Print this Article


අටලෝ දහම නොපෙනෙන අද ලෝකය

අටලෝ දහම නොපෙනෙන අද ලෝකය

" අලාභය මරණය මෙන් පැමිණෙන මොහොත කිසිවෙකුට කිව නොහැකි ය. එය ද අප තේරුම් ගෙන ලෝක ස්වභාවයට මුහුණදීමේ ශක්තිය ගොඩනඟා ගත යුතු ය. යස අයස දෙකට ද මේ පුහුදුන් ලෝකයේ මිනිසා මුහුණ දිය යුතුව ඇත."

ලාභො අලාභො අයසො යසො ච
නින්‍දා පසංසා ච සුඛං ච දුක්‍ඛං
එතෙ අනිච්චා මනුජෙසු ධම්මා
අසස්සතා විපරිනාම ධම්මා

ලාභය, අලාභය, අයසය, යසය, නින්දා, ප්‍රශංසාය, සැපය, දුක්ය යන අනිත්‍ය වූ ද, සදාකාලික නොවූවා වූ ද මෙම ධර්මයෝ මිනිසුන් කෙරෙහි පෙරළෙන ස්වභාවය ඇතියහ. මිනිසා මේ අටලෝ දහමට සදාතනිකව මුහුණ දෙයි.

අට ලෝ දහම මිනිසා අත් නො හැර සිටියි. මෙලොව කිසිවෙකුට මෙයට මුහුණ නොදී සැඟව සිටිය නොහැකි ය.

එය නිවැරදිව අවබෝධ කර නොගත් තැනැත්තා එයින් පෙළෙයි. අවබෝධ කරගත් තැනැත්තාට එයින් පීඩාවක් නොවෙයි. සාමාන්‍ය මනුෂ්‍යයා හැමදාමත් බලාපොරොත්තු වනුයේ සම්මත වශයෙන් සැප යයි පිළිගත් සැපයෙන් සහ සතුටෙන් හැමදාමත් ජීවත්වීමට ය. ඒ සඳහා ලාභය, යසස, ප්‍රශංසාව සහ සුවය ප්‍රාර්ථනය

කරයි. ලාභය යනු මිල මුදලින් ලැබෙන ලාභය පමණක් නොවේ. කෙනෙකුගේ ජීවිතයේ දූදරුවන් සිටීම ලාභයකි. වැදගත් ඥාති පිරිසක් සිටීම ලාභයකි. වැදගත් හිතමිත්‍ර පිරිසක් සිටීම ලාභයකි. තමන්ගේ වැඩකටයුතුවලට උදව් උපකාර කිරීමට පිරිසක් සිටීම ලාභයකි.

මිල මුදල් ඉඩකඩම් යාන වාහන වඩ වඩාත් ලැබීම ලාභයකි. තමන්ට විවිධ තනතුරු ආදිය ලැබීම ද ලාභයකි. මෙලෙස කෙනෙකුගේ ජීවිතය සුවපහසු කරන විවිධ භෞතික සම්පත් සහ මනසට සැනසිල්ල ගෙන දෙන පරිසරයක් සැකසීම සමගම නිරෝගී බව ලැබීම ලාභයකි. මෙවන් ලාභ ලැබෙන විට බොහෝ අය මාත්සර්‍ය්‍ය තත්වයට පත්වේ.

තමන්ට අයත් ඒ සියලු ලාභයන් වෙන කෙනෙකුට අයිති වීම නොඉවසයි.

තමාට අයත් දෙයකින් වෙන කෙනෙකුට ප්‍රයෝජනයක් වීම නොඉවසයි. තමාගේ සම්පත් හා සමානව සම්පත් තව කෙනෙකුට ලැබීම නොඉවසයි. ධම්මසඩ්ගණියට අනුව මෙම මාත්සර්‍ය්‍ය ආවාස මච්ඡරිය, කුල මච්ඡරිය, ලාභ මච්ඡරිය, වණ්ණ මච්ඡරිය සහ ධම්ම මච්ඡරිය යයි කොටස් පහක් දක්වා ඇත. ලාභයන් ලබන පුද්ගලයා එම ලාභයන්ගෙන් කිසිදු විටෙක සෑහීමකට පත් නොවෙයි. මහමුහුදට කොපමණ ජලය ගලා ආවත් ඒ සියල්ල

භාරගන්නාක් මෙන් පුද්ගලයාට ද කොපමණ ලාභ ගලා ආවත් සෑහීමකට පත් නොවෙයි. ඒවා ලැබෙන්න ලැබෙන්න තව තවත් ලබා ගැනීම සඳහා කවර වුවද වරදක් කිරීමට පසු බට නොවෙති. විළිබිය නොමැතිව නීතියක් ධර්මයක් යුක්තියක් සාධාරණයක් ගණන් නො ගෙන තම තම ලාභාපේක්‍ෂාවම ඉෂ්ට කරගැනිම උදෙසා ක්‍රියා කරන්නෝ කොතෙකුත් මේ සමාජයේ ඇත. අධික ලාභ අපේක්‍ෂාවෙන් වාණිජ ලෝකයේ ක්‍රියා කරන්නෝ ඇතැම් දෙනෙක් මිනිස් ජීවිත සමග සෙල්ලම් කරති. පරිභෝජනයට නුසුදුසු ඇතැම් ආහාර වර්ග වෙළඳ පොළෙහි දක්නට ඇත්තේ එහෙයිනි. භයානකම දෙය නම් කල් ඉකුත් වූ ඖෂධ පවා දින වෙනස් කර නැවත වෙළඳ පොළට නිකුත් කිරීමයි. එලෙස සිදු කළ එක්තරා ව්‍යාපාරිකයෙකුට තමන්ගේම දියණිය රෝගාතුරව පෞද්ගලික රෝහලකට ඇතුළු කළ අවස්ථාවේ තමන්ම දිනය වෙනස් කළ එන්නතක් ලබා දීමෙන් ජීවිතක්‍ෂයට පත් වූ බව කලකට පෙර පුවත් පතක පළ විය. ලාභයේ කෙළවර වේදනාවයි. එබැවින් ලැබෙන ලාභය පිළිබඳ අධිකව උඩඟු නොවිය යුතුය. එය උපේක්‍ෂාවෙන් දැරිය යුතු ය. කෙතරම් ලාභ ලැබුනත් සමාජ යුතුකම් වගකීම් අමතක නොකළ යුතු ය. සැමදා ලාභය එකසේ නොපවතියි. එකතු කර ගත් දෙය විනාශ වීමට ගතවනුයේ නිමේෂයකි. අපට ඒ පිළිබඳ කොතෙකුත් අත්දැකිම් ඇත. ගින්නෙන්, ජල ගැලීම්වලින්, භූ කම්පනයෙන්, සුනාමියෙන්, සොරසතුරන්ගෙන් ආදී වශයෙන් විනාශ විය හැකි ය. අලාභය මරණය මෙන් පැමිණෙන මොහොත කිසිවෙකුට කිව නොහැකි ය. එය ද අප තේරුම් ගෙන ලෝක ස්වභාවයට මුහුණදීමේ ශක්තිය ගොඩනඟා ගත යුතු ය. යස අයස දෙකට ද මේ පුහුදුන් ලෝකයේ මිනිසා මුහුණ දිය යුතුව ඇත. එයින් යස පසු පස පුහුදුන් මිනිසා හඹා යයි. දනක් දුන්නත්, මලක් පහනක් පිදුවත්, වෙහෙරකට විහාරයකට ගියත්, ආධාරයක් කළත් අනුන්ගෙන් ගෞරවයක්, කීර්තියක් බලාපොරොත්තු වෙති. කියවන විට හෝ ලියන විට නමෙහි ඉස් පිල්ලක් පාපිල්ලක් වැරදුනත් ඇනකොටා ගැනීමට සැරසෙති. එතරම්ම කීර්තියට කෑදරය.

ආධාරයක් දෙනු ලබන්නේම බෝ එකක් ගසා ගැනීමට ය. දෙනු ලබන දෙයෙහි ද නම ගසාම දෙති. සමහර අය දෙනු ලබන දෙයෙහි වටිනාකමට වඩා නම ගැසීමට මුදල් වැය කර ඇත- කීර්තියට එපමණටම ගිජුය. කීර්තිය යන්න බලයෙන් උපදවා ගත යුත්තක් නොවේ. ශ්‍රද්ධාවෙන් යුතුව දැමුණු සිතින් තමන්ගේ සහ ලෝකයාගේ සුවය සැනසිල්ල සැපත වෙනුවෙන් අවංකව කරනු ලබන ක්‍රියාවලින් නිරායාසයෙන් උත්පාදනය වන්නා වූ ගුණයකි. එලෙස උපදින ගුණයට අප ගිජු විය යුතු නැත- අපට වැදගත්ම ආදර්ශය නම් බුදුරජාණන් වහන්සේයි. අටලෝ දහමට මුහුණ න්‍දන් උත්තම චරිතයකි. උන් වහන්සේ කිසිදු ලාභාපේක්‍ෂාවක් නොමැතිව ලෝකාර්ථචරියාවේ යෙදෙන විට කීර්තිය තවත් මේ මිනිස් ලොව කිසිවෙකුටවත් ලැබුණා යයි කිව නොහැකි ය. එසේමයි අපකීර්තිය. සුන්දරිකා පරිබ්‍රාජිකාව ඝාතතනය කොට ජේතවන විහාර පරිශ්‍රය තුළ මල් ගොඩක සඟවා තබා නැවත එම මළ සිරුර ගෙන සැවැත් නුවර ප්‍රදර්ශනය කරමින් පරිබ්‍රාජකයන් විසින් ගෙන එන ලද අපකීර්තිය සුළුපටු නොවේ. සවස් යාමයට හිස් ගොඩක් වන ජේතවනාරාමය මිනිස් පළුටක් නැති තත්වයට පත්වූයේ ඒ චෝදනාවයි. බුදුරජාණන් වහන්සේ කීර්තියේ දී උද්දාම නොවූවා සේම මෙවන් අපකීර්තියේ සැලුණේ ද නැත.

“යසෙන උන්නතො ලොකො
අයසෙන ච ඔනතො
යසායසෙන එකට්ඨා
තාදිසා සමණා මම”

යස අයස දෙකම බුදුරජාණන් වහන්සේට එක සමානය.

“ලාභො සිලොකො සක්කාරො
මිච්ඡා ලද්ධො චයො යසො
යො චත්තානං සමුක්කංසෙ පරෙ ච අවජානති”

ලාභයැ ප්‍රශංසායැ සත්කාරයැයි කියන ලද යම් යසසෙක් වේ නම් එ ද, යමෙකුත් තමා හුවා දක්වා නම් මෙරමාත් හෙලා දක්නේ වේ. ලෝකයේ නැමියාව ප්‍රශංසාවේ දී උඩඟුවීම ය. නින්දාවේ දී කලකිරීම ය, උත්සාහය අත්හැරීම ය. නමුත් බුදුරජාණන් වහන්සේ මේ දෙකෙහිදීම මධ්‍යස්ථයහ. උපේක්‍ෂා සහගතයහ. උඩඟුවීම් කලකිරීම් විරහිත ය. නින්දා ප්‍රශංසා එනුයේ කෙනෙකුගේ චර්‍ය්‍යාවන් පාදක කර ගෙන ය. බුදුරජාණන් වහන්සේ ලෝකාර්චර්‍ය්‍යාවේ යෙදෙන විට මිනිසුන් ලබන ලද සැනසුම අපමණ ය. උන් වහන්සේ ලබන ලද ආධ්‍යාත්මික ගුණ සමුදාය මිනිසුනට අනාවරණය විය- “ඉතිපි සො භගවා අරහං - --

ආදී වශයෙන් උන් වහන්සේ ට ප්‍රශංසා ක)කඑතහ- සොණදණ්ඩ සුතුරෙහි

පුබ්බභාසී (පළමුව කථා කරණ), අබ්භාකුටිකො (ඇහිබැම

නොහකුළුවන), සඛිලො (විචිත්‍ර මධුර වචන ඇති), සම්මෝදකෝ

(පිළිසඳරෙහි දක්‍ෂ), ඒහි ස්වාගතවාදී (ආදරයෙන් පිළිගන්න), කල්‍යාණ වාචො (හොඳ දේවල් කථා කරණ) කල්‍යාණ ව්‍යාකරණතො ( හොඳ දේවල් ප්‍රකාශ කරන) කෙනෙකු ප්‍රශංසාවට ලක් කළහ.

මාගන්ධි බැමිණිය චිංචාමානවිකාව වැනි අය කරණ ලද අපහාස වලදී හෝ උන් වහන්සේ අකම්පිත වූහ.