දුක් දුරු කිරීමට
පිරිතේ ආශිර්වාදය
පොල්ගහවෙල
මහමෙව්නා භාවනා අසපු සංචිතයේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ
ඤාණානන්ද හිමි
භාග්‍යවතුන් වහන්සේ ජීවමාන අවදියේ පටන් ම තෙරුවන් සරණ ගිය ශ්‍රද්ධාවන්ත ශ්‍රාවක
ශ්‍රාවිකාවන් විසින් පිරිත් ධර්මයන්ගෙන් ජීවිතයට ආශිර්වාදය රැකවරණය සලසා ගැනීමට
පුරුදුව සිටියා.
භාග්‍යවතුන් වහන්සේ ජීවමාන අවදියේ දී විශාලා මහනුවර රෝග බිය, අමනුෂ්‍ය බිය,
දුර්භික්ෂ බිය කියන තුන් බිය හටගත් අවස්ථාවේ දී ලිච්ඡවි රජ දරුවන් භාග්‍යවතුන්
වහන්සේ ප්‍රමුඛ ශ්‍රාවක සංඝරත්නය විශාලා මහනුවරට බොහෝ ම ගෞරවයෙන් වැඩමවා ගත්තා. ඒ
අවස්ථාවේ දී භාග්‍යවතුන් වහන්සේ තුනුරුවනේ ගුණ කැටි කොට කෝටි ලක්ෂයක් සක්වළෙහි
ආනුභාවය පතුරවමින් මේ කල්පය පුරාවට ආනුභාවය පවතින ආකාරයට රතන සූත්‍රය දේශනාකොට
වදාළා. එහිදී විශාලා මහනුවර තිබූ තුන් බිය දුරුවෙලා ගොස් නැවතත් සෞභාග්‍ය උදා වුණා.
පිරිත කියන වචනයට පාලියෙන් පරිත්ත කියාත් සංස්කෘත භාෂාවෙන් පරිත්‍රාණ කියාත්
කියනවා. බිය, කරදර, දුක්පීඩා දුරුකර ආරක්ෂාව සලසා ජීවිතයට සෞභාග්‍ය සෙත ශාන්තිය
උදාකරන ධර්ම කොටස් සජ්ඣායනය තමයි පිරිත් සජ්ඣායනය කියා කියන්නේ.
ඉතිහාසය දෙස බලන විට රහතන්වහන්සේලා පවා අසනීපයෙන් පසුවන අවස්ථාවල බොජ්ඣංග සූත්‍ර
ධර්ම සජ්ඣායනා කිරීමෙන් ඒ අසනීප තත්ත්වයන් සුවපත් වී තිබෙනවා. ඒ වගේ ම ගැබිනි මවක්
දරුවා බිහිකර ගැනීමට නො හැකිව වේදනාවෙන් සිටිද්දී අංගුලිමාල පිරිතෙන් අංගුලිමාල
මහරහතන් වහන්සේ කළ සත්‍යක්‍රියාවෙන් පසුව බොහෝ ම සුවසේ දරුවා බිහිවූවා. අද දක්වා ම
අංගුලිමාල පිරිතේ ආශිර්වාදය ගැබිනි මව්වරුන් විසින් සලසා ගන්නවා. ඒ වගේ ම අපගේ
ශාස්තෘන් වහන්සේ වැඩසිටි කාලයේ දී සසරේ බැඳි වෛරයක් නිසා දින හතකින් මරණයට පත්වීමට
සිටි පුංචි දරුවෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් පිරිත් ධර්මයන් දෙසූ පසු අවුරුදු 120
ක් ආයු ලබා දීඝායු කුමාරයා නමින් ප්‍රසිද්ධියට පත්ව පිරිතෙන් ආශිර්වාදය රැකවරණය
සලසා ගත්තා.
මේ කාරණා දෙස බලද්දී අපට පෙනෙනවා භාග්‍යවතුන් වහන්සේ ජීවමාන අවදියේ දී ම මේ පිරිත්
ධර්මයන්ගේ ආශිර්වාදය සලසා ගන්න ශ්‍රාවක ශ්‍රවිකාවන් කටයුතු කර තිබෙන බව. පිරිත්
දේශනා පවත්වන අවස්ථාවේ දී ඒ පිරිතට ආරාධනා කරන ගාථාවේ විපත්ති පටිභාහාය - සියලු
විපත් දුරුවීම පිණිසත්, සබ්බ දුක්ඛ විනාසාය – සියලු දුක් අතුරු ආන්තරාවන් දුරු වී
සෞභාග්‍ය උදාකිරීම පිණිසත් පිරිත් ධර්මයන් සජ්ඣායනා කරන්න කියලයි කියවෙන්නේ.
පිරිත් සජ්ඣායනාවේ දී කෝටි ලක්ෂයක් සක්වළ ආනුභාවය පතුරවමින් කල්පයක් පුරාවට ආනුභාවය
පැතිරේවා යනුවෙන් අධිෂ්ඨාන කරමින් සජ්ඣායනා කළ විශේෂ පිරිත් ධර්මයන් තිබෙනවා. ඒ රතන
සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය, ඛන්ධ පිරිත, මෝර පිරිත, ධජග්ග පිරිත, ආටානාටිය පිරිත
සහ අංගුලිමාල පිරිත. මේ පිරිත් ධර්මයන් බොහෝ ම සුවිශේෂි කෝටි ලක්ෂයක් පුරාවට
ආනුභාවය පතුරවමිනුයි භාග්‍යවතුන් වහන්සේ විසින් එම පිරිත් ධර්මයන් දේශනා කර වදාළේ.
මේ පිරිත් ධර්මයන් දේශනා කරද්දී විශේෂයෙන් ඒ පිරිත් දේශනා කරන පිරිසට සහ ශ්‍රවණය
කරන පිරිසට භාග්‍යවතුන් වහන්සේ ගැන, ශ්‍රී සද්ධර්මය ගැන, ශ්‍රාවක සංඝ රත්නය ගැන
ශ්‍රද්ධාව තිබීම බොහෝම වැදගත්. තෙරුවන්ගේ ගුණ දැනගෙන අවබෝධයෙන් විශ්වාසයෙන්
සජ්ඣායනා කිරීමත් ශ්‍රවණය කිරීමත් සිදු කළ යුතුයි. ඒ වගේම ඒ පිරිත අසන්නාත්,
සජ්ඣායනා කරන්නාත් මනාකොට සිල්වත් පිරිසක් වීමත් ඒ පිරිතේ ආශිර්වාදය ලබන්න බොහෝ
හේතු උපකාර වෙනවා .යම් කෙනෙක් සසරේ යම් ප්‍රබල පව් විපාක සිදුකොට තිබෙනවානම් ඔහුටත්
පිරිතේ ආශිර්වාදයක් ලබාගත නො හැකියි.
විශේෂයෙන් මේ පිරිත ගැන සඳහන් වන තැනක් මුණ ගැසෙනවා මිලින්ද ප්‍රශ්නයේ දී. නාගසේන
මහරහතන් වහන්සේගෙන් මිළිඳු රජතුමා අසනවා “ස්වාමීනි, පිරිත් ධර්මයන්ගෙන් ආශිර්වාද
සලසා ගනිද්දී ඒ පිරිත් ධර්මයන්ගෙන් ආරක්ෂාව ලැබෙන්නේ කොහොම කෙනෙකුට ද? ආරක්ෂාව නො
ලැබෙන්නේ කොහොම කෙනෙකුට ද කියලා. ඒ අවස්ථාවේ දී නාගසේන මහරහතන් වහන්සේ වදාළා
මහරජතුමනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ පිරිත් ධර්මයන්ගේ ආරක්ෂාව, ආශිර්වාදය සලසා
ගත හැකි බව වදාළේ තමන්ගේ ආයුෂ ඉතිරි අකුසල කර්මයන්ගෙන් නො වැසී ඇති තැනැත්තාට පමණයි
කියලා. ඒ ආකාරයට ආයුෂ, වයස අකුසලවලට යට නො වූ තැනැත්තාටයි මේ පිරිත් ධර්මයන්ගේ
ආශිර්වාදය සැලසෙන්නේ.
ඒ සඳහා නාගසේන මහරහතන් වහන්සේ උපමාවක් ද වදාළා. වියළී, මැරීගොස් ඇති යම් ගසකට කො
තරම් ජලය, පොහොර දැම්මත් ඒ ගස ලියලා වැඩෙන්නේ නැහැ. ඒ වගේ කෙනෙකුගේ ආයුෂ අවසන් නම්,
ජීවත්වීමට කර්මානුකූරූප ව හැකියාවක් නැත්නම්, අකුසල කර්මයන්ගෙන් වැහිලානම්
තිබෙන්නේ, පිරිතේ ආශිර්වාදය ඔහුට ලැබෙන්නේ නැහැ කියා.
ඒ වගේ ම පිරිත ශ්‍රවණය කරන්නාගේ සිත පිරිත ශ්‍රවණය කරන අවස්ථාවේ දී රාගයෙන්,
ද්වේෂයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන් මසුරුකමින් ආදී අකුසලයෙන් වැසී නො ගොස් තිබෙන්නත්
ඕන. ඒ වගේ ම තුනුරුවන් කෙරෙහි මෙන් ම සජ්ඣායනා කරන පිරිත කෙරෙහිත් බලවත්
විශ්වාසයක්, ශ්‍රද්ධාවක් තිබෙන්නත් ඕනේ. මේ කරුණු සම්පූර්ණ නම් පිරිත ශ්‍රවණය කරන
පිරිසත්, සජ්ඣායනා කරන පිරිසත් ඒ දේ කරනවානම් ඒ පිරිතෙන් බොහෝ ආශිර්වාද ලබන්නට
පුළුවන් බව නාගසේන මහරහතන් වහන්සේ වදාළා.
එනිසා පිරිත් සජ්ඣායනාව කියන්නේ භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලයේ පටන් අද වනතුරු
තෙරුවන් සරණ ගිය ශ්‍රද්ධාවන්ත ශ්‍රාවක ශ්‍රාවිකාවන් විසින් තමන්ගේ ජීවිතයට ඇතිවන
දුක් කරදර පීඩා දුරු කර ගන්න, රෝග පීඩාවන්ගෙන් වළකින්න ඒ වගේම ජීවිතේ මංගල සම්මත
අවස්ථාවල දී ආශිර්වාදය ලබන්න භාවිත කළ උතුම් පිළිවෙතක්.
පිරිත් සජ්ඣායනයේ දී ආධ්‍යාත්මික වශයෙන් ගොඩනැඟෙන චිත්ත පාරිශුද්ධිය පදනම් කරගෙන
තුණුරුවනේ ගුණ සමුදාය ඉස්මතු කර සත්‍යක්‍රියා කර විපතට පත්වූවන්ට ආරක්ෂාව, සෙත සලසා
දීමයි පිරිතෙන් මූලික වශයෙන් සිදුවන්නේ. අපේ රටේ පැරැණි රජ දරුවන් රටට විපත්ති
කාලයක් උදා වූ විට තෙරුවන් කෙරෙහි බොහෝම ශ්‍රද්ධාවෙන් උපෝසථය ආරක්ෂා කරමින් රතන
සූත්‍රය, ධජග්ග සූත්‍රය ආදී පිරිත් සජ්ඣායනා කර තිබෙනවා.
අද ද අප ඉහත කී කරුණු සම්පූර්ණ කරගෙන එසේ කරන්නේ නම්, ඒකාන්තයෙන් ම සෑම කෙනෙකුගේ ම
ජීවිතයට රැකවරණය උදා වෙනවා.
- නයනා නිල්මිණී |