තෙවලා බුදු වදන් අතරින් -63:
වෛද්‍ය උපදෙස් පිළිපැදීම
බුදුහිමියන් වදාළ පිළිවෙතයි
කොළඹ විශ්වවිද්‍යාලයේ
බෞද්ධ අධ්‍යයන අංශයේ
අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රාජකීය පණ්ඩිත,
ආචාර්ය
උඩුහාවර ආනන්ද හිමි
අතිශය දරුණු වසංගත රෝගයකින් මුළු ලොවම වසාගනිමින් තිබෙන අතර ලෝකවාස= සැමගේම දෛනික
ජීවිතය අර්බුදයට ලක්ව තිබේ. මෙම සාතිශය දුක්ඛදායක මෙහොතෙහි රෝග බිය හේතුවෙන් බොහෝ
දෙනා මහත් සන්තාපයට පත්ව තිබෙන අතර එයින් ඇතිකරන බිය හේතුවෙන් වික්ෂිප්තව විචාර
බුද්ධියෙන් තොරව කටයුතු කරනු දක්නට ලැබේ.
මෙම පසුබිම යටතේ බුදුරදුන් හා ශ‍්‍රාවක සංඝ රත්නය කායික සුවතාවය උදෙසා අනුගමන කළ
පිළිවෙත් වර්තමානයේ අවිචාරවත් ලෙස හැසිරෙන බොහෝ දෙනෙකුට වැදගත් වේ. බුදුරජාණන්
වහන්සේ මෙන්ම ශ‍්‍රාවක සංඝයාද මනස දියුණු කළ එමෙන්ම සියලූ කෙලෙස් ප‍්‍රහීණ කළ
උත්තමයන් වුවද කායික රෝගවලට අවශ්‍ය වෛද්‍ය උපදෙස් පිිළිපැද එයට අදාළ විවිධ ඖෂධ
මෙන්ම ප‍්‍රත්‍ය ආහාරපාන භාවිතා කිරීමෙන් සුවපත් වූහ. උන්වහන්සේලා කිසිවිටෙකත්
අවිචාරවත්ව කටයුතු නොකළහ. පිටක ග‍්‍රන්ථවල සඳහන්වන ජීවක වෛද්‍යවරයා බුදුරජාණන්
වහන්සේට මෙන්ම ශ‍්‍රාවකයන් වහන්සේලාට අවශ්‍ය වෛද්‍ය උපදෙස් නොමඳව ලබාදුන් අතර ඒ
සියල්ල පිළිපැදීමට බුදුරදුන් මෙන්ම ශ‍්‍රාවක පිරිස ද සූදානමින් සිටියහ. දිනක්
බුදුරජාණන් වහන්සේ විසින් තමන් වහන්සේගේ ශරීරයෙහි තුන්දොස් කිපීම හේතුවෙන් ආනන්ද
තෙරුන් අමතා විරේක බෙහෙතක් වැළඳීමට කැමැත්ත පළ කරන ලදී. ආනන්ද තෙරණුවෝ ජීවක
වෛද්‍යවරයා වෙත ගොස් බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙහි තුන්දොස් කිපී ඇති හෙයින් විරේක
බෙහෙතක් වළඳනු කැමතියැයි දැන්වූහ.
ජීවක වෛද්‍යවරයා ආනන්ද තෙරුන් අමතා වෛද්‍ය උපදෙස් ලබාදෙමින් තථාගතයන් වහන්සේගේ
ශරීරයෙහි තෙල් ගල්වා සම්බාහනය කොට මාංශ පේශී ලිහිල් කරන මෙන් දැන්වූහ. ආනන්ද
තෙරණුවෝ වෛද්‍ය උපදෙස් පරිදි දින කිහිපයක් තථාගතයන්වහන්සේගේ ශරීරයේ තෙල් ගල්වා
මාංශපේශී මොළොක්කොට ජීවක වෛද්‍යවරයාට ඒ බව දැන්වූහ. ඉන් අනතුරුව ජීවක වෛද්‍යවරයා
විසින් බෙහෙත් ගල්වන ලද උපුල් මල් මිටි තුනක් බුදුරදුන්ට සිඹීමට සලස්වා උන් වහන්සේට
තිස්වරක් මෘදු විරේචනයක් ඇතිකොට තුන් දොස් සමනය කිරීමෙන් අනතුරුව බුද්ධ ශරීරය
ප‍්‍රකෘති තත්ත්වයට පැමිණෙන තෙක් මෘදු ආහාර පමණක් වළඳන මෙන් උපදෙස් ලබාදී තිබේ (යාව
භන්තෙ භගවතො කායො පකතත්තො හොති අලං තාව යූසපිණ්ඩපාතෙන).
මෙම පුවත ඇතුළත් වන්නේ විනය මහවග්ගපාළි චීවරක්ඛන්ධකයේ ය. සර්වඥතා ඤාණයෙන් හෙබි
බුදුරජාණන් වහන්සේද, තමන් වහන්සේගේ බුද්ධ ශරීරයේ ඇතිවුණ තුන් දොස් සමනය කරගැනීම
සඳහා ජීවක වෛද්‍යවරයාගේ උපදෙස් පිළිපැදි බව මෙයින් තහවුරු වේ.
එක් දිනක් දේවදත්ත තෙරුන් අජාසත් රජු හා එක්ව කුමන්ත‍්‍රණය කොට බුදුරදුන් ඝාතනය
කිරීමේ අරමුණින් ගිජ්ඣකූට පර්වතයට නැග එහි පඳීමුල වැඩ සිටි තථාගතයන් වහන්සේගේ හිස
මතට ගලක් පෙරලී ය. එය වෙනත් ගලක ගැටීමෙන් කැඞී ගිය ගල්පතුරක් බුදුරදුන්ගේ ශ‍්‍රී
පාදයෙහි වැදී තුවාල විය. භික්‍ෂූන් වහන්සේලා තථාගතයන් වහන්සේගේ ඉල්ලීම පරිදි
නුදුරෙහි පිහිටී ජීවක වෛද්‍යවරයා විසින් බුදුරදුන්ට පූජා කළ අඹ උයනට බුදුරදුන්
රැගෙන ගියහ. එහි පැමිණි ජීවක වෛද්‍යවරයා තථාගතයන් වහන්සේගේ පාදයේ වූ තුවාලයට නිසි
පිළියම් යොදා සුවපත් කෙළේ ය. මෙම පුවත ඇතුළත් වන්නේ ධම්මපදට්ඨකථාවේ ජීවක කථා
වස්තුවේ ය.
බුදුරජාණන් වහන්සේ කෙරෙහි පමණක් නොව භික්‍ෂූන් වහන්සේලාගේ ද සෞඛ්‍යාරක්‍ෂාව සඳහා
ජීවක වෛද්‍යවරයා විසින් විවිධ අවස්ථාවල උපදෙස් ලබා දුන් අතර උන්වහන්සේලාගේ කායික
නිරෝගීභාවය වෙනුවෙන් බුදුරදුන් වෙතින් ශික්‍ෂා පද පැනවීමෙහිලා කටයුතු කළ අවස්ථා
විනය පිටකයේ අන්තර්ගත වේ. විශාලා මහනුවර වැසි භික්‍ෂූන් වහන්සේලා ප‍්‍රණීත ආහාර
වැළඳීමෙන් ස්ථූල ශරීර ඇත්තන් බවට පත්ව බොහෝ ලෙඩ රෝගවලින් පෙළෙමින් වාසය කළහ.
කිසියම් අවශ්‍යතාවක් වෙනුවෙන් විශාලා මහනුවරට ගිය ජීවක වෛද්‍යවරයා මෙසේ ස්ථූල ශරීර
හා බොහෝ ආබාධ සහිතව වෙසෙන භික්‍ෂූන් වහන්සේලා දුටුවේ ය. අනතුරුව බුදුරදුන් හමුවට
ගොස් භික්‍ෂූන් වහන්සේලා පෙරමෙන් නොව ප‍්‍රණීත භෝජන වළඳීමෙන් ස්ථූල ශරීර හා බොහෝ අබාධ
සහිතව වෙසෙන හෙයින් සක්මන හා ජන්තාඝරය අනුදැන වදාරණ මෙන් ඉල්ලා සිටියේ ය. ජීවක
වෛද්‍යවරයාගේ ඉල්ලීම කෙරෙහි කාරුණික වූ බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන්වහන්සේලාගේ ශරීර
සුවතාව වෙනුවෙන් සක්මන් මළුවද ජන්තාඝරයද අනුදැන වදාළහ. ඉන් අනතුරුව වරින් වර එම
ශික්‍ෂා පදයට අයත් කරුණු නැවත නැවතත් සංශෝධනය කරමින් විධිමත් අයුරින් සකමන් මළුවක්
හා ජන්තාඝරයක් සකස් කර ගන්නා ආකාරය පැහැදිලි කොට වදාළහ. මෙම පැනවීමෙන් අනතුරුව සැම
ආරාමයකම සක්මන් මළුවක් හා ජන්තාඝරයක් ආරාම ගොඩනැගිලි අතරට එක් විය. ජන්තාඝරය බෞද්ධ
ආරමවල ප‍්‍රධාන අංගයක් බවට පත්වූ අතර ඒ සම්බන්ධයෙන් අනුගමනය කළයුතු විධි නියමයන්
ඇතුළත් ජන්තාඝර වතක්ද හඳුන්වා දෙන ලදි. ජන්තාඝරයකින් සිදු කෙරෙන කාර්ය ආයුර්වේද
ප‍්‍රතිකාර හා සම්බන්ධය. උණු පැන් හා උණු ජල වාෂ්ප මගින් කායික රෝග නිවාරණය කිරීම
මෙමගින් සිදු වේ. වෛද්‍යවරයෙකු වශයෙන් ජීවක වෛද්‍යවරයා කළ මෙම උත්තම කාර්යය එකලට
මෙන්ම මෙකලටත් වැදගත් වේ.
ඔහු බුදු සසුනට ලැදි වෛද්‍යවරයෙකු වශයෙන් කළ මෙහෙවර ඉතා අගනේය. විනය පිටකයේ දැක්වෙන
ඉහත සිදුවීම් දෙක මගින් බුදුන් වහන්සේ මෙන්ම ශ‍්‍රාවක සංඝයා වෛද්‍ය උපදෙස් කෙරෙහි
දැක්වූ සැලකිල්ල පැහැදිලි වේ. ජීවක වෛද්‍යවරයා උන්වහන්සේලාගේ කායික නීරෝගි බව
කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වා තිබේ.
විනය හා අටුවාගත මෙම සිදුවීම්වලින් හෙළිවන කරුණ අපගේ රටට බෙහෙවින් වැදගත් වන්නේ මේ
වනවිටත් අප සමාජය දරුණු වසංගත රෝගයකින් පීඩා විඳින නිසයි. නික්ලේශී උතුමන්ද තමන්ගේ
කායික සුවය වෙනුවෙන් නිසි කල වෛද්‍ය උපදෙස් පිළි ගෙන කටයුතු කර තිබේ. බුදුරදුන්
අනුගමනය කරන බෞද්ධයන් වන අප ද අනුගමනය කළ යුත්තේ එම පිළිවෙතයි. ඉතා කඩිනමින් පැතිර
යන වංසගත රෝගයෙන් බේරීමට අවශ්‍ය උපදෙස් වෛද්‍යවරුන් විසින් නොමඳව සපයා තිබේ.
නුවණැති පුද්ගලයා විසින් කළ යුතු නිවැරදි දේ නම් එම උපදෙස් නොවළහා පිළිපැදීම ය.
එහෙත් අප අතර බොහෝ දෙනෙකු ඒ ගැන දක්වන්නේ ඉතා අඩු සැලකිල්ලකි. වෛද්‍ය උපදෙස්
නොපිළිපැද විද්‍යාත්මක වශයෙන් වැදගත් නොවන දෑ අනුගමනය කිරීමෙන් සිදුවන්නේ තවදුරටත්
වසංගත තත්ත්වය ව්‍යාප්තියට පත්ව මහජනතාව දුකට හා කරදරයට පත්වීමයි.
වෛද්‍ය උපදෙස් අනුව මූලිකව අනුගමනය කළයුතු එක් පිළිවෙතක් වන්නේ හැකිතාක් මහජනයා
රැස්වන ස්ථාන මඟහැර කටයුතු කිරීමයි. තනිව වාසය කරන මෙම අවදිය දහමට සිත යෙදවීමට
වඩාත්ම යෝග්‍ය කාලය වේ. තමඳී කෙරෙහි මෙන්ම දුකට හා වේදනාවට පත් ලෝකය කෙරෙහිද දිනපතා
මෙත් සිත පතුරුවමින් භාවනාවේ නිරත වීමට හැකි නම් එය ආධ්‍යාත්මික දියුණුවට හේතු වේ.
එසේම ධර්මයට සවන් දීමටත් කියවීමටත් මෙම කාලය ගත කරන්නට කල්පනා කරන්නේ නම් එයද
නුවණැති කාර්යකි. ධර්මය හා ජීවිතයේ යථා ස්වභාවය පිළිබඳ ගැඹුරින් ආවර්ජනය කිරීමත්
ධර්මානුකූල මානසික අභ්‍යාසයකි. ගස් සිටුවීම දිවා රැය පින් වැඩෙන පින්කමක් ලෙස වන
රෝප සූත‍්‍රයෙහි දැක්වේ. යම් කෙනෙකුට තම ගෙවත්තෙහි එවැනි ඵලදායි ක‍්‍රියාවක නිරත
විය හැකිය.
මේ අනුව ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් මිනිස් ජීවිතවලට හානි කරන වසංගත රෝගයෙන් තමා
මෙන්ම අන් අයත් බේරාගැනීමට උනන්දුවෙමින් බුදුරදුන් අනුගමනය කළ පිළිවෙත අනුව වෛද්‍ය
උපදෙස් මැනවින් පිළිපදිමින් දහමට ලැදිව සංයමයකින් යුක්තව වාසය කිරීම අප සැමගේ
යුතුකම හා වගකීම බව තේරුම් ගත යුතුව තිබේ. |