[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ආධ්‍යාත්මික සාමය හා සමාජ සාමය

ආධ්‍යාත්මික සාමය හා සමාජ සාමය

"ඇතැමෙක් බොහෝ ආශාවෙන් කරන දෙයක් තමයි අනුන්ගේ වැරදි, අඩුපාඩු සෙවීම. මෙයට කියන්නේ ඕපාදූප සෙවීම කියලයි. ලංකාවේ නම් බොහෝ දෙනා පඩි නැති ව කරන එකම රස්සාව තමයි ඒ."

බුදුරජාණන් වහන්සේ කියන්නේ කවරෙකුටදැයි සොයන්නෙකුට ත්‍රිපිටකාගත සූත්‍ර දේශනාවලින් ඒ සඳහා අශ්‍ය කරුණු රැසක් සොයා ගත හැකියි. අපි මෙහි දී බලාපොරොත්තු වන්නේ මධුපිණ්ඩික සූත්‍රයද  ඇසුරෙන් බුදුපියාණන් වහන්සේ යනු කවුරුන්ද යන පැනයට පිළිතුරු සැපයීමයි.

දිනක් බුදුපියාණන් වහන්සේ කිඹුල්වත් නුවර මහාවනය නම් ස්ථානයෙහි විවේකයෙන් වැඩ සිටියා. දණ්ඩපාණී නම් ශාක⋆ වංශිකයෙක් එතැනින් ඇවිද ගෙන යන්නට පැමිණියා. බුදුපියාණන් වහන්සේ දුටු දණ්ඩපාණී බුදුපියාණන් වහන්සේ වෙත පැමිණ උන් වහන්සේට ගරු සැලකිලි නොදක්වා .ශ්‍රමණ භවද් ගෞතමයාණන් වහන්සේ කුමක් කියමින් තැන තැන ඇවිදින්නේ. දැයි විමසුවා. එවිට බුදුපියාණන් වහන්සේ ඔහුට දුන් පිළිතුරුවලින් බුදුපියාණන් වහන්සේ යනු කවරෙක් ද, කුමක් කරන්නෙක් දැයි අපට වටහා ගත හැකි වෙනවා.

මෙහි දී බුදුපියාණන් වහන්සේ තමන් කවුදැයි යන්න කාරණා පහකින් විස්තර කර දෙනවා.

තමන් වහන්සේ ලෝකයෙහි කිසිවෙකුත් හා සමගින් පැටළෙන්නේ නැති බවත් (න කේනචි ලෝකේ විග්ගයිහ තිට්ඨති) විචිකිච්ඡා සහගත ව කුතුහලයෙන් යුක්ත ව කටයුතු නොකරන බවත්, සිඳ දමන ලද කුකුස් ඇති ව කටයුතු කරන බවත්, තණ්හාව නැති කළ බවත්, හඳුනා ගන්නා අරමුණු නිසා සිතෙහි කෙලෙස් තැන්පත් කර ගන්නේ නැති බවත්, ඒ අරමුණු නිසා කෙලෙස් අවුස්සා ගන්නේ නැති බවත් පැහැදිලි කර තිබෙනවා.

මේ අනුව බුදුපියාණන් වහන්සේ කිසිවෙකුත් සමඟින් ගැටෙන්නේ නැති, අවිහිංසාවාදී උත්තමයෙකි. යමෙක් යමෙකු සමඟ ගැටීමක් ඇති කර ගන්නේ නම් ඒ තැනැත්තා සිතෙහි ද්වේශය ඇති ව කටයුතු කරන්නෙකි. ද්වේෂය නැමැති අකුසල මූලය ගැටෙන පැටලෙන අයගේ සිතෙහි ඇතිවන සිතිවිල්ලකි. බුදුපියාණන් වහන්සේ කා සමගින්වත් ගැටෙන්නේ නැහැ යන ප්‍රකාශයෙහි ගම්‍යාය වන්නේ බුදුපියාණන් වහන්සේ ද්වේෂය නැති කළ බවයි. ද්වේෂය නැති කළ බුදුපියාණන් වහන්සේ අපට දේශනා කරන්නේ ද ද්වේෂය නැති කර ගන්නා ලෙසයි.

සත්ත්වයා බාහිර සමාජයට ප්‍රචණ්ඩත්වය හෝ දුරාචාරය මුදාහරින්නේ ආදධ්‍යාත්මික ව අසරණ වූ විටයි. තමන්ගේ සිතිවිලි පාලනය කර ගැනීමට තමන්ට ම නොහැකි වූ විටයි. ආධ්‍යාත්මික ප්‍රචණ්ඩත්වය ගොදුරු වෙන තැනැත්තා තරහාදී නරක සිතිවිලි මගින් පළමුව තමන් පීඩාවට පත්වෙමින් අනුන ද පීඩාවට පත්කරවයි. සත්ත්වයා කයින් සහ වචනයෙන් සමාජගත කරන දුරාචාරය පාලනය කර ගැනීමට නම් පළමු ව සිත පාලනය කර ගත යුතු බව වටහා ගත් බුදුපියාණන් වහන්සේ ද්වේෂය පාලනය කර ගැනීමට අපට උපදෙස් දුන්නා.

බුදුපියාණන් වහන්සේ කුතුහලයෙන් යුක්තව කටයුතු කළ කෙනෙක් නොවෙයි. එසේ කටයුතු කළ හැකි වන්නේ කාමයන්ගෙන් විසංයුක්තව කටයුතු කරන කෙනෙකුට පමණයි. සාමාන්‍ය‍ෙයන් මිනිසා අනුන්ගේ තොරතුරු දැනගැනීමේ ආශාවකින් යුක්තවයි කටයුතු කරන්නේ. විශේෂයෙන් ම අනුන්ගේ වැරදි ගැන සෙවීමට මිනිසාට ඇත්තේ නොතිත් ආශාවක්. ඒ ආශාව නිසා ම බොහෝ දෙනා විවිධ අර්බුදවල පැටළෙනවා. තමන් තුළ අපමණ වැරදි තබාගෙන අනුන්ගේ වැරදි සොයන්නට යාම නුවණැති ක්‍රියාවක් නොවෙයි. ඒ තුළ සිදු වන්නේ අනුන්ගේ දෝෂදර්ශනයට ලක්වීමයි. එය ද ගැටුම් ඇති වන්නට හේතුවක්.

ඇතැමෙක් බොහෝ ආශාවෙන් කරන දෙයක් තමයි අනුන්ගේ වැරදි, අඩුපාඩු සෙවීම. මෙයට කියන්නේ ඕපාදූප සෙවීම කියලයි. ලංකාවේ නම් බොහෝ දෙනා පඩි නැති ව කරන එකම රස්සාව මෙයයි. අනුනගේ ඕපාදූප සොයමින් වෙනත් අයට කියමින් රණ්ඩු සරුවල් ඇති කොට ඒවායෙන් තෘප්තියක් ලබන අවාසනාවන්ත පිරිසක් සමාජයේ සිටිනවා. ඒ අය සිදු කරන්නේ මුළු සමාජය ම විනාශය කරා ගෙන යාමයි. මිනිසාගේ ආධ්‍යාත්මික හා භෞතික වර්ධනය සමබරව පවත්වා ගෙන යාම බෙහෙවින් අපේක්ෂා කළ අපේ බුදුපියාණන් වහන්සේ නිරන්තරයෙන් ම ගැටුම් නැති සමාකාමී පරිසරයක් අපේක්ෂා කළා. ඒ නිසා ඕපාදූප සොයන්නට ඇති ආශාව අත් හරින්නට උපදෙස් දුන්නා. බුදුපියාණන් වහන්සේ අපට නිරන්තරයෙන් මතක් කර දුන්නේ තමා ව සොයන්න කියායි. (අත්තානං ගවේසෙය්යාථ) තමන් සෙවීමෙන් තමන්ගේ තරම තමාට ම වටහාගත හැකියි.

චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගත් බුදුපියාණන් වහන්සේ ඒ ආර්ය සක⋆ය ධර්මයන් ගැන නිසැක භාවයෙන් කටයුතු කළා. එසේ කළේ ඒ ආර්ය සත්‍යන් ප්‍රත්‍යක්ෂය වශයෙන් අවබෝධ කර ගත් බැවිනුයි. ඒ නිසා ම උන් වහන්සේට එම සත්‍රයන් පිළිබඳ ව කිසිදු සැකයක් ඇති වූයේ නැහැ. ප්‍රත්‍යක්ෂය තුළ සැක ඇති වන්නේ නැහැ. සැක ඇති වන්නේ අනුමානය තුළයි. බුදුපියාණන් වහන්සේ ශාස්තෘන් වහන්සේ නමක් ලෙසින් අපට මේ ආර්ය සත්‍යය ගැන දේශනා කළා. එසේ ම මා කියනා නිසා ම එය පිළිගත යුතු යැයි කෙදිනක වත් අපට බලපෑම් කළේ නැහැ. උන් වහන්සේ ධර්මය සම්බන්ධයෙන් අපට සිහිපත් කළේ එන්න බලන්න, (ඒහිපස්සිකෝ) මේ ධර්මය තමා තුළට ම ගෙන ප්‍රත්‍යක්ෂය කරන්න ( ඕපනයිකෝ) යනුවෙනුයි. ධර්මය පිළිබඳ ව නිසැකභාවය උපදවා ගත හැක්කේ එසේ ක්‍රියාකිරීමෙන් පමණයි.

සැකය සිත තුළ ඇති වන්නේ නොදැනුවත්කම නිසායි. නොදැනුවත්කමට වගකිව යුත්තේ තමාමයි. දැනුවත්වීම තමාගේ වගකීමකි. අන් අයට කළ හැක්කේ ඒ සඳහා මඟ පෙන්වීමක් පමණි. බුදුපියාණන් වහන්සේ නිවන් මඟ නොදන්නා අයට මඟ පෙන්වීම සිදු කළා. ශ්‍රාකයාගේ වගකීම වන්නේ එහි ගමන් කිරීමයි. නිවණ පිළිබඳ සැකය නැති කර ගත හැක්කේ ඒ නිවන් මගෙහි ගමන් කිරීමෙන් පමණි. බුදුපියාණන් වහන්සේ අපට මේ ධර්මය ප්‍රත්‍යක්ෂ කර ගන්න යැයි දේශනා කළේ ඒ තුළ අපේ සිතේ සැකය දුරු වන නිසාවෙනි. ශ්‍රේෂ්ඨ නායකයෙක් කිසි දිනෙක තමන්ගේ අනුගාමිකයන්ගේ සිත් තුළ සැක සංකා තබා ගන්නට දෙන්නේ නැහැ. විශේෂයෙන් තමන් ගැන හෝ තමන් පෙන්වන මඟ ගැන සැක සංකා ඇති කර ගන්නට දෙන්නේ නැහැ. ඒ සඳහා නිරන්තරයෙන් ම විවෘත භාවයකින් කටයුතු කරනවා. ඕනෑම තැනක විවෘත විය හැක්කේ තමන්ගේ අවංකකම නිසයි. තමන්ගේ නිවැරදි භාවය නිසයි. සැඟවිය යුතු කිසි දෙයක් බුදුපියාණන් වහන්සේට නොවූ බැවින් උන් වහන්සේ තම අනුගාමිකයන්ට විවෘත ව පැවැසූයේ මේ ධර්මය වෙතට අවුත් විමසා බලා පිළිගැනීම කරන ලෙසයි. ලෝකයෙහි බොහෝ ආගම් හා දර්ශන මතවාද බිහි කළ ආගමික නායකයන් හෝ එම දර්ශන මතවාද ප්‍රශ්න කිරීමට කිසිවෙකුටත් අයිතියක් ලබා දී නැහැ. නමුත් බුදුපියාණන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කළ ධර්මයෙහි ප්‍රත්‍යක්ෂ ඤාණයකින් කටයුතු කළ නිසාත්, එහි ඇති නිවැරදිභාවය නිසාත් එය කිසිවිටෙකත් අනුන්ගෙන් සඟවාළීමට උත්සාහ කළේ නැහැ. එය උතුම් ශාස්තෘවරයෙකුගේ වැදගත් ලක්ෂණයක්. ආර්ය සත්‍යය. ගැන නිසැක භාවයෙන් කටයුතු කළ බුදුපියාණන් වහන්සේ අපට ද ඉගැන්වූයේ සැකය දුරු කර ගන්නා ලෙසයි.

තණ්හාව නම් වූ චෛතසිකය බුදුදහමෙහි බොහෝ ගැඹුරින් විග්‍රහ වෙන දෙයක්. ලෝකය ම දුක මත පිහිටා තිබේ නම් ඒ දුකට හේතුව තණ්හාවයි. ඒ තණ්හාව බුදුපියාණන් වහන්සේ විසින් ක්ෂය කළා.

තණ්හාව ඇලීම සේම ගැටීම ද ඇති කරවන්නට හේතු වන සිතිවිල්ලයි. ලොව සිටින බොහෝ දෙනා කායික වාචසික සේම මානසික ව ද දුරාචාරකම්හි යෙදෙන්නේ මේ තණ්හාව පාලනය කළ නොහැකි නිසයි. සීලය හෙවත් කායික වාචසික සංවරය ඇති කර ගැනීම තුළ වන්නේ තණ්හාව පාලනය කර ගැනීමක්. මිනිසුන් සතුන් මරන්නේ, සොරකම් කරන්නේ, කාමය වරදවා හැසිරෙන්නේ, බොරු කියන්නේ, මත්වතුර බොන්නේ ඒ දේ කරන්නට ඇති ආශාව නිසයි. සිල් සමාදන් වී සිදු කරනුයේ ඒ ආශාව යටපත් කර ගැනීමයි. ඒ අර්ථයෙන් සීලය කියන්නේ තණ්හාව නැති කරන ප්‍රතිපදාවක්.

තණ්හාව ඇති නොවන ලෙසට සිල්වත්වීම තමයි නිවනටත් උපකාරී වන්නේ. යමෙක් තණ්හාව නැති වෙන ලෙසින් සිල්වත් වන්නේ නම් ඒ තැනැත්තා නිවණටත් සමීප වෙනවා සේ ම සමාජයටත් සලසන්නේ මහත් අස්වැසිල්ලක්. තණ්හාවෙන් තොර මිනිසා ලෝක සාමයට දක්වන්නේ මහත් දායකත්වයක්. ලෝක සාමය වෙනුවෙන් කටයුතු කළ බුදුපියාණන් වහන්සේගේ නිරන්තර ඉගැන්වීම වූයේ බාහිර ලෝකයේ සාමය ඇති කිරීමට නම් ආධ්‍යාත්මික ලෝකයේ සාමය ඇති කර ගත යුතු බවයි. ඒ සඳහා තණ්හාව ප්‍රධාන ක්ලේශ ධර්මයන් ප්‍රත්‍යාහණය කළ යුතු බව උන් වහන්සේ ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් යුතුව අපට පෙන්වා දුන්නා.

සිතිවිලිවලට ඇති බැඳීම හෙවත් හඳුනා ගන්නා අරමුණු සිතෙහි තැන්පත් කරගැනීම පුහුදුන් සත්ත්වයාගේ සාමාච⋆ සිරිතක්. එසේ සිතෙහි තැන්පත් වෙන, සිත කිළිටි කරන සිතිවිලිවලට කියන්නේ අනුසය ක්ලේශ කියලයි.

පුහුදුන් සිත තුළ කෙලෙස් නිරන්තරයෙන් ම තැන්පත් වෙලයි තියෙන්නේ. අරමුණු ඉන්ඬිංංන්ට ගොදුරු වූ විට ඒ අරමුණු හඳුනා ගැනීම තුළ තමයි අනුසය කෙලෙස් සිත තුළ නැඟී සිට ක්‍රියාත්මක වන්නේ. බුදුපියාණන් වහන්සේ මේ චිත්ත ස්වභාවය මනා ලෙස හඳුනාගෙන අපට ඉගැන්වූයේ හඳුනා ගන්නා අරමුණු නිසා සිතෙහි අලූ‍තින් කෙලෙස් තැන්පත් කර නොගන්නා ලෙස සහ තැන්පත් වී ඇති කෙලෙස් යළි යළිත් අවුස්සා නොගන්නා ලෙසයි. එසේ කරන්නට ගියහොත් වන්නේ සිතිවිලි ආවේග බවට පත් වී තමන්ගේ පාලනයෙන් තොර වී සත්ත්වයා කායික හා මානසික වශයෙන් විවිධ දුරාචාරකම්වලට පෙළඹෙන බවයි. එබැවින් මේ සිතිවිලි පාලනය හෙවත් සිතිවිලි කළමනාකරණය අතිශයින් ම වැදගත් කාරණාවක්.

බුදුපියාණන් වහන්සේ බොහෝ අවස්ථාවල දී අපට උපදෙස් දී තිබෙන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය යන ඉන්ද්‍රියය ගොදුරු වන රූපාදී අරමුණු ගොදුරු ,වද්දී ඒ තුළ කෙලෙස් අවුස්සා නොගන්නා ලෙසයි. සිතෙහි කෙලෙස් තැන්පත් කර නොගන්නා ලෙසයි. දුටු දේ දුටුවා පමණයි. ඒ තුළ කෙලෙස් ඇති කර ගන්නේ නැහැ යන අදහසින් යුතු ව අරමුණු පරිහරණය කරන්නේ නම් සිතෙහි කෙලෙස් තැන්පත් වන්නේ හෝ තැන්පත් ව තිබෙන කෙලෙස් ඇවිළී එන්නේ හෝ නැහැ. එසේ සිතෙහි කෙලෙස් ඇවිළ නොඑන්නේ නම් ඉන්ද්‍රියන්ට ඇති වන්නේ මහත් සන්සිඳීමකි. ඒ ආධ්‍යාත්මිකව සංහිඳියාවෙන් යුතු තැනැත්තා ලොවට ඇති කරන්නේ මහත් සැනසිල්ලක්.

බුදුපියාණන් වහන්සේ ලොවට මහත් සැනසිල්ලක් උදාකළ ශාන්ති නායකයාණන් වූයේ ද, ශාන්ති දායකයාණන් වූයේ ද ඒ ආධ්‍යාත්මික සංහිඳියාව නිසයි. ඒ මහා කාරුණිකයාණන් වහන්සේගේ අනුගාමිකයන් වූ අපට උන් වහන්සේට කළ හැකි ඉහළ ම ගෞරවය හා සැලකිල්ල වන්නේ උන් වහන්සේ විසින් පෙන්වා වදාළ මේ ආධ්‍යාත්මික සංහිඳියාව ඇති වන ගුණ ධර්ම අපගේ ජීවිතය තුළ හැඩ ගස්වා ගැනීමයි. එබැවින් මේ වෙසක් සමයෙහි ඔබේ සිත තුළ ද්වේෂයට ඉඩ නොදෙන්න. අනුන්ගේ වැරදි සෙවීමට ඇති ආශාවට ඉඩ නොදෙන්න. සැකයට ඉඩ නොදෙන්න. තණ්හාවට ඉඩ නොදෙන්න. හඳුනා ගන්නා අරමුණු නිසා සිතෙහි කෙලෙස් ඇතිවීමට හෝ තැන්පත්වීමට ඉඩ නොදෙන්න. එය ඉහළ ම බුද්ධ පූජාවක් වනු නොඅනුමානයි.

 වෙසක් පුර අටවක පෝය 

   වෙසක් පුර අටවක පෝය
අපේ‍්‍රල් මස 30 වැනි බ‍්‍රහස්පතින්දා අපර භාග 2.39න් පුර අටවක ලබා මැයි මස 1 වැනිදා සිකුරාදා අපර භාග 1.27න් ගෙවේ. සිල් සමාදන් විය යුත්තේ බ‍්‍රහස්පතින්දා ය. 

මීළඟ පෝය මැයි මස 6 වැනි බදාදා

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 30

Full Moonපසළොස්වක

මැයි 07

Second Quarterඅව අටවක

මැයි 14

Full Moonඅමාවක

මැයි 21

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2020 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]