවෝ මහලු අඹු සැමියෝ කවරහුදැයි නුවණින්
විමසූහ. අද දින තමන් වහන්සේට දන් පුදා සේනාපති-සිටු සම්පත් ලබන්නට දුගී දුප්පතෙකුට
වූ ලාභයක් සක්දෙව් හා සුජාදෙව් දුව විසින් පැහැරගෙන ඇති වග දැක ඊට කාරණා විමසූහ.
“දෙව්ලොව ශක්‍ර සම්පත් වින්දමුත් තෙමේ ද මහත් දුගියෙකි. බුදුරදුන් ලොව නොවූ කල
මහේශාක්‍ය පිං කොට දෙව්ලොව උපත ලබා සිටින චූලරථ, මහාරථ, අනෙවණ්ණ දිව්‍යපුත්‍රයෝ
මහත් තේජවන්තයෝ ය. එහෙයින් ඔවුන් අබිමුව ලජ්ජාවට පත්ව පලා ගොස් තම වෛජයන්ත
ප්‍රාසාදයේ සැඟවෙමි” යි තම දුප්පත්භාවය සක්දෙව් රජ කියා සිටියේ ය.
එසේ වුව ද මෙතැන් පටන් දුප්පතුන්ගේ දන් වළකා මෙසේ දන් නොදෙන්නැ’ යි තෙරුන් වහන්සේ
පැවසූ සේක. තමන්ගේ මනෝරථය සපුරා ගත් සක්දෙව් රජතුමා කාශ්‍යප තෙරණුවන් පැදකුණු කොට
සුජාවන් සමඟ අහසට පැන නැගී “අහො දානං පරම දානං කස්සපෙ සුප්පතිට්ඨිතං” –
“මහාකාශ්‍යපයන් වහන්සේ කෙරෙහි පිදූ දානය උතුම් දානයකැ” යි ප්‍රීති රාව පැවැත්වූයේ
ය.
සඳුන් තුවරලා ආදියෙන් හමනා සුවඳ බොහෝ දුරක් හමා යාමට නොහැක. නමුත් සිල්වතුන්ගේ
සිත්හි හටගන්නා සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව නම් අකුසලයෙන් වැළකී
කුසලයෙහි පිහිටන චිත්තාංග ශක්තිය නම් යොදුන් ගණනාවක් දුර හමා යයි. මිනිස් ලොවින් සූ
අසූදහසක් යොදුන් ඉහළ වූ තව්තිසාවට පවා ඒ ගුණ සුවඳ විහිදී යයි. තිරිසන් සතුන්ට පුදන
දානය සියක් අනුසස් ද පෘථග්ජන දුසිල්වතාට පුදන දානය දහස් අනුසස් ද පෘථග්ජන සිල්වතාට
පුදන දානය සිය දහස් අනුසස් ද ඇති වග වදාරා ඇත්තේ ද එහෙයිනි.
එනිසා සුසිල්වත්භාවය, සිල් රක්නා තමාට පමණක් නොව ලෝ වැසියන්ටම යහපතක් සැනසිල්ලක්
ගෙන දෙයි. තථාගත සරණ ගිය ශ්‍රාවකයා ජීවිතය දෙවැනි කොට-ශික්‍ෂාව පළමු තැන්හි
පිහිටුවා ආරක්‍ෂා කරන වග භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ඒ අනෙකක් නිසා නොව
කය-වචනයෙහි සංවරභාවය පිණිස සිල් රැකීම අත්‍යවශ්‍ය වන නිසාත් එයින් තොර සිතෙහි
එකඟබවක් කිසිදු උපක්‍රමයකින් ලැබිය නොහැකි නිසාත් ය.
මේ හේතුවෙන් සිල්වතාගේ කල්‍යාණ රාවය සමාජය පුරාම පැතිරී යන්නේ ආයාසයකින් තොරව ය.
එහෙයින් ම සත්පුරුෂයෝ ඔහුගේ ඇසුර ප්‍රිය කරති. තමාගේ චරිත පාරිශුද්ධිය නිසා චෝදනා
ලැබීමේ කිසිදු බියකින් තොරව වියතුන්, ගුණවතුන් කරා එළඹිය හැකි වෙයි. එලෙසම සිතෙහි
ඇති පිරිසිදු බව නිසා ජීවිතයේ අවසන් සුසුම් පොද පවා වා තලයට සැනසිල්ලක් මෙන්ම තමා
හට ද විපිළිසරත්වයක් ඇති නොවීමට හේතුවෙයි. මේ ජීවිතයේ සදහම් අවබෝධ කර ගැනුමට නොහැකි
වුවහොත් කල්‍යාණ සත්පුරුෂයන් මැද මහේශාක්‍ය උපතක් ලැබීමට බුදු සසුනක දී පේ වී රක්නා
සීලය උපකාරී වේ. එනිසා මිනිසුන්ට මෙන්ම දෙවියන්ට ද ප්‍රියයෙකු වී ලොවකට ශාන්තියක්
උදාකිරීමට කැමති නුවණැත්තකු විසින් අත්නොහරිනා වීර්යයෙන් සීලය ආරක්‍ෂා කිරීමට
උත්සාහ කිරීම ඉතා අගනේ ය. |