Print this Article


මානුෂීය බුදුහාමුදුරුවෝ

මානුෂීය බුදුහාමුදුරුවෝ

" පුද්ගල හැකියාවට මිස ශාස්තෘ භක්තියට බුදුසමයේ ඉඩක් නැත. බුදු දහම නුවණැත්තන් තම තමන් විසින් සිය නුවණින් දතයුතු දහමකි. (පච්චත්තං වෙදිතබ්බො විඥ්ඥූහි) එය ප්‍රාර්ථනා කිරීමෙන් හෝ ශාස්තෘ භක්තිය නිසා හිමිවන අධිගමයන් පිළිබඳව විශ්වාස නොකරයි. ධර්මය පවා පහුරක් මෙන් එතෙරවීමට මිස ග්‍රහණය කොට ගැනීමට නොවේ."


මානව සමාජය නිරන්තරයෙන් සොයා යනුයේ සිය අත්දැකීම් හා හැකියා ක්‍ෂේත්‍රය ඉක්මවා තමන්ට මග පෙන්විය හැකි හා පිහිට විය හැකි බලවේගයන් ය. මිනිස් සන්තානයේ මෙම ප්‍රවණතාව ආදිම යුගයේ සිට පැවත එන මානවායත්ත ධර්මතාවකි.

ඒ අනුව විවිධ ශිෂ්ටාචාරයන් ස්වකීය ජීවනෝපාය, පාරිසරික සාධක, සිය වර්ගයා මුහුණදෙන අර්බුද, ඇදහිය නොහැකි හදිසි හා අදිසි සිදුවීම් ඔස්සේ විශ්වාසයට හා පිහිටට යොදාගත් බලවේගයන් කල් යත්ම ආගම් බවට හෝ දේව විශ්වාසයන් බවට පත්විය. ලොව පවතින සකලවිධ දේවවාදී ආගමික ඉගැන්වීම්වල මූලික යථාර්ථය එයයි. ආගම් විසින් සිය අණසකට සමාජය නතුකර ගැනීම හරහා ආරම්භයේ දී මිනිසාට පිහිට වූ ආගම මිනිසාගේ ම සිපිරිගෙය බවට පත්වූ අතර, ආගම මගින් ජීවනෝපාය සපයාගන්නා අතළොස්සකගේ අවශ්‍යතාවන් සපුරාලීම විෂයයෙහි ආගම අර්ථකථනය වීම හේතුවෙන් ආගමික මූලයන් පදනම් කොටගත් විවිධ සම්ප්‍රදායයන් බිහිවීම හා ආගමික යුද්ධ පවා මෙම පදනම මත ඇතිවීමට අවකාශ විවර විය. මෙම සන්දර්භය තුළ බුදු දහම කිනම් ආස්තානයක් දරන්නේ ද යන්න හා බුදුරජාණන් වහන්සේ සෙසු ආගමික ශාස්තෘන් අතර කෙබඳු ස්වරූපයක නියෝජනයක් කරන්නේ ද යන්න සොයා යාම ඉතා වැදගත් ය.

බුදුරජාණන් වහන්සේ දෙවියෙකු හෝ දෙවියන්ගේ නියෝජිතයෙකු නොව සැබෑ මිනිසෙකි

දේවවාදී ආගම් සියල්ලක ම පාහේ සිය ආගමික කර්තෘවරයා දේවදූතයෙකු ලෙසින් හැඳීන්වීමටත් ඔහුගේ සමස්ත ක්‍රියාවලිය යථෝක්ත සර්වබලධාරී බලවේගයේ මෙහෙයවීම මත සිදුවන්නක් ලෙසටත් අර්ථ කථනය කෙරේ. අප බුදුන් වහන්සේ කිසිදු දෙවියෙකුගේ නියෝජිතයෙක් හෝ වක්තෘවරයෙන් නොවේ.

සසර සැරිසරන තමන් ඇතුළු සත්වයා දැක තමනුත් සසරින් එතෙරව අනුනුත් සසරින් එතෙර කරවීම උන්වහන්සේගේ බෝධිසත්ත්ව අපේක්‍ෂාව විය. (තිණ්ණෝහං තාරයිස්සාමි, මුත්තෝහං මෝචයේ පරේ) සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි අනේකවිධ දුක් ගැහැට විඳ පාරමී දම් පුරා බුදුවන ආත්මභාවයේ ද සුදොවුන් රජුන් නිසා මහාමායා දේවීන් කුස ඉපදි මිනිස් දරුවෙක් ලෙස මෙලොව එළිය දැක, ළමාකාලයක්, තරුණ කාලයක් ගෙවා, විවාහ වී දරුවෙක් ද ලැබ සකලවිධ සත්ත්වයන්ට උරුම ජාති ජරා ව්‍යාධි මරණ දැක ගිහිගේ හැර සසර දුක් නිවීම සඳහා ගිය මානව ඉතිහාසයේ ජීවමාන පුරුෂයෙකි බුදුන්වහන්සේ. පාරමී බලයත් ස්වෝත්සාහයත් පදනම් කොටගෙන ලබාගත් උසස් ප්‍රඥාවත් එම ප්‍රඥාවෙන් සකලක්ලේෂයන් ප්‍රහීණ කිරීමෙන් ලද විමුක්තියත් මිස සියලුම මිනිසුන්ට හිමි ජාති ජරා මරණත් අටලෝ දහමටත් උන්වහන්සේට ද ස්වභාවිකව ම මුහුණ දීමට සිදුවිය.

බුදුරදුන් දෙසූ දහම කිසියම් බලවේගයක් විසින් ප්‍රකාශිත ඍෂි භාෂිතයක් හෝ දේව භාෂිතයක් නොව ලෝක යතාර්ථයයි

සෑම දේවවාදී ආගමික ශාස්තෘවරයෙක් ම දෙවියන්ගේ නියෝජිතයෙක් වනවා පමණක් නොව දෙවියන් විසින් දෙන ලද පණිවිඩයක් මෙලොවට ප්‍රකාශ කිරීමට පැමිණෙන්නෙකු ලෙසින් දැක්වීම පොදුවේ දක්නට ලැබෙයි. එහෙත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනුයේ තථාගතයන් වහන්සේ ඉපිදි සිටියත්, නීපදී සිටියත් ලොව පවතින යථාර්ථ ධර්මතාවයි. (උප්පාදා වා තථාගතානං අනුප්පාදාවා තථාගතානං ථිතාව සා ධාතු ධම්මට්ඨිතිතා ධම්මනියාමතා ඉදප්පච්චයතා) එය බුදුරජාණන් වහන්සේගේ අවබෝධයක් මිස නිර්මාණයක් නොවේ. අතීත බුදුවරයෙක් හෝ අනාගත බුදුවරයෙක් දේශනා කරනු ලබන්නේ ද මෙම යථාර්ථය ම ය. මුළුමහත් විශ්වයටම සිය අණසක පැවැත්වීමට මිනිසා පොළඹවන මානවයා දෙවියන්ගේ ස්වරූපයෙන් මෙලොව මැවූ බව පවසන මිථ්‍යාව වෙනුවට ස්වභාවික පරිසරයේ ම ඉපිද ස්වභාවික පරිසරයට ගරුකොට එය නොනසා එයින් නික්ම යා යුතු සංසාරගත සත්ත්වයෙකු ලෙස බුදුසමය විසින් මිනිසා අරුත්ගන්වා ඇත. එමගින් අධි පරිභෝජනවාදීත්වය හා මානව මූලිකවාදීත්වය නිසා නූතනයේ ලොව මුහුණ දෙන සමස්ත අර්බුදයන්ට ම විසඳුම සැපයෙයි.

ඕනෑම අයෙකුට ඇවැසි ගුණදම් පිරීමෙන් බුද්ධත්වයට පත්විය හැකිය

බ්‍රහ්මත්වය හෝ සර්වබලධාරී දේවත්වය ඒකාධිකාරයකි. එය කිසිවෙකු විසිනුදු අත්පත් කොටගත නොහෙන්නකි. යමෙකුට ඇවැසිනම් කළ හැක්කේ එම බලවේගය සරණ යාමෙන් හා බලවේගයට යටහත්ව පැවතීමෙන් ඔහුගෙන් ලැබෙන යමක් හිමිකර ගැනීම පමණි. එහෙත් බුදු දහමට අනුව ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව පාරමී පුරා බුදුවිය හැකි ය. බුදු වන්නේ ස්ත්‍රියක හෝ පුරුෂයෙකු නොව බෝධිසත්ත්වයෙකි. බෝධිසත්ත්වවරයෙක් වීමට ඕනෑම අයෙකුට ආරම්භ කළ හැකි ය. ඇත්තේ පාරමී ගුණධර්ම සම්පූර්ණ කරගැනීමෙන් ලබන ආධ්‍යාත්මික දියුණුවකින් උරුම කරගන්නා විමුක්තියක් මිස උරුමයක් ලෙසින් දිව්‍යමය බලවේගයකින් ලබාගන්නා ආශ්චර්යමත් ප්‍රාදුර්භාවයක් නොවේ.

පුද්ගල හැකියාවට මිස ශාස්තෘ භක්තියට බුදුසමයේ ඉඩක් නැත බුදු දහම නුවණැත්තන් තමතමා විසින් සිය නුවණින් දතයුතු දහමකි. (පච්චත්තං වෙදිතබ්බො විඥ්ඥූහි) එය ප්‍රාර්ථනා කිරීමෙන් හෝ ශාස්තෘ භක්තිය නිසා හිමිවන අධිගමයන් පිළිබඳව විශ්වාස නොකරයි. ධර්මය පවා පහුරක් මෙන් එතෙරවීමට මිස ග්‍රහණය කොට ගැනීමට නොවේ.

(නිත්ථරනත්ථාය නො ගහණත්ථාය) ලොව ආගම් නිසා ඇතිවන සියලු කල්ලිවාදී ව්‍යසනයන්ට මෙය හොඳම පිළිතුරකි. එය ඔවුනොවුන් වෙත පොලු අමෝරාගෙන ආරක්‍ෂා කළයුත්තක් නොව සිය ආධ්‍යාත්මයට නැඹුරුව ජීවිතාදර්ශයෙන් ආරක්‍ෂා කළයුත්තක් ලෙස මෙහි පැහැදිලිවම පෙන්වා දී ඇත. තථාගතයන් වහන්සේ යනු ශාන්ති නායකයෙක් මිස ශාන්ති දායකයෙක් නොවේ. (අක්කාතාරො තථාගතා) නො එසේ නම් බුදුන් වහන්සේටවත් කිසිවෙකුට නිවන ප්‍රදානය කළ නො හැකි ය. එමග ගමන්කොට අප විසින් ම අපෙගේ විමුක්තිය සලසා ගත යුතු ය. (තුම්හෙහි කිච්චං ආතප්පං) උන්වහන්සේ සිදුකරනුයේ ශාන්තියට මගපෙන්වීම මිස ශාන්තිය ප්‍රදානය කිරීම නොවේ. බුදුන් දෙසූ ශාන්තියේ මග ගමන්කොට ලෞකික ලෝකෝත්තර ශාන්තිය උදාකර ගැනීම අපගේ වගකීමයි.