බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය
ගාල්ලේ විද්‍යාලෝක පිරිවෙන් මහා විහාරාධිපති
රුහුණු විශ්ව විද්‍යාලයේ කුලපති
බස්නාහිර පළාතේ
ප්‍රධාන සංඝනායක
ආචාර්ය
අකුරැටියේ නන්ද හිමි
මහාකාරුණිකෝ නාථෝ
හිතාය සබ්බ පානීනං
පූරෙත්වා පාරමී සබ්බා
පත්තෝ සම්බෝධි මුත්තමං
මේ ගාථාවෙන් අප බුදුපියාණන් වහන්සේගේ මහා කරුණා ගුණය හකුළුවා දක්වා ඇත. අප දීපංකර
බුදු පාමුල දී රහත් බවට පැමිණ නිවන් පසක් කරගැනීමට වාසනාව තිබිය දී ඒ හැර දා සසර
සයුරට එක්ව හුදු ආත්මාර්ථය සඳහා නොව , ලෝ සතුන් සසර කතරෙන් එතෙර කිරීමට සාරාසංඛ්‍ය
කල්ප ලක්ෂයක් පුරා පාරමී සම්පූර්ණ කොට බුදුබවට පත් වී වදාළහ.
අප දන්නා ලෝක ඉතිහාසයේ බුදුරජාණන් වහන්සේ තරම්, මහා කරුණාවෙන් හෙබි, ශාස්තෘවරයෙකු
දක්නට නැත. තම දරුවා වූ රාහුල කුමරාටත් , තමන් වහන්සේ ඝාතනය කිරීමට පැමිණි
දෙව්දත්ටත් උන්වහන්සේ සම මෙතක් පෑවේ උන්වහන්සේ ලොව්තුරා බුදුබවට පත් වූ නිසා ම ය.
බුදුරජාණන් වහන්සේගේ දින චර්යාවේ පළමු අංකය වූයේ මහා කරුණා සමාපත්තියට සමවැද ලෝකය
දෙස බලා අතිශයින් සුදුසු තැනැත්තාට කරුණාවෙන් පිහිට වීමටයි. ඒ වෙනුවෙන් සැතපුම් සිය
ගණනක් පා ගමණින් වැඩම කළා පමණක් නොව , සති, මාස, කිහිපයක් ගත කිරීමට ද පසුබට වූයේ
නැත . උන්වහන්සේගේ සම්බුද්ධත්ව වසර හතළිස් පහ තුළ එබඳු කරුණා සමවතට සම වැදි දින
සංඛ්‍යාව දහසය දහස් හාරසිය විසි පහක් තරම් වේ. අපරිමිත මහා කරුණාවෙන් ලොව බලා වදාරා
අප්‍රමාණ පිරිසකට සෙත සැලසූ බුදුපියාණන් වහන්සේ ගේ සේවාව ලැබූ රජ, සිටු, ගහපති ,
බමුණු ආදී පිරිස් පමණක් නොව, ආලවක වැනි යක්ෂ සේනාපතියන්, පුණ්ණා වැනි දුකට පත්
දාසියන්, සුනීත, සෝපාක වැනි පීඩිත ජනයා ද, අංගුලිමාල වැනි මනුෂ්‍ය ඝාතකයන් ද ,
පටාචාරා වැනි සිහිවිකල් වූ කාන්තාවන් ද, චුල්ලපන්තක සාමණේරයන් වැනි අසරණ වූ
හිමිවරුන් ද, පූතිගත්තිස්ස වැනි රෝගාතුර ව ජරාජීර්ණව වැතිර හුන් භික්ෂූන් වහන්සේ ද,
උපාලි ගහපති වැනි පිරිස් ද, උරුවෙල කාශ්‍යප , නදී කාශ්‍යප , ගයා කාශ්‍යප ආදී ශ්‍රමණ
නායක වරුන් ද, එකසේ අනුග්‍රහ කළහ.
මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් කරන අන්දමට බුදුන්වහන්සේ යමෙකු දත යුතු සියලු
ධර්මයන් උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට දේශනා කොට ඇත. එහෙත් යමෙකුට කිසියම් දෙයක් පිළිබඳ
විචිකිච්ඡාවක් , ගැටලුවක් ඇත්නම්, ඉඳුරාම විමසන ලෙස දැනුම් දීමෙන් අනතුරුව
උන්වහන්සේ පවසා සිටියේ යමෙකු ශාස්තෘන් වහන්සේට දක්වන ගෞරවය නිසා ප්‍රශ්න ඇසීමට
පැකිළෙන්නේ නම්, තම මිතුරෙකු හෝ මගින් එබඳු ගැටලු ඉදිරිපත් කරන ලෙසයි. පිරිනිවන්
මංචකයේ වැඩහුන් බුදුන් වහන්සේ චුන්දහිමියන්ට දේශනා කළේ, ශ්‍රාවකයන්ට ඉතා හිතවත්
ශෘස්තෘවරයෙකු ලෙස සියල්ල දේශනා කර ඇති බවත්, එබැවින්. පස්චාත්තාප නොවී අප්‍රමාදීව
භාවනා කර විමුක්තිය ලබාගන්නා ලෙසය.
යම් කෝ චුන්ද සත්ථාරා
කරණියං සාවකානං
හිතේසිනා අනුකම්පඛෙන
අනුකම්පං උපාදාය
කතං වෝ නං මයා
ඒතානි චුන්ද රුක්ඛමූලානී
ඒතානි චුන්ද සුඤ්ඤාගාරානී. ජායථ
චුන්ද මා පමාදත්ථ.
මා පච්ඡා විප්පතිසාරිනෝ
අහුවත්ථ අයං වෝ අම්හාකං අනුසාසතිතී
බුදුරජාණන් වහන්සේ මහා ශ්‍රාවකයන් අතර සිටි මහා කස්සප, මහා මොග්ගල්ලාන වැනි මහරහතන්
වහන්සේලා අසනීප වූ අවස්ථාවල උන්වහන්සේලාගේ කුටියට වැඩම කොට සප්තබොජ්ඣංග දේශනා කොට
සුවපත් කළේ වැඩිහිටි පියෙකු දරුමුණුබුරන් සනසන්නාක් මෙන් ආදර කරුණාවෙනි. එම බොජ්ඣංග
වඩා උන්වහන්සේලා සුවපත් වූහ. පූතිගත්ත තිස්ස තෙරුන් අසනීපව, ජරාජීර්ණ ව, ඔත්පල ව,
අසරණ ව සිටි අවස්ථාවේ දී දුගඳ හමමින් තිබූ ආවාසයට වැඩමකොට වතුර උණුකරවා සියතින් ම
උණු පැන් ගෙන හොඳීන් නහවා පිරිසිදු කොට අව්වේ තබා වේලා පිරිසිදු සිවුරක් අන්දවා
ගතින් සුවපත් කොට, පසුව දහම් දේශනා කොට රහත්වීමට මග සැලසූහ. අද කොරෝනා වසංගතයට
වෛද්‍ය විශේෂඥයන් නිර්දේශ කළ පිළිවෙත, සියවස් විසි පහකට පෙර බුදුපියාණන් වහන්සේ
අනුදැන වදාළ පිළිවෙතම වෙයි. මෙවැනි දහසකුත් එකක් නිදසුන් පන්සාළිස් බුදුචරිතය
තුළින් අපට සපයා ගත හැකිය.
උන්වහන්සේගේ මහා කාරුණිකත්වය අවවාදය, ආදර්ශය, මෙන්ම ක්‍රියාවෙන් ද , ලොවට පසක් කළ
ශ්‍රේෂ්ඨම ශාස්තෘවරයා ලෙස ලෝකයාගේ ගෞරවයට සදාකල්හිම පාත්‍ර වීම නො අනුමානය.
- හේමමාලා රන්දුනු |