[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පහසුවෙන් ධනවත් වීමට බෞද්ධ ඉගැන්වීම්

පහසුවෙන් ධනවත් වීමට බෞද්ධ ඉගැන්වීම්

"ලෝබයා කිසිවකුටත් නො දී තමාම සියල්ල භුක්ති විඳියි, මසුරා කිසිවකුටත් නොදෙයි තමාවත් ධනය භුක්ති නොවිඳියි. අල්පේච්ඡු බව යනු ධනය ඇති අයුරින් සරලව ජීවත්වීමයි. ඉතිරිකිරීම යනු ධනය ඇති නැති සියලූ දෙනාම කරන කටයුත්තකි."

නූතන ලෝකය ධනය මතම පිහිටා ඇත. ධනය වෙනුවෙන් ම උපතේ සිට විපත දක්වා සටන් වදිති. එයට හේතු වන්නේ මිනිස් ප‍්‍රතිශතය දිනෙන් දින ඉහළ යාම සහ ලොව පවත්නා සම්පත් සීමිත වීමයි. සීමිත සම්පත් ප‍්‍රමාණයෙන් වැඩි කොටසක් ලබා ගැනීමට වැඩියෙන් ධනය ඉපයිය යුතු වේ.

ආර්ථිකය යනු අය සහ වැයයි. එනම් ධනය ඉපයීම සහ ධනය වියදම් කිරීමේ න්‍යායයි. ධනය ඉපයීම බුදුන් වහන්සේගේ ආර්ථික න්‍යාය අනුව ක‍්‍රම දෙකකට සිදුවෙයි. එනම් අධාර්මිකව ධනය ඉපයීමේ ක‍්‍රමය සහ ධාර්මිකව ධනය ඉපයීමේ ක‍්‍රමයයි.

අධාර්මිකව ධනය නො ඉපයිය යුතු බව දක්වමින් වෙළඳාම හෙවත් ව්‍යාපාර කටයුතු කරන පිරිස් විසින් 1. මත්ද්‍රව්‍ය වෙළඳාම 2. විෂ වෙළඳාම, 3. මස් වෙළඳාම, 4.මස් පිණිස සත්ත්ව වෙළඳාම, 5. ආයුධ වෙළඳාම යන වෙළඳාම් පහ නො කළ යුතු බව පෙන්වා දෙනු ලබයි. වෙළඳාම මගින් ධනය ඉපයීමේ දී තුලාකූට (කිරීම*, මානකූට (මැනීම* වැනි වංචනික ක‍්‍රම මගින් ධනය වැඩියෙන් නො ඉපයිය යුතු ය. වසංගත රෝග තත්ත්වය උද්ගතව පවතින මෙ සමයෙහි වෙළඳුන් විසින් මෙම වංචනික ක‍්‍රියා වැඩිපුර සිදු කරන බව පෙනෙයි. එය ධාර්මික වෙළඳාමක් නොවන අතර උපයන ධනය ද අධාර්මික වූවකි.

අනෙකුත් ධාර්මික රැකියා අතර කෘෂිකර්මාන්තය, දැහැමි රාජ්‍ය සේවය සහ ධාර්මික කර්මාන්ත පවත්වාගෙන යාම ප‍්‍රමුඛ වෙයි. එහෙත් කෘෂිකර්මාන්තයට නැඹුරුවන පිරිස නූතන ලෝකයේ ඉතා අල්ප ය. ලොව දැඩි ආහාර හි`ගයකට ගොදුරු වන්නේ කෘෂිකර්මාන්තයෙහි නියැළෙන පිරිස සීමිතවීම නිසා ය. ධාර්මික ව ධනය ඉපයූ තැනැත්තෝ 1. අත්‍ථි සුඛ (ධාර්මිකව ඉපයූ ධනයක් මා සතුය යනුවෙන් සතුටුවීම), 2.භොග සුඛ, (ඉපයූ ධනය නිවැරැදිව භුක්ති විඳින්නේ යැයි සතුටුවීම), 3. අනන සුඛ (ණය නොවී ජීවත් වන්නේ යැයි සතුටුවීම), 4.අනවජ්ජ සුඛ (සමාජ දෝෂාරෝපණවලින් තොරව ජීවත් වන්නේ යැයි සතුටුවීම) යන ප‍්‍රීතීන් හතර අනුභව කරති.

ඇතැම්හු ඉක්මනින් පොහොසත්හු වීමට අධාර්මික වෙති. ධනය ඉපයිය යුතු බව අනුමත කරන බුදුදහම එය කළ යුතු වන්නේ බමරා මල නො තලා රොන් ගන්නාක් මෙන් සමාජය නො පෙළා ය. (භමරස්සෙව ඉරීයතො භොගසන්නිචයං යන්ති). තව ද ධාර්මිකයාගේ ධනය තුඹසක් බඳින්නාක් මෙන් ක‍්‍රමයෙන් වර්ධනය කර ගත යුතු ය (භොගසන්නිචයං යන්ති වම්මිකො චූපචීයති).

ධාර්මික ව ඉපයූ ධනය කොටස් හතරකට බෙදා වියදම් කිරීමේ ප‍්‍රබල, විශ්ව සාධාරණ සහ අතිශය සාර්ථක ආර්ථික න්‍යායක් බුදු දහමේ ඇත.

ධනය ආරක්‍ෂා කිරීමට සහ උපයන ධනයෙන් උපරිම ප‍්‍රයෝජන ගැනීමට අල්පේච්ඡුතාව හෙවත් ජීවිතයේ සරල බව අනිවාර්යයෙන් ම පැවැති ය යුතු ය. බුදු දහම ධර්ම මාර්ග පෙන්වා දීම පමණක් කරන දර්ශනයක් නොව ක‍්‍රියාවෙන් ම තහවුරු කරන දහමකි. බුදුන්වහන්සේ මෙන් ම උන්වහන්සේගේ ශ‍්‍රාවක වූ ආර්ය මහ සංඝයා වහන්සේලා ද ආදර්ශයෙන් ම අදාළ ධර්ම කරුණු තහවුරු කර ඇත.

ධනය ඇති හෝ ධනය නැති කිසියම් පුද්ගලයෙකු සරල ජීවිතයක් ගත කරන විට සමාජයෙන් ඇතැම් පුද්ගලයින්ගෙන් විවිධ චෝදනා එල්ල වෙයි. ඒ අතර ලෝභයා, මසුරා, ලෝබකමින් ජීවත්වන්නා, තෘෂ්ණාබරිත පුද්ගලයා, මෙන් ම එදිනෙදා සමාජයේ භාවිත කරන විවිධ වදන්වලින් ගැරහීමටත්, ප‍්‍රතික්‍ෂේප කිරීමටත් පුරුදුව සිටිති. ලෝභකම සහ අල්පේච්ඡු බව සහ ඉතිරි කිරීම සැබැවින් ම වෙනස් ය. ලෝබයා කිසිවකුටත් නො දී තමාම සියල්ල භුක්ති විඳියි, මසුරා කිසිවකුටත් නොදෙයි තමාවත් ධනය භුක්ති නොවිඳියි. අල්පේච්ඡු බව යනු ධනය ඇති අයුරින් සරලව ජීවත්වීමයි.

ඉතිරි කිරීම යනු ධනය ඇති නැති සියලූ දෙනාම කරන කටයුත්තකි. එහෙත් අල්පේච්ඡු ජීවිතයක් ගත කරන්නා ඉතිරි කරන්නේ මතු කවරෙකුගේ හෝ ප‍්‍රයෝජනය සඳහා ය. එහෙත් ලෝභයා සහ මසුරා ඉතිරි කරන්නේ ඔහුගේ සුඛවිහරණය සඳහා පමණි.

මේ බව තහවුරු වන අපූරු කථා පුවතක් බෞද්ධ සාහිත්‍යයේ එයි. එක් සිටුදියණියකට වසර ගණනාවක් තිස්සේ පවත්නා හිසරදයක් වෙයි. වෛද්‍යවරුන් බොහෝ ප‍්‍රමාණයක් ප‍්‍රතිකාර කළත් එයින් සුවයක් නො ලබයි. දිනක් නව වෛද්‍යවරයෙක් ගෙන්වාගෙන ප‍්‍රතිකාර කරයි. එහි දී ඔහු සිටු දියණියගෙන් ගිතෙල් ප‍්‍රමාණයක් රැුගෙන හිසෙහි ගල්වන විට එයින් කුඩා ප‍්‍රමාණයක් බිමට පතිත වෙයි. මෙය දුටු සිටු දියණිය වහා සේවිකාවක් කැඳවා එය භාජනයකට එකතු කරන ලෙසට අණ කරයි. මෙය දකින වෛද්‍යවරයා තමාට අද කිසිදු මුදලක් නොමැතිව නිවසට යාමට සිදු වන්නේ ය. මේ සිටුදියණිය මහත් වූ ලෝභ තැනැත්තියක් යැයි සිතී ය. ප‍්‍රතිකාරය අවසන් විය. සිටු දියණියට සුවය දැනිණ‹. ඇය මසුරන් දහසක තිළිණයක් වෛද්‍යවරයාට පිරිනැමී ය.

අවසානයේ වෛද්‍යවරයා සිටු දියණිය කෙරෙහි අපැහැදීමට පත් හේතුවත් පැහැදීමට පත් හේතුවත් පවසන්නට විය. එහි දී තමා ප‍්‍රතිකාර කිරීමට පෙර සිතුවේ සිටු දියණිය අධික ලෝභ තැනැත්තියක් ලෙස බවත් පසුව එය එසේ නොවන බවත් ප‍්‍රකාශ කරන්නට විය. එහි දී සිටු දියණිය ප‍්‍රකාශ කර සිටින්නේ ඒ අපතේ ගිය ගිතෙල් ටික ස,තකුගේ හෝ ප‍්‍රයෝජනයට වටිනා බව ය. එයින් පෙනෙන්නේ ධනය හිමි සහ ධනය අහිමි සියලූ දෙනා විසින් ම ඉතිරි කිරීම සහ අල්පේච්ඡු බව ක‍්‍රියාවට නැගිය යුතු බවයි.

එය ලෝභකමක් හෝ මසුරුකමක් නොවන බවයි. එමගින් කවරෙකුට හෝ යහපතක් සිදුවෙයි. එබැවින් ඉතිරි කිරීම ජීවිතයට මහත් වූ ප‍්‍රයෝජන සලසයි. අතීතයේ සිංහල ගොවි ගෙවල්වල ගැමි කාන්තාව කුල්ලට සහල් ගෙන එයින් මිටක් ගෙන මුළුතැන්ගේ මුල්ලක තබා ඇති සහල් මුට්ටියට දැමීමේ පුරුද්දක් ඇති කරගෙන තිබුණි. එයින් අසරණ දුප්පතුන් පැමිණි අවස්ථාවල ඔවුන්ට දීමටත්, බත් ඉවීමට සහල් නොමැති විට දරුවන්ට කැද හදා දීමටත් ප‍්‍රයෝජනයට ගත්තා ය. එය ඉතිරි කිරීම මිස ලෝභකම හෝ මසුරුකම නො වෙයි. ගෙහිමියා මෙන් ම ගෘහණිය සතුව ද මේ වගකීම ප‍්‍රබලව ක‍්‍රියාවට නැගිය යුතු ය. ධනයෙන් මෙන් ම ආහාරවලින් උපරිම ප‍්‍රයෝජන ගැනීම ද ඉතිරි කිරීමට ප‍්‍රබලව බලපෑම් කරයි. දිවුල් කන්නාක් මෙන් ආහාර විනාශයට පත් නො කළ යුතුයි. අවශ්‍ය ප‍්‍රමාණය පමණක් ගත යුතුයි. දිවුල් ගසේ සියලූ ගෙඩි බිම හෙළා ඉඳුණු ටික පමණක් ගැනීමෙන් ළපටි ගෙඩි අපතේ යයි. එ බැවින් අවශ්‍ය ප‍්‍රමාණය පමණක් ගත යුතුයි. ධනය අවශ්‍ය දෙයට පමණක් වියදම් කළ යුතුයි.

ආහාර ගැනීම කුසේ ප‍්‍රමාණයට පමණක් ගත යුතුයි. මෙය ජීවිතයට මෙන් ම ආර්ථිකයට මහත් වූ ආදර්ශ සපයන්නකි (අප්පායො සමානො උළාරං ජීවිකං කප්පෙති. තස්ස භවන්ති චත්තාරො උදුම්බර කාදිකංචායං කුලපුත්තො භොගෙ භාදති) . ගෘහ ජීවිතය ගත කරන තැනැත්තා විසින් ආර්ථික සුරක්‍ෂිත බව පවත්වා ගැනීමට කරුණු පහක් යටතේ ක‍්‍රියාත්මක විය යුතු ය. 1.නට්ඨං ගවෙසෙන්ති (විනාශ වූ සම්පත් වේ නම් එය නැවත නගා සිටුවිය යුතු ය), 2.ජිණ්ණං පටිසංඛරොති (යම් දිරූ දෙයක් වේ නම් එය තවත් දිරාපත්වන්නට නො දී ප‍්‍රතිසංස්කරණය කළ යුතු ය), 3.පරිමිත පාන භොජනා (සම්පත්වල සීමාවත් තමන්ගේ අවශ්‍යතාවේ සීමාවත් දැනගෙන ආහාර-පාන මෙන් ම සෙසු සම්පත් පරිභෝග කළ යුතු ය), 4.භොග සුඛ (පමණ දැන ආහාර ගැනීම ශරීරය සහ සිත සැපවත් කරයි. කුස ගින්න වැඩි වූයේ යැයි උගුරට එන තෙක් ආහාර ගැනීමෙන් කුස පිරුණත් එයින් ශරීරයට සහ සිතට සැපයක් නො ගෙනෙන අතර අපහසුතාවක් ම ඇති කරයි. එ බැවින් ආහාර ගැනීමේ නිවැරැදි පිළිවෙත් අනුගමනය කළ යුතු ය. සම්පත් අපතේ නො දැමිය යුතු ය), 5. සීලවන්තං ඉත්‍ථිං වා පුරිසං වා ආධිපච්චේ ඨපෙති (කයත් වචනයත් විධිමත්ව පාවිච්චි කරන සිල්වත් ස්ත‍්‍රියක හෝ පුරුෂයකු හෝ නිවසෙහි අධිපති බව දැරිය යුතු ය) බුදු දහමේ දැක්වෙන මේ ආර්ථික ඉගැන්වීම් හමුවේ බෞද්ධයකුට තම ජීවිතය සකසා ගැනීම අපහසු නොවනු ඇත.

 වෙසක් පුර අටවක පෝය 

   වෙසක් පුර අටවක පෝය
අපේ‍්‍රල් මස 30 වැනි බ‍්‍රහස්පතින්දා අපර භාග 2.39න් පුර අටවක ලබා මැයි මස 1 වැනිදා සිකුරාදා අපර භාග 1.27න් ගෙවේ. සිල් සමාදන් විය යුත්තේ බ‍්‍රහස්පතින්දා ය. 

මීළඟ පෝය මැයි මස 6 වැනි බදාදා

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 30

Full Moonපසළොස්වක

මැයි 07

Second Quarterඅව අටවක

මැයි 14

Full Moonඅමාවක

මැයි 21

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]