සරල දිවි පෙවෙත සොබාදහමට අනුකූලයි
කැලණිය විශ්වවිද්‍යාලයේ
වාග්විද්‍යා අධ්‍යයන අංශයේ
ආචාර්ය
කපුගොල්ලෑවේ
ආනන්දකිත්ති හිමි
කොවිඩ් 19 ලෙසින් හැඳීන්වෙන කොරෝනා වසංගතය සමස්ත පෘථිවියේම මානවයන් පමණක් ගොදුරු
කරගනිමින් සිටියි. මේ මොහොත වන විට කොරෝනා වසංගත තර්ජනයෙන් මුක්ත වූ ඇන්ටාක්ටිකා
කලාපය හැරුණු විට වෙනත් දේශයක් නැතැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ.
ඈත අතීතයේ ද විවිධ වූ වසංගත ලෝකය මේ අන්දමින් ගොදුරු කරගත් අවස්ථා ඉතිහාසයෙන්
වාර්තා වේ. ලාදුරු, වසූරිය, ක්ෂයරෝගය, මැලේරියා ආදිය ඉන් කීපයකි. ඇතැම් වසංගත
ස්වාභාවික ව හටගෙන ස්වාභාවික ව ම තුරන්වී තිබේ. එහෙත් ඇතැම් වසංගත මෙලොවින් තුරන්
වී හෝ පාලනය වී ඇත්තේ වෛද්‍ය විද්‍යාවේ අනුහසිනි. අද අප මේ මුහුණ දෙන කොරෝනාව ඉබේ
හටගත් වසංගතයක් නොව සොබා දහමට එරෙහි වූ, බලකාමයෙන් උමතු වූ මානවයන් විසින් නිර්මාණය
කරන ලද්දක් බව දැන් අනාවරණය වෙමින් පවති. සොබා දහමෙන් ඉබේ හටගත් වසංගතයක් වේ නම්
යම් දිනෙක සොබා දහමම එකී ව්‍යසනය මෙලොවින් තුරන් කරනු ඇත- එහෙත් මානව නිර්මාණයක් වූ
කොරෝනාව මානවයාම නැවත නිවැරඳි කළ යුතු බව අනිවාර්යය සංසිද්ධියකි.
මානවයා හැර මෙලොව සියලු ජීවීන් සොබාදහමට අවනත වේ. මානවයා පමණක් ඊට අවනත නොවී
ආක්‍රමණශීලි ලෙස සොබාදහම අතික්‍රමණය කර තිබේ. මිනිසාගේ මෙකී ක්‍රියාකාරකම් හේතුවෙන්
සමස්ත ලෝකයේ පොදු පැවැත්මට ඉවහල්වන දෑ මහා පරිමාණයෙන් ක්ෂය වෙමින් පවති. ඕසෝන්
ස්ථරයට හානිවීම ආදිය ඊට උදාහරණයි. මේ අන්දමින් ඔක්සිජන්, ජලය, පස, වනාන්තර ආදි
සත්වයාගේ පැවැත්මට ඉවහල්වන සොබා දහමේ උතුම් සම්පත්වලට මිනිස් වර්ගයා කෙතරම් නම්
හානි පමුණුවා තිබේද? එනිසා සොබා දහමට එරෙහි වූ මානව වර්ගයාට සොබා දහම විසින්
ලබාදුන් දඩුවමක් ලෙස කොරෝනා වෛරසය නිර්වචනය කිරීමේ වරදක් නැත.ඊට හේතුව නම් කොරෝනාව
මිනිසා නිවසට සිරගත කරද්දි සොබා දහමට එකඟ වූ අනෙක් සියලු ජීවීන් පෙර පරිදි සිය ජීවන
ක්‍රියාකාරකම් මැනවින් කරගෙන යයි. සොබා දහමට එරෙහිවූ මිනිසා සිය නිවසේ හිරවී පෙර
පැවති සමාජානුයෝජනයෙන් තොරව සමාජ දූරස්ථභාවයෙන් හුදකලාව වාසය කරන්නට සිදුවීම දෛවයේ
සරදමකි.
‘මනං උච්ඡතිති මනුස්සෝ’ යනුවෙන් උසස් මනසක් ඇති නිසා ‘මිනිසා’ යැයි භාවිත වන බව
බුදු දහමේ සඳහන් වේ. අනෙක් ජීවීන් සමග සැසඳීමේ දී සැබැවින්ම උසස් මනසක් ඇත්තේ
මිනිසාට පමණි. එහෙත් උසස් මනසක් ඇති මානවයන් සොබාදහමට කර ඇති හානිය අනෙක් ජීවීන්
සිදුකොට නැත. මිනිස් සිරුරත් මනසත් ලද පමණින් පුද්ගලයෙක් මිනිසෙක් බවට පත් නොවේ.
ක්‍රියාවත්, වචනයත් යමෙකුගේ මිනිසත් බව ප්‍රදර්ශනය කරන වේදිකා දෙකකි. මේ වේදිකා
දෙකේ රඟ දක්වන ආකාරය මත ඕනැම පුද්ගලයෙක් මිනිසෙක්, දෙවියෙක්,තිරිසනෙක්, යකෙක්,
භූතයෙක් හෝ පෙරේතයෙක් ආදි වශයෙන් ඒ ඒ පුද්ගලයාගේ ක්‍රියාව හා වචනය මත තමා
කවරෙක්දැයි තීරණය වනු ඇත- ක්‍රියාවත් වචනයත් යහපත් හෝ අයහපත් වීමට මූලිකවන්නේ
මිනිසා සතු මනස හෙවත් සිතයි- ‘මනෝ පුබ්බංගමා ධම්මා - මනෝසෙට්ඨා මනෝමයා’ යනුවෙන්
සියල්ල මනස පෙරටුකොට ඇත. මනස ශ්‍රේෂ්ඨ කොට ඇත සහ මනස ප්‍රධානකොට ඇත යනුවෙන්
ශාන්තිනායක බුදුපියාණන් වහන්සේ දේශනා කළ සේක. එනිසා අයහපත් මනසින් පිටවන වචනය, නරකට
නපුරට යොවූ දුෂ්ට කුරිරු පාපී වචනයක් ම වේ- එම වචනය තමාටත් අන්‍යයන්ටත් හානිය
පිණිස, විනාශය පිණිස ඒකාන්තයෙන් පවති- නරක නපුරු දුෂ්ට කුරිරු සිතකින් යුත්
ක්‍රියාව ද යහපත පිණිස පවතින්නේ නැත. එවැනි ක්‍රියා තමාගේත් අන්‍යයන්ගේත් විනාශය
පිණිසම හේතුවේ. මේ අනුව අයහපත් මනසින් පිටවන වචනයත්, අයහපත් මනසින් සිදුකරන
ක්‍රියාවත් කරත්තය ඇදගෙන යන ගොනා පසුපස පැමිණෙන කරත්ත රෝදය මෙන් තමා පසුපස විපාක
දෙමින් පැමිණෙන බව ‘තතො නං දුක්ඛමන්වෙති චක්කංව වහතෝ පදං’ යන බුද්ධ භාෂිතයෙන් මොනවට
පසක් වේ.
සොබාදහම නිරන්තරයෙන් අතික්‍රමණය කළ මිනිසා, අයහපත් මනසින් සිදුකළ ක්‍රියාවන්හි
ප්‍රතිඵලය ‘කොරෝනාව’ ලෙස හැඳීන්වීම වඩාත් නිවැරැදිය. ගොනා පසුපස එන කරත්ත රෝදය මෙන්
අයහපත් මිනිසුන්ගේ නරක ක්‍රියවන්හි ඵලය මිනිස් වර්ගයා පසුපස එමින් විපාක දෙන අන්දම
මැනවින් ප්‍රදර්ශනය වේ. අනෙක් ජීවීන්ට සාපේක්ෂක ව අසීමිත ආශාවන් තුළ දැඩි ලෝභයෙන්
ආත්මාර්ථකාමී ව මෙලොව හැසිරිය හැක්කේ මිනිසාට පමණි. එලෙස මිනිසා හැසිරෙන්නේ සොබා
දහම අබිබවායැමේ ශක්‍යතාව ඔහු සතු හෙයිනි. යමෙක් ආත්මාර්ථකාමී ව දැඩි ලෝභයෙන් විශාල
ධනයක් ඉපයීම සඳහා වනාන්තර කපා සොබාදහම විනාශකරමින් මුදල් උපයයි නම් එය අයහපත් නරක
ක්‍රියාවකි. ඒ අන්දමින් සිදුකළ වන විනාශයේ දුර්විපාක එම ක්‍රියාව සිදුකළ පුද්ගලයාට
පමණක් නොව සමස්ත මිනිස් වර්ගයාටත්, සියලු ජීවීන්ටත්, සොබා දහමේ අනවරත
ක්‍රියාවලියටත් නිතැතින් බලපානු ලැබේ. මෙයාකාර සමස්ත විනාශයට මූලික හේතුව වූයේ
මිනිස් මනසේ ඇතිවූ අසීමිත ආශාව හෙවත් ධනවත්වීමේ දැඩි ලෝභයයි.
අසීමිත ආශාවන්ගෙන් තොර, අනිවාර්ය අවශ්‍යතා පමණක් සපුරා ගන්නා, සරල, චාම්, පරිසර
හිතකාමි දිවිපෙවෙතක් පිළිබඳ බුදු දහම නිර්දේශ කරන්නේ මිනිසා සොබාදහම අතික්‍රමණය
නොකළ යුතු හෙයිනි. උපාසක උපාසිකා උදෙසා නිර්දිෂ්ට නිත්‍ය ශීලය වූ පංච ශීලයෙන් ද මේ
බව මනාව තහවුරු වේ. මිනිසාගේ ක්‍රියාවත් ,වචනයත් පංච ශීලය තුළ සොබා දහමට හිතකාමි
ලෙස හික්මවන්නට ගෙන ඇති ප්‍රයත්නය අතිවිශිෂ්ට ය. පළමු ශික්ෂා පදයෙන් අනෙක් ජීවීන්ගේ
ජීවත්වීමේ අයිතිය තහවුරු කරන අතර, එකී ජීවීන් ආරක්ෂා කිරීම නැමැති උතුම් යුතුකම
මනාව ඉෂ්ටසිද්ධ කරනු ලැබේ- අන්‍යයන් සතු දෑ පැහැර ගන්නේ නැතිබැරිකම හා දැඩි ආශාව
හේතුවෙනි. නැතිබැරිකම හොරකමක් කිරීමට සාධාරණ හේතුවක්
නොවේ. යහපත් මනසින් යුත් යම් තැනැත්තෙක් වේ නම් ඔහු උත්සාහයෙන් හා කැපවීමෙන් සිය
අවශ්‍යතා සාධාරණ ව සපුරාගනී. එබැවින් හොරකමට බුදු දහමේ කිසිදු ඉඩක් නැත. බුදු දහමට
අනුව හොරකම් නොකිරීමටත්, අන්සතු වස්තුන් සුරක්ෂා කිරීමටත් පැහැදිලි යුතුකමක් හා
වගකීමක් මිනිසාට ඇත. පසිඳුරන් අසීමිත ව පිනවීම පුද්ගලයෙකුගේ අභිවෘද්ධිය හීනවීමට
ඉවහල් වේ. තව ද පසිඳුරන් අසීමිතව පිනවන්නා අන්‍යයන්ගේ ගෞරවය කෙලසන්නෙකි. අන්‍ය
ගෞරවය ආරක්ෂා කිරීම සැමගේ යුතුකමක් හා වගකීමක් වේ. එය පංචශීලයෙහි තුන්වන ශික්ෂා
පදයෙන් ආරක්ෂා කෙරේ. එය ද සොබා දහමටම අනුකූලවූ පැනවීමක් බව පැහැදිලි ය. කෙසේ වුවද
සමස්ත පංචශීලම යුතුකම් හා වගකීම් පිළිබඳ සොබා දහමට අනුකූල වූ නියමයන් පද්ධතියකි.
එකී යුතුකම්වලින් හා වගකීම්වලින් මිනිසා මුක්තනොවීම පංචශීලයෙහි ඇති විශේෂත්වයයි. මේ
අන්දමින් පංචශීල ප්‍රතිපදාව සොබා දහමේ අභිමතයට අනුකූව, එය අබිබවා නොයමින්, ජීව අජීව
සියලු වස්තූන්ගේ උන්නතිය වෙනුවෙන් කැපවීම කොතරම් නම් චමත්කාර ජනක ද? එසේම තමාටත්
අන්‍යයන්ටත් යහපත පිණිස ඉවහල් වන සාර්ථකවූත් සරලවූ ත් දිවි පෙවෙතකට පංචශීලයෙන්
ලැබෙන අනුබලය අපමණ ය. |