Print this Article


මේ වසංගතය දිට්ඨධම්මවේදනීය කර්ම විපාකයක් ද?

මේ වසංගතය දිට්ඨධම්මවේදනීය කර්ම විපාකයක් ද?

" වර්‍තමානය වන විට ලබන නොයෙක් විදියේ ව්‍යසන හා බැඳුණු අත්දැකිම් හා දුක්වේදනා ආදිය ද මුල්කරගෙන මිනිසාගේ ප්‍රඥා ප්‍රබෝධය වැඩි දියුණු වී තිබේ. ඒ අනුව බැසගතහැකි නිගමනය වන්නේ මිනිසා යනු මේ සමස්ත ලෝකයේ අයිතිකරුවා නොවන බව ය."

2564 වැනි වෙසක් මංගල්‍යය වෙනුවෙන් ප්‍රඥා ප්‍රබෝධයට හේතු පාදක වන කාරණයක් පිළිබඳ බුදුසරණ පාඨක හැමගේ අවධානය යොමු කරවීම මේ ලිපියේ අරමුණයි.

ඒ සුවිශේෂී කාරණය නම් “කොරෝනා ආසාදනය වැනි ලෝක වසංගත ව්‍යසනයන් යනු මිනිස් වර්‍ගයා වෙත පැමිණෙන දිට්ඨධම්මවේදනීය කර්‍ම විපාකයක් ද?” යන්නයි.

මේ ප්‍රශ්නයට විසඳුමක් සඳහා එළියක් ලබා ගත හැකි දේශනාවක් සුත්තනිපාත ග්‍රන්ථයේ එයි. එනම් එහි එන බ්‍රාහ්මණ ධම්මික සූත්‍රය යි. එහි මෙසේ සඳහන් වෙයි. පුද්ගලයාට මව ද පියා ද සහෝදර සහෝදරියෝ ද අනිකුත් නෑදෑයෝ ද හිතපක්‍ෂපාති වන්නාහු ද, ඒ අය වගේ ම ගවයෝ පරම මිත්‍රයෝ වන්නාහ. කුමක් හෙයින් ද යත්, ගවයෝ ආහාර සම්පාදනයට උදව් වෙති. කිරි ආහාර ද දෙති. ශරීර ශක්තිය හෙවත් නිරෝගීකම දෙති. මේ කාරණා ගැන අවබෝධයෙන් යුතුව මිනිස්සු ගවයාට ගෞරව කළහ. ඔවුනට අහිතක් නොකළ හ. එසේම ඉඩකඩම්, රන් රිදී මුතු මැණික් ආදී දේ මෙන් ම ගවයා ද මහාර්‍ඝ වස්තුවක් සේ සලකා ආරක්‍ෂා කළෝ ය. ගවයෝ ද මිනිසාට අනතුරක් නොකළ හ. මිත්‍රශීලී ව විසූහ.

එහෙත් එක්තරා දිනයක සාහසික වූ මිනිස්සු ආයුධ වලින් පහර දී ගවයා මරන්නට පටන් ගත්හ. මේ අවස්ථාවේ සිදු වූ දේ සූත්‍රයේ මෙසේ වාර්තා වෙයි. එකල්හි දෙවියෝ ද, බ්‍රහ්මයෝ ද, ඉන්ද්‍රයා ද, අසුර රාක්‍ෂසයෝ ද “යම් හෙයකින් ගවයා කෙරේ සැත් හෙලා මැරී ද එහෙයින් අධර්‍මය උපනැ” යි හැඬූ හ.

මෙයින් තේරුම් යන්නේ ගව ඝාතනය නමැති කෲරතර හා පාපතර ක්‍රියාව සමග සොබා දහම ඉමහත් සේ කම්පනයට පත් වූ බවයි. මෙහි දෙවියන් ආදී වශයෙන් දක්වා තිබෙන්නේ සොබා දහමයි. එසේ කම්පනයට පත්වූ සොබා දහම විසින් ප්‍රතික්‍රියා දක්වනු ලැබූ ආකාරය ද එම සූත්‍ර දේශනාවේ සඳහන් ය.

තයෝ රෝගා පුරේ ආසුං
ඉච්ඡා අනසනං ජරා
පසූනංච සමාරම්භා
අට්ඨා නවුති මා ගමුං

පූර්වයෙහි මිනිසා පීඩනයට පත්කරන ප්‍රධාන රෝග තුනකට පමණ සිමාවිය. එනම්, ආශාවය, කුසගින්න ය, වයස්ගතවීම ය යන රෝග තුනයි.

නමුත් දැන් ගව ඝාතනය නිසා ම අනූ අටක් පමණ රෝග පීඩා මිනිස් සමාජයේ පහළ වන්නට පටන් ගත්තේ ය. මිනිසාට අතිමහත් වූ සේවයක් සලසන්නා වූ ද, අහිංසකවූ ද නිදොස් වූ ද, ගවයා මරා මස්කෑම ආරම්භ වූ දා සිට මිනිස් සමාජයටම දඬුවම් දීම සොබා දහම විසින් ආරම්භ කරන්නට යෙදුනා ඇත.

“ඒසෝ අධම්මෝ දණ්ඩානං ඔක්කන්තෝ පුරාණෝ අහූ” යනුවෙන් එම දේශනාව අවසන් කර ඇත්තේ මිනිස් ශිෂ්ටාචාරයේ අතිශයින් ම වැදගත්වූත්, ඓතිහාසික වූත් ඛේදවාචකයක් පිළිබඳ බුද්ධිමත් ජනතාව දැනුවත් කරමිනි.

මේ සූත්‍රාගත සංසිද්ධියේ ප්‍රකට වන්නේ එක සතෙකුට සිදු වූ අසාධාරණයක් ගැනයි. වර්‍තමානය වන විට එදාට වඩා දස දහස් ගුණයක් ඒ අසාධාරණය වර්ධනය වී ඇත. සතුන් යනු තමාගේ ගොදුරු යැයි සිතා කටයුතු කරන මිනිසා අද වන විට ගමන් කරන්නේ කිසිදු සීමා නිර්ණයක් හෝ පාලනයක් නැති ආකාරයකිනි.

වත්මන් මිනිසාගේ ගොදුරට සෑම සතෙක්ම භාජන වෙයි. එය කෙතරම් භයානක ද, ජුගුප්සා ජනක ද කිවොත් සර්‍පයින්, වවුලන්, පණුවන්, ගොලුබෙල්ලන් ආදී සෑම වර්ගයක ම සත්වයෙකු ම අහරට ගනු ලබයි. එය එසේ නම් සොබා දහම කොයිතරම් කම්පනයකට පත්ව ඇද්දැයි සිතාගත හැකි ය. එදා එක සතෙකු වෙනුවෙන් දඬුවම් පැනවූ සොබා දහම් අධිකාරිය අද පවත්නා තත්වය යටතේ කොතරම් වියරු වැටී ඇද් ද? ඒ අනුව එවන් වියරු ස්වරූපයේ දඬුවම් කෙතරම් ගණනක් මිනිසා වෙත පමුණුවා ඇද්ද?

මේ නයින් සලකන විට වත්මන් කොරෝනා හෙවත් කොවිඩ් 19 නමැති ව්‍යසනය ද ස්වභාව ධර්‍මාධිකාරයේ වියරු දඬුවමක් වන්නට නොහැකි ද? යන්න සිතා බැලීමට ඉහත කී සූත්‍ර දේශනාව බලකර සිටියි.

දිට්ඨධම්මවේදනීය යනු කර්මය පිළිබඳ දැක්වෙන බෞද්ධ විග්‍රහයේ කාලය හා බැඳුණු අවස්ථාවකි. අප විසින් කරනු ලබන සෑම කර්‍මයක්ම එක් කොටසක් වර්‍තමානයේ දී ම හෙවත් ජීවතුන් අතර සිටින කාලයේ දී ම විපාක දෙනවා යන අදහස එමගින් උගන්වා තිබේ. සත්‍ය වශයෙන් ම මෙකරුණ අප විසින් නිතරම අත්දකිනු ලබන සත්තාවකි.

විමසා බැලිය යුතු කරුණ වන්නේ පුද්ගලගතව පමණක් නොව පොදු සමාජගතව ද මේ කර්‍මවිපාක ක්‍රියාත්මක ද යන්නයි. ඉහත සූත්‍ර දේශනාවෙන් නම් ප්‍රකට වන්නේ ඒ ඒ අයගේ අයහපත් ක්‍රියාවන්ට සාමූහික වශයෙන්මත්, සමස්ත සමාජය ම මුහුණදිය යුතු බවයි.

මේ සඳහා අධ්‍යයනය කළ යුතු හා අවබෝධ කරගත යුතු තවත් වැදගත් පාඩමක් සමුද්ද වාණිජ ජාතකයේ සඳහන් ය. එයින් කියැවෙන්නේ සුනාමි තත්වයේ ව්‍යසනයකට අතීත මිනිස් සමාජයක් මුහුණ දුන් ආකාරය යි.

කුණාටුවක් හේතුවෙන් විනාශ මුඛයට පත් නෞකා කිපයක සිටි වෙළඳ කණ්ඩායම් එක්තරා දූපතකට ගොඩ බසිති. එය අතිශයින් ම පිරිසිදු හා සුන්දර වූ බිම් කඩකි. එහි පදිංචිකරුවන් ආගන්තුකයන්ට කියන්නේ ඒ දූපත අපවිත්‍ර නොකර ජීවත්වන ලෙසයි. දූපත වටා පිහිටි අලංකාර වෙරළේ මළපහ නොකරන ලෙස ද එහි ස්වභාවික සම්පත්වලට හානි නොකරන ලෙස ද අවවාද කරති. එහෙත් අලුත් පරිසරයේ සම්පත් ගැන තෘෂ්ණාධික ව උමතු අයුරින් ක්‍රියා කළ ඇතැම් දෙනා එවන් අවවාද කිසිවක් ගණනකට නොගෙන ආත්මාර්ථකාමී ව ක්‍රියා කරති.

මේ නොහොබිනා ක්‍රියා පිළිවෙත පිළිබඳ ඒ සුන්දර දූපතට අරක්ගත් දෙවි දේවතාවෝ උරණ වෙති. එසේ අප්‍රසාදයට පත් දෙවිවරු එක්තරා දිනක සුනාමියක් වැනි මහා ව්‍යසනයක් ඇතිකර සියලු අධාර්මිකයන්ට දඬුවම් කළ බව සමුද්ද වාණිජ ජාතක කථාවෙන් කියැවෙයි.

එම ජාතක කථාව මගින් වාර්‍තා වන්නේ ද කල්ප කාලාන්තරයක් අතරතුර මිනිස් සමාජය මුහුණදුන් තවත් ඛේදජනක සිදුවිමක් හෙවත් අත්දැකීමක් පිළිබඳව ය. මෙවන් ධර්‍මානුගත ඉගැන්වීම් මගින් අප උගතයුතු පාඩම් වන්නේ මේ ලෝකය පාලනය කරන මහා බලවේගයක් පවත්නා බව ය. එනම් ධර්‍මය යි. ස්වභාව ධර්‍මය යි. ප්‍රාථමික මිනිසා මේ තත්ත්වය පුද්ගලත්වාරෝපණය කර සර්‍වබලධාරී බ්‍රහ්මයෙකු හෝ දෙවියන් වහන්සේ කෙනෙකු ලෙස වැඳුම් පිදුම් කරන්නටත් යාඥා කරන්නටත් පෙළඹුණහ.

නමුත් වර්‍තමානය වන විට ලබන නොයෙක් විදියේ ව්‍යසන හා බැඳුණු අත්දැකිම් හා දුක්වේදනා ආදිය ද මුල්කරගෙන මිනිසාගේ ප්‍රඥා ප්‍රබෝධය වැඩි දියුණු වී තිබේ.

ඒ අනුව බැසගතහැකි නිගමනය වන්නේ මිනිසා යනු මේ සමස්ත ලෝකයේ අයිතිකරුවා නොවන බව ය. මිනිසා සඳහා ලෝකය මවන ලද්දක් නොවන බව ය. අප කරන සෑම හොඳ නරක ක්‍රියාවකටම ප්‍රතිඵල මේ ජීවිත කාලය තුළදිමත් ලැබෙන බව ය. ඒ ඒ ප්‍රතිඵල සමස්ත මිනිස් සමාජයටම පොදු වන්නක් බව ය.

“අප්පමාදේන සම්පාදේථ” යනුවෙන් නියම කළ අයුරින් මේ ධර්මසත්තාව තේරුම් ගෙන සොබා දහමත් සමග මිත්‍රශීලී ව හා සහගාමී ව ජීවිතය ගත කළ යුතුය යන අධිෂ්ඨානය මේ උතුම් තෙමඟුල වෙනුවෙන් සිත්හි ධාරණය කර ගනිමු.