Print this Article


විහාරස්ථාන රැක ගැනීමට පොදු ක්‍රමවේදයක් ඕනෑ

විහාරස්ථාන රැක ගැනීමට පොදු ක්‍රමවේදයක් ඕනෑ


වසර දෙදහස් පන්සීයක බෞද්ධ ඉතිහාසයක් හිමි බෞද්ධ රටක් ලෙස ලොව ප්‍රචලිත ශ්‍රී ලංකාද්වීපයට හදිසි අවස්ථාවක විහාරස්ථානයන්ට ප්‍රත්‍ය පහසුකම් සකසා ගන්නට ක්‍රමවේදයක් සකස් කර නොතිබීම ඇත්තෙන්ම කනගාටුවට කරුණකි.

නියඟයක් පැමිණි අවස්ථාවක, ජනතාවට විහාරස්ථානයට පැමිණීමට නොහැකි වූ ඇඳීරි නීති පැනවූ අවස්ථාවක   පන්සලට දානය සකස් කර ගත හැකික්‍රමවේදයක්   නොමැත. එය අවාසනාවන්ත තත්ත්වයකි.

බෞද්ධ පන්සල් වලට වෙනත් ආගමික ස්ථානවලින් දානය ගෙනවිත් දුන් අවස්ථා කිහිපයක් අපි දුටුවෙමු. බැලූ බැල්මට  කෙනෙකුට ජාතික සමඟිය යනුවෙන් අර්ථකථනය කළ හැකි ය. මොන  යම් හෝ ආපදා තත්ත්වයක් පැමිණිය ද එයට මුහුණ දීම සඳහා අන්‍ය ආගමික ස්ථානවල යම්කිසි ක්‍රමවේද සකස් වී ඇත.  උදාහරණයක් ලෙස ඇඳීරි නීතිය හෝ වෙනත් ව්‍යසනයක් හෝ පැමිණියත්, ජනතාව නොපැමිණියත් අනෙක් ආගමික ස්ථාන පවත්වාගෙන  යාහැකි ක්‍රමයක් සකස් කර ඇත. ඒ සඳහා මුළු ලෝකයම එකතු කරගත් ජාලයක් හරහා එක තැනකට මුදල් ලබාගෙන ගම් මට්ටමේ ඒ සෑම ආගමික ස්ථානයක් ම නඩත්තු කළ හැකි අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙමින් පවතී .

නමුත් අපේ  ඇතැම් පන්සලේ විහාරාධිපතිහිමිවරුන්ට විධිමත් ක්‍රමවේදයක් සකසා ගන්නට හැකිව නැත.

ඉතිහාසයේ රජවරුන් විසින් විහාරස්ථානයන් උදෙසා ඉඩම් වෙන්කර තිබුණි. අද ගම් මට්ටමින් විහාරස්ථානවලට ස්ථිර මාසික ආදායම් ක්‍රමයක් නොමැතිවීම හේතුවෙන් හදිසි අවස්ථාවකදී ප්‍රත්‍ය පහසුකම් සකසා ගන්නට හැකියාවක් නැත.

විදුලි බිල්පත්, ජල බිල්පත් වැනි අවශ්‍යතා පවා සපුරා ගන්නට නොහැකි බෞද්ධ විහාරස්ථානද ඇත. දියුණු රටවල බෞද්ධයන් ශ්‍රී ලංකාවේ  බුදු දහම පෝෂණය වෙනුවෙන් විශාල ලෙස මුදල් ලබාදෙන බව අපි දනිමු. එහෙත් එම මුදල් සීමිත  විහාරස්ථාන හැර ගම් මට්ටමේ විහාරස්ථාන වලට නොයෑම කනගාටුදායක ය.

ඇතැම් ප්‍රදේශවල ගමේ පන්සලේ හාමුදුරුවන්ට ජ්‍යෙතිෂ්‍ය කටයුතු වැනි කාර්යයන්හි නියැළෙන්නට සිදුව තිබෙන්නේ මේ නිසා විය හැකිය. එම නිසා අද කොයි කවුරුත් දන්නා ලෙසින් එම භික්ෂූන් වහන්සේට ලැබෙන අට පිරිකර අලෙවි කිරීම ද සිදු කෙරේ.

භික්ෂුව එය කරන්නේ හොඳ චේතනාවෙනි. එනම් පන්සල රැකගැනීමේ සත්පුරුෂ භාවයෙනි. මෙවැනි ප්‍රායෝගික ගැටුම් අත් හැර මෙම සියලු දේ සිදු කරමින් පන්සල රකින භික්ෂුව විනය විරෝධී කටයුතු කරනවා යනුවෙන් ඇතැම්හු දෝෂාරෝපණ කරති. මේ නිසා මානසික ආතතියෙන් පෙළෙන භික්ෂූන් වෙසෙන පන්සල් ද ඇතැම් තැනෙක තිබේ. බංගලාදේශය , මියන්මාරය, තායිලන්තය වැනි ථෙරවාදී පන්සල්වල දියුණුව බොහෝ විට එක සමාන ය. ඒ රටවල් වල දායකයින් පන්සල්වලට පූජා කරන්නේ අටපිරිකර ඇතුළු පිරිකරම පමණක් නොවේ. සෑම පුද්ගලයෙක් ම මුදලින් පූජාවක් ද සිදු කෙරේ.

සිංහල බෞද්ධයාගේ උරුමය රැක ගනීමට බෞද්ධයන් වෙනුවෙන් ලෝකෙන්ම ලැබෙන ආධාර එක තැනකට අරගෙන ගම් මට්ටමින්  හැම මසකටම විහාර නඩත්තුවට ක්‍රමවේදයක් සැකසෙන්නේ නම් එය මහත්ම වූ ජාතික සේවාවක් වනු ඇත.

සිංහල බෞද්ධ ජනතාව, භික්ෂූන් වහන්සේලා එකට එකතු වී  මේ ක්‍රමවේදය සකස් කර දෙන්නේ නම් වසර දෙදහස් පන්සීයක ඉතිහාසයක් තිබෙන මෙරට බුදු දහම තවත් කාලයක් ස්ථාපිත කෙරෙනු ඇත.

එසේ කළහොත් මොනයම් හෝ ව්‍යසනයක දී විහාරස්ථානයට ප්‍රත්‍ය පහසුකම් සකස් කර ගැනීම අපහසු නොවනු ඇත. පසුගිය දිනවල මාධ්‍ය ආයතන ඇතුළු විවිධ කණ්ඩායම් මඟින් විහාරස්ථානවල භික්ෂූන් වහන්සේට ආධාර උපකාර කරනු අපි දුටුවෙමු. බෞද්ධ රටක එසේ විහාරස්ථානවලට ප්‍රත්‍ය පහසුකම් අඩු වන්නේ නම් කොතැනක හෝ දෝෂයක් තිබෙන බව අපට අමුතුවෙන් පෙන්වා දිය යුතු නැත. එම නිසා කල් නොයවාම මේ ගැටලුවට විසඳුම සොයා ගත යුතු ය.