Print this Article


සාමය නැත්තේ ඇයි?

සාමය නැත්තේ ඇයි?

තමාට හදවතක් ඇති බව මිනිසා අමතක කර තිබේ. තමා ලෝකයට දයාවෙන් සැලකුවහොත් ලෝකයා ද ප්‍රත්‍යුපකාර වශයෙන් තමාට දයාවෙන් සලකන බව නො සිතයි.

ඇත්තෙන් ම අද අප ජීවත් වන්නේ පුදුමාකාර ලෙස සත්‍යය වසන් කරන ලොවක ය. එක් අතෙකින් මිනිසුන් යුද්ධයට බිය වී ඇත. අනික් අතින් ඔවුහු ඒ සඳහා උමතු ලෙස සූදානම් වෙති. වැඩි වැඩියෙන් නිෂ්පාදනය කෙරෙති. එහෙත් මසුරු ලෙස බෙදා හරිති. ලෝකය වැඩි වැඩියෙන් තද බද වෙයි.

මිනිසා වැඩි වැඩියෙන් කොන් වී හුදෙකලා වෙයි. විශාල පවුලක් සේ මිනිස්සු එකිනෙකාට සමීප ව ජීවත් වෙති. එහෙත් සෑම තැනැත්තකුට ම වෙන කිසිකලෙකට වඩා තම අසල්වැසියා ගෙන් වෙන් වූ සේ දැනෙයි. අන්‍යෝන්‍ය අවබෝධය හා හෘදයාංගම බව අතිශයින් ම අවශ්‍යව ඇත. එක මිනිසකුට තවත් අයෙකු කෙතරම් හිතවත් වූව ද විශ්වාස කළ නො හැකි ය. දෙවන ලෝක මහා යුද්ධයේ බිහිසුණු බවෙන් පසු එක්සත් ජාතීන්ගේ සංගමය ගොඩනැගුණ ද එම ප්‍ර‍්‍රඥප්තියට අත්සන් තැබීමට රැස්වුණු රාජ්‍ය නායකයන් එකඟ වූයේ පහත දැක්වෙන පූර්විකාව අනුව එය පටන් ගැනීමට ය.

“යුද්ධය පටන් ගන්නේ මිනිසුන්ගේ මනස තුළින් බැවින් සාමයේ බල පවුරු ඉදිකළ යුත්තේ මිනිසුන් ගේ මනස තුළ ය”. මේ රංජනය එලෙසින් ම පිළිරැව් දීම ධම්ම පදයේ පළමු ගාථාවෙන් ම හෙළිවෙයි. එය මෙසේ ය. “සියලු මානසික ආයතනයනට හෙවත් සිතිවිලිවලට පෙරටුව යන්නේ මනසයි. සිතිවිලි ඇති කරන්නා ද සිතිවිලිවල මූලිකයා ද මනසයි. කිලිටි වූ මනසකින් යමෙකු යමක් කියයි ද, කරයි ද ඔහු පසුපස දුක් වේදනා ලුහු බැඳ එන්නේ ගැල අදින ගොනු ගේ පා අනුව ගැල් සක (රෝදය) ඇදී එන්නා සේ ය. කිසියම් බලවේගයකට ප්‍රතිවිරුද්ධ විය හැක්කේ එයට වඩා ප්‍රබල බලවේගයක් යෙදවීමෙන් ය. යන විශ්වාසය නිසා මහා ජාතීන් අතර දැනට පවතින මහා අවි තරඟය ඇති විය. එකී යුද අවි වැඩි වැඩියෙන් තැනීමේ තරගය අද මිනිස් වර්ගයා පූර්ණ ස්වයං විනාශයක කෙළවරට ගෙනවිත් තිබේ. අප ඒ පිළිබඳ ව කිසිවක් නො කළහොත් මී ළඟට ඇතිවන යුද්ධයක දී මෙ ලොව සුණු විසුණු වී ජයග්‍රාහකයෙක් හෝ පරාජිතයෙක් ඉතිරි නො වේ. ඉතුරුවෙතොත් මළ කඳන් පමණකි. වෛරයෙන් වෛරය නො සන්සිඳෙයි. එය සංසිඳ විය හැක්කේ මෙත් සිතිනි. බුදුරජාණන් වහන්සේ ගේ ඒ අවවාදය වෛරය පතුරුවන්නන්ට, ප්‍රතිවිරුද්ධවාදීන්හට, එකිනෙකාට විරුද්ධ ව යුද වදින්නන්ට, විප්ලව ඇති කරන්නවුනට දේශනා කරන ලද්දකි.

බොහෝ දෙනෙකු කියා සිටින්නේ බුද්ධ දේශනාව අනුව අයහපතට ප්‍රතිචාරය වශයෙන් යහපතක් කිරීම ක්‍රියාත්මක කළ හැකි දෙයක් නො වන බව යි. සත්‍ය වශයෙන් ම ඕනෑ ම ගැටලුවක් විසඳීමට ඇති නියම ක්‍රමය එය යි. මේ ක්‍රමය ශාස්තෘන් වහන්සේ සිය අත් දැකීම් අළලා ඉදිරිපත් කරන ලද්දකි. අප බොහෝ විට උඩඟු මමත්වය නිසා නපුර වෙනුවෙන් යහපතක් කිරීමට මැලි වන්නේ මිනිසුන් අප බිය ගුල්ලන් සේ සිතනු ඇතැයි යන අදහස් නිසා ය. සමහරු ඇතැම් විට දයාව මෘදු බව ගැහැණු ගති සේ සලකති. පිරිමින් හට තරම් නොවෙතියි සිතති. එහෙත් එයින් සිදුවන හානියක් නැත.

අප අප ගේ ප්‍රශ්නයන් නිරාකරණය සඳහා සාමය සතුට උදා කරනු වස් අප ගේ අන්තරායකාරී අහංකාරත්වය පරිත්‍යාග කර එ වැනි සභ්‍ය ක්‍රමයක් උපයෝගී කර ගැනීම කො තරම් වටනේ ද? මේ මිහිතලයට සාමය උදාවීමට නම් ඉවසීම ප්‍රගුණ කළ යුතු වෙයි. බලපෑම් හා අනිවාර්යය කිරීම් නො ඉවසිල්ල ජනිත කරවයි. සාමය සංගත භාවය මනුෂ්‍ය වර්ගයා තුළ ප්‍රතිෂ්ඨාපනය කිරීමට නම් වෛරය තුරන් කිරීමේ මාර්ග යොදා ගැනීමට සෑම දෙනා ම පළමුවෙන් උගත යුතු ය. අකුසල් බල වේගයන් වූ ලෝභය ගැන ද කිව යුත්තේ එය ම ය. මානව වර්ගයාට ඊනියා නපුරු බලවේග මුලිනුපුටා දැමීමට හැකි වුවහොත් සාමය හා ඉවසීම මේ නො සන්සුන් ලොවට පැමිණෙනු ඇත. මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ අනුගාමිකයනට විශේෂ වගකීමක් වෙයි. එනම් ලෝකයේ සාමය තහවුරු කිරීමට හා ශාස්තෘන් වහන්සේගේ අවවාදය පිළිපදිමින් එය පෙන්වා දීමයි. “සියල්ලෝ ම දඬුවමින් සැලෙති. මරණයට බිය වෙති. එසේ අනුන් තමා කෙරෙහි උපමා කර ගනිමින් කිසිවකු මැරීමට හෝ මැරවීමට තැත් නො කළ යුතු ය.