Print this Article


තමන් සුරැකීම අනුන් සුරැකීමයි

තමන් සුරැකීම අනුන් සුරැකීමයි

" රට ජාතිය නිරෝගිමත් වන්නේ නම් එම රට ජාතිය සෞඛ්‍ය සේවාවට බරක් වන්නේ නැත. ජාතික ධනයට හානියක් නැත. සැබැවින් ම “මම වෙම්වා” යන පැතුම තුළ කෙතරම් පරාර්ථයක් නිදන්ගත වී ඇත්දැයි කා හට වුව ද පැහැදලි වේ."

විද්‍යාවත්, මිථ්‍යාවත් එකිනෙකට වෙන්කොට ගතහැකි සාධනීය මෙන්ම ප්‍රාමාණික විද්‍යාවක් ලෙස ලොව දසතින් අයෝමය බලයක් ගෙන ගොඩනැගෙන කල මිථ්‍යාව යටපත් වෙමින් විද්‍යාව ස්ථාපිත වී ඇත.

විද්‍යාවටත් ඉහළ බෞද්ධ දර්ශනය අකාලික වූ සත්‍යයක් සහතික කරමින් විරාජමාන වන බව පැහැදිලි ය. මිථ්‍යාවට වඩා විද්‍යාව ඉහළ පැවතිය ද විද්‍යාව ද කලින් කලට වෙනස් වෙමින් යන කලකදී විද්‍යාත්මක යැයි පිළිගත් ඇතැම් දේ තවත් කලක දි මිථ්‍යාවක් බවට පත්වූ අවස්ථා ද ඉතිහාසයේ කොතෙකුත් වෙයි.

පෘථිවිය ගෝලාකාර යැයි අදට ඇති සම්මතය විද්‍යාත්මක වුව ද ඊට පෙර පැවති මත විද්‍යාව ද? මිථ්‍යාව ද? වර්තමාන ලෝකය තුළක ගොඩනැගී ඇති කෝවිඩ් 19 වසංගත තත්වය කෝටි 700 කට වැඩි ලෝකවාසී ජනතාවගේ හද ගැහෙන රාවය වෙනස් නොකළා ද? ආසාදිතයින් සංඛ්‍යාව 2500000 ඉක්මවූයේ ද මරණ සංඛ්‍යාව 165000 ඉක්මවූයේ ද වයිරසයේ බලවත්භාවය සහතික කරමිනි. වයිරසය බලවත් වී ඇත්තේ වයිරසයට ඉහළින් විද්‍යාව නොමැති නිසා නොවේ ද? විද්‍යාවෙන් ඒ සඳහා පිළියමක් සොයනු නියත ය. එහෙත් දැනට පළියමක් නැත. දැනට ඇත්තේ හෙදකම මිස වෙදකමක් නොවේ. එමගින් පැහැදිලි වන්නේ විද්‍යාව ද ඇතැම් විට එන එන තත්වයන් බලා ඒවාට පිළියම් සොයන බව නොවේ ද? එහෙත් බෞද්ධ දර්ශනය මිහිපිට ඇති සියලු තත්වයන් පිළිබඳ ගෙනහැර දක්වා ඇති දර්ශනය අකාලික වූයේ විද්‍යාවටත් වඩා ඉහළින් බුදු දහම රැඳී ඇති බව සිහි ගන්වමිනි. එබැවින් බුදු දහම අකාලික මෙන්ම සර්වාත්‍රික (තුන් කාලයටම) ධර්මයක් බවට සහතික කොට ඇති බව පෙනේ.

පළමුව තමා ආරක්‍ෂා වීම දෙවනුව ලෝකයා ආරක්‍ෂා කිරීම පිළිබඳ බුදු දහමේ එන ඉගැන්වීම අදටත් කොතරම් සත්‍යයක් ද? බුද්ධ චරිතය දෙස අවධානය යොමු කළ ද භික්‍ෂු චරිතය දෙස අවධානය යොමු කළ ද ගිහි ජනතාව දෙස අවධානය යොමු කළ ද පළමුව තමා ආරක්‍ෂා කොට දෙවනුව

ලෝකයා ආරක්‍ෂා කරවීම කෙතරම් ප්‍රායෝගික වේ ද? තමා උපමා කොට ගෙන අන්‍යයා ගැන සිතීම පිළිබඳ බෞද්ධ ඉගැන්වීම තමන්ගෙන් ආරම්භ වී අනෙකා වෙතට ප්‍රසාරණය වන එකක් බව පැහැදිලි ය. මම නිදුක් වෙම්වා !

මම නිරෝගි වෙම්වා !

මම සුවපත් වෙම්වා !

“මම වෙම්වා” යන ශීර්ෂයෙන් පමණක් වෙන්කොට ගත් කල එය මුළුමනින්

මමත්වකාරී පැතුමකි. විමසම. මම නිදුක් වන්නේ ඇයි? මම නිරෝගී වන්නේ ඇයි? මම සුවපත් වන්නේ ඇයි? මම නිසාම ද? නැත. මම සුවපත් වීම රටට සම්පතකි. එමගින් නිරෝගිමත් රටක් ගොඩනැගීම ආරම්භ වේ. මම නිරෝගී වන කල එය ජාතියට කෙතරම් වටිනාකමක් ද? මම නිරෝගි වන කල නිරෝගිමත් ජාතියක් ගොඩනැගිම ආරම්භ වේ.

රට ජාතිය නිරෝගිමත් වන්නේ නම් එම රට ජාතිය සෞඛ්‍ය සේවාවට බරක් වන්නේ නැත. ජාතික ධනයට හානියක් නැත. සැබැවින් ම “මම වෙම්වා” යන පැතුම තුළ කෙතරම් පරාර්ථයක් නිධන්ගත වී ඇත්දැයි කා හට වුව ද පැහැදලි වේ.

සැබැවින් ම මෛත්‍රී භාවනාව සියලු සත්වයින් කෙරෙහි ද පැතුමකි.

මුළුමනින් ම පරාර්ථය දනවන මෛත්‍රී භාවනාවේ මම ද සක්‍රීය චරිතයක් ලෙස සාකච්ඡාවට ගෙනෙන්නේ මා තුළ පරාර්ථය ඇරඹිය හැකි හෙයිනි.

බෞද්ධ භික්‍ෂු චරිතය දෙස අවධානය යොමුකර බලන කල භික්‍ෂු චරිතයේ අරමුණු දෙකකි. එයින් පළමුවැන්න ස්වාර්ථය යි. (එනම් තමා) දෙවැන්න පරාර්ථය යි. (එනම් අන්‍යයන්) ඒ අනුව භික්‍ෂු චරිතයේ ස්වාර්ථය කුමක් ද? සියලු සසර දුක් නිම කොට නිවන් අවබෝධය ලබා ගැනිම යි. සැබැවින් ම සසර දුක් නිම කිරීම සඳහා ලබන අවබෝධය තමා සඳහා ම ද? නැත එය පරාර්ථය පිණිස වන වබෝධයකි. භික්‍ෂු චරිතයේ දෙවන අරමුණ පරාර්ථය යි. එනම් ධර්‍ම චාරිකාවේ නිරත විමයි. සසර පිළිබඳ ලබාගත් අවබෝධය ධර්ම චාරිකාවේ යෙදෙන කල එය පරාර්ථ සුවය සඳහා යෙදෙන බව පැහැදිලි ය. භික්‍ෂුව පළමුව සසර පිළිබඳ තමා ලත් අවබෝධය, දෙවනුව ධර්මාවබෝධයට රුචි ජන සමාජයට ගමන් කිරිමෙන් සිදු වන්නේ තමා ආරක්‍ෂා වී දෙවනුව අනෙකා ආරක්‍ෂා කිරීම නොවේ ද?

එදා යසෝධරාවන් ගිහි ජිවිතයේ සොඳුරුබව විඳීම අපේක්‍ෂා කරමින් සිටිද්දී, සිඟිති රාහුල කුමරුන් මව් තුරුලේ රැඳෙද්දී, සුදොවුන් රජු ඇතුළු ප්‍රියයන් කඳුළු සලද්දී සිදුහත් බෝසතාණෝ ගිහිගෙයි හැර ගියහ. ඒ කුමක් අරභයා ද? තමන් වහන්සේගේ බුදු පදවිය අරභයා ය. සියලු කෙලෙස් කිළු සෝදා සිත් සතන් නිර්මල කළ උන්වහන්සේගේ බුද්ධත්වය තමන් වහන්සේ උදෙසාම ද? නොඑසේනම් සකල ලෝක සත්වයා උදෙසා ද? නැත. තමන් වහන්සේ අවබෝධ කොටගත් ධර්මය දේශනා කොට ලෝක සත්වයා දුකින් මුදවා ගැනීමේ මෙහෙයුම උන් වහන්සේ දියත් කළ සේක. තමන් වහන්සේ පසක් කොට ගත් ධර්මය ලෝක සත්වයාට මුදා හැර පළමුව තමන් වහන්සේ ද, දෙවනුව ලෝක සත්වයා ද කේන්ද්‍ර වූ බව පැහැදිලිය. උන් වහන්සේගේ දින චරියාවේ පෙරයම්

කිස, මැදියම් කිස, පැසුලුයම් කිස ආදී වශයෙන් කාලය බෙදා වෙන්කොට පැසුලුයම් කිසෙහි කොටසක් තමන් වහන්සේගේ කාය චිත්ත විවේකය පිණිස තමන් වහන්සේ ම වෙන්කොටගත් සේක. සැබැවින් ම බුදුන් වහන්සේගේ කාය චිත්ත විවේකයේ අවසාන වේ. ලෝක සත්වයා උදෙසා ම නොවේ ද? පළමුව තමා ආරක්‍ෂා වී දෙවනුව අන්‍යයා ආරක්‍ෂා කිරීම බුදු දහමේ ඉගැන්වෙන අකාලික ධර්මයකි.

ඒ බව ගිහි සමාජය දෙස අවධානය යොමු කිරීමෙන් ද පසක් කරගත හැකි ය. නිවසක ගෘහ මූලිකයාට රෝගකාරක තත්වයක් ඇති වූ කල ඔහු තම රෝග කාරකය නොසලකාහරී නම්, සුදුසු ප්‍රතිකාර ලැබීමට පසුබට වේ නම් තමා රැකීම පිළිබඳ හැඟීමක් නොමැතිකම පළකරනු පෙනේ. තමා නොරැකීම එය තම පවුලේ සියලු දෙනා ආනාරක්‍ෂිත කිරීමක් නොවේ ද? තමා තම ජිවිතයේ පැවැත්ම පිළිබඳ ආරක්‍ෂිත පිළිවෙත් අනුගමනය කරන්නේ නම් පළමුව තමා ආරක්‍ෂා වී දෙවනුව තම ප්‍රියයන්ගේ ජීවිතය සුව සාධනය උරුම වන බව පැහැදිලි ය. පළමුව තමා රැකී දෙවනුව අන්‍යයා රැකීමේ ධර්මතාව එහි නිධන්ගතව ඇති බව

පැහැදිලි ය. ශ්‍රී ලාංකික පළමු කොවිඩ් රෝගියා තමා කිසියම් ආසාධන තත්වයක පසුවන බව තමාට නිරීක්‍ෂණය වීමෙන් අනතුරුව ඒ සඳහා නිසි ප්‍රතිකාර ගැනීමට තමා ම යුහුසුලුව ක්‍රියා කළ බව ඔහු ලද

එහි අවසාන ඵලය අන්‍යයා ආරක්‍ෂා කිරීම නොවේ ද? තම ප්‍රියයන්ට ආසාධනය වූයේ නැත. ගම්මුන් ආසාධනයට පත්වූයේ ද නැත. ඔහුගෙන් එම වයිරසය කිසිවෙකුට පැතිර ගියේ ද නැත. තමා රැකීමෙන් අන්‍යයා රැකිය හැකි බව මෙමගින් මනාව කියැවේ.

අනුන්ට මගපෙන්වීම පිණිස, අනුන්ගේ යහපත පිණිස පළමුව තමා යහපතෙහි පිහිටා සිටිය යුතුය යන දහම් පදය දහසක් නයින් අවබෝධයට පත්වන ස්වර්‍ණමය අවස්ථාව මෙය ම වන්නේ ය.