Print this Article


සසුන් කෙත සුරකින කැඩපත

සසුන් කෙත සුරකින කැඩපත

"අප බොහෝ දෙනෙකු තුළින් දැකගත හැකි වන්නේ උඩඟුකම නමැති ප‍්‍රතිරූපයයි. සැබැවින්ම එය ප‍්‍රතිරූපයක් නොව අවතාරයකි. එය ඔබගේත් මගේත් ප‍්‍රතිරූපය වියහැකි දැයි සිතා බැලීම සුදුසු ය."

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ, ශී‍්‍ර සද්ධර්මය සහ ආර්යය මහා සංඝරත්නය යනු ත‍්‍රිවිධ රත්නයෝ ය. අප දිනපතා සජ්ඣායනය කරන රතන සූත‍්‍රයෙහි මෙම රත්න තුන හා සමාන රත්නයන් ලෝකයෙහි අවිද්‍යමාන බව සඳහන් වේ.

ශී‍්‍ර ලංකාව වූකලි බාහිර වශයෙන් පලිඟු වෛඩූර්ය ආදී භූමිගත රත්නයන්ගෙන් ද, ආධ්‍යාත්මික වශයෙන් ඉහත කී ත‍්‍රිවිධ රත්නයන්ගෙන් ද සමන්විත දේශයකි. එසේම අනේකවිධ දෙවි දේවතාවන්ගේ ද රැකවරණයෙන් සුරක්ෂිත මෙම දේශය බටහිර සංස්කෘතිය වැළඳ ගැනීම් හේතුවෙන් අනුක‍්‍රමයෙන් ව්‍යසනය කරා ගමන් කළ අයුරු ද අප දුටු සත්‍යයකි. ලෝක නීතිය හා ධර්ම නීතිය මායිම් නොකරමින් ජීවිතය ජය ගැනීමට උත්සාහ දරන ගිහි සමාජයක් මෙන්ම පැවිදි සමාජයක් ද ඒ අනුව නිර්මාණය විය. ලෝකයටම පොදු වූ මෙම තත්ත්වය මත ස්වභාව ධර්මයට මෙන්ම සතා සිවුපාවට ද සිදු වූයේ අපමණ හිරිහැරයකි. එහෙයින්ම ලෝකයේ මිනිස් ප‍්‍රජාව ලක්ෂ සංඛ්‍යාත ගණනින් ඉමහත් හිරිහැර හා ව්‍යසනවලට පත්වී සිටිති.

මෙම තත්ත්වය යටතේ බුදුදහම සුරකින ජාතියක් වශයෙන් භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා වශයෙන් සිව්වැදෑරුම් වන බෞද්ධ සමාජය සතු පරමාදර්ශී කාර්යභාරයක් වේ. ඒ සඳහා කළයුතු වන්නේ ශී‍්‍ර ලංකාවේ බුද්ධ ශාසනයේ නිරුපද්‍රිත පැවැත්ම සඳහා කළ හැකි දේ කිරීමයි. ස්වයං විවේචනය නමැති කැඩපත ඉදිරියෙහි පරීක්ෂාවට ලක්වීම මේ සඳහා අප විසින් කළ යුතු පළමු කාර්යභාරය වේ. එම කැඩපත ඉදිරියෙහි පෙනී සිටිහොත් ය. අප බොහෝ දෙනෙකු තුළින් දැකගත හැකි වන්නේ උඩඟුකම නමැති ප‍්‍රතිරූපයයි. සැබැවින්ම එය ප‍්‍රතිරූපයක් නොව අවතාරයකි. එය ඔබගේත් මගේත් ප‍්‍රතිරූපය වියහැකි දැයි සිතා බැලීම සුදුසු ය.

වර්තමාන ශාසනික චර්යාව තුළ උඩඟුකම ප‍්‍රබල ගැටලූවක් බව අමුතුවෙන් කිවයුතු නැත. නිරායාසයෙන් ලැබෙන අධික ලාභ සත්කාර, ධනය, ගරු බුහුමන්, සුවිසල් මැඳුරු ආදිය හේතුවෙන් එකිනෙකා ඉමහත් ලෙස උඩඟු වී සිටිති. එබැවින්ම ඔවුහු බෞද්ධ සමාජය තුළ පැවති වැඩිහිටියන් විෂයෙහි වැඳීම් පිදීම්, දැක හුනස්නෙන් නැගිටීම්, ගරු බුහුමන් කිරීම්, සතුටු සාමීචියෙහි යෙදීම්, අනෙකාගේ දුකෙහි දුක්වීම් ආදී මනුෂ්‍ය සාරධර්ම නොතකා හරිති. බුදුන් වහන්සේ අනුදැන වදාළ සීලමය සංවරය ජීවිතයේ පදනම සේ නොතකා කටයුතු කරති. තවද මෙම උඩඟකම කෙතරම් බලගතු වී ඇද්ද යත් ඇතැම්හු අනාගත වක්තෘවරයෝ ය. තමාට ඉහළින් වෙනත් කෙනෙකුන් නැති බවත් තමන් ගනුදෙනු කරනුයේ දෙවියන් සමඟ පමණක් බවත් කියති වදාරති.

ඇතැම්හු ගෞතම බුදුරදුන්ටත් ඉහළින් සිටින බුදුවරුන් සේ පෙනී සිටිති. මෙම ඛේදවාචකය යටතේ අපට කළ හැක්කේ කුමක් ද? දරුණු මානසික ව්‍යාධියකින් පෙළෙන සමාජ මය ගොහොරුවකට අප වැටී ඇති බව ඉතා පැහැදිලි ය. එසේනම් මෙවන් පසුබිමක ශාසන හිතකාමී මිනිසුන් විසින් කළ යුතු පළමු කාර්යයක් වන්නේ මමත් එම ව්‍යාධියෙන් පෙළෙන්නෙක් දැයි ස්වයං විවේචනයක යෙදීමයි.

දෙවන කරුණ වන්නේ වන්දනා මානයන්හි යෙදීමයි. භෞතික ලෝකය පිළිබ ඳව ඉගෙනුම ලබන අපගේ උගත්කම අප මිථ්‍යාවෙහි ගිල්වා ඇත. දැනුමෙන් සියල්ල කළහැකි යැයි සිතන සමාජයක් නිර්මාණය වී ඇත. එනිසාම ගුරු දෙගුරුන්ට පමණක් නොව බුදු රජාණන් වහන්සේටවත් වැ`දීම අත්‍යවශ්‍ය කරුණක් නොවන බව ඇතැම්හු සිතති. පැරණි යතිවරයන් වහන්සේලා දිනකට පැය දෙකක් තරම් කාලයක් බුද්ධ වන්දනාව සඳහා කැප කළහ. එහෙත් අද ඇතැම් වෙහෙර විහාරවලින් පවා එම උතුම් පිළිවෙත බැහැර වී ඇති බව සංවේගයෙන් වුවත් කිව යුතුව ඇත. වාසනාවකට මෙන් ඇතැම් යතිවරු දැනට ද මෙය ඉටු කරති. එබැවින් අප යළි යහපත් අනාගතයකට පිය මනින්නේ නම් උතුම් බුද්ධ පුත‍්‍රයන් වහන්සේලා විසින් කරනු ලබන මෙබදු සත් චාරිත‍්‍ර ඉමහත් ශ‍්‍රද්ධාවෙන් යුතුව වඩා වර්ධනය කළ යුතුව ඇත. කුමක් නිසාද යත් ශ‍්‍රද්ධාව අපගේ මනුෂ්‍යත්වය ආරක්ෂා කරන ප‍්‍රධාන ගුණාංගය වන හෙයිනි.

තථාගතයන් වහන්සේ දැකීම තෙවැන්නයි. මහණෙනි, ‘යමෙක් ධර්මය දකින්නේ නම්, ඔහු මා දකින්නෙකි‘ යැයි වරක් බුදුන් වහන්සේම පැවසූහ. ඒ අනුව බෞද්ධ ශ‍්‍රාවකයා නිබඳවම තථාගත ධර්මය හදාරා එය තේරුම් ගෙන ඒ තුළින් තථාගත බුදුපියාණන් වහන්සේ දැක ගැනීමට වෑයම් කළ යුතු ය. විශේෂයෙන් සංඝ සංස්ථාව නියෝජනය කරනු ලබන බුද්ධ පුත‍්‍රයන් වහන්සේ නමක් නම් තමා තථාගත ධර්මය ඇතුළත් ත‍්‍රිපිටකය කියවන්නෙක්් දැයි ස්වයං විවේචනයක් කළ යුතු ය. එසේ නොමැත්තේ නම් එය ජීවිතයේ විශාල අඩුවක් බව තේරුම් ගත යුතු ය. තථාගත ධර්මය නො හැදෑරීමෙන් ලබන දැනුම ධර්මයෙන් ප‍්‍රතිබල සම්පන්න නො වූවකි. යමෙක් එසේ බුද්ධ වචනය නොදන්නේ නම්, ඔහු දන්නේ ලෙනින්, ඇරිස්ටෝටල්, මහත්මා ගාන්ධි, ෂේක්ස්පියර් හෝ එබඳු වෙනත් යමෙකුගේ දේවල් පමණක් නම් ඔහු බුද්ධ වචනය දෙසීමට හෝ ඊට විවරණ සැපයීමට සුදුස්සෙක් ද නොවේ. එබැවින් ශී‍්‍ර ලංකාවේ ශාසනික උන්නතිය සඳහා කැප වූ යම් ගිහි වූ හෝ පැවිදි වූ හෝ ස්ත‍්‍රී වූ හෝ පුරුෂ වූ හෝ ශ‍්‍රාවකයෝ වෙත් නම් ඔවුහු ත‍්‍රිපිටක බුද්ධ වචනය මැනවින් හැදෑරීමට උත්සුක වෙත්වා.

සිව්වැන්න මිථ්‍යා ආජීවයෙන් ඉවත්වීමයි. මෙය වෙනත් විධියකින් කිවහොත් බුදුරදුන් අකැමැති අනුමත නොකළ දේ නො කර සිටීමයි. හොරකම හා බොරුව මූලික කොටගෙන සමාජයේ බොහෝ අය බොහෝ තිරශ්චීන විද්‍යාවන්ගෙන් ජීවනෝපාය සලසා ගනිති. පුද්ගල ප‍්‍රතිරූප සාදා ගනිති. මෙය ආත්ම වංචාවක් මෙන්ම සමාජ අපරාධයක් වේ. එබඳු ජීවිත ඇති පුද්ගලයන් වෙතින් සම්බුද්ධ ශාසනය එළියක් නො ලබයි. හුදෙක් ඔවුහු සම්බුද්ධ ශාසනය කෙළෙසන්නෝ ය. වැරදි පූර්වාදර්ශ සැපයීමෙන් පශ්චාත් සමාජය නොමගට හෙළන්නෝ ය. මෙය මෙලොව වශයෙන්ම තමා අපාගතවීම සඳහා සයනය කිරීමට අවශ්‍ය තම මිනී වළ හාරා ගැනීමක් බඳු ක‍්‍රියාවකි. තමන්ගේ ජීවිතයට වචනයට හා ක‍්‍රියාවට වටිනාකමක් දිය නොහැකි මිනිසෙකුට සම්බුද්ධ ශාසනයට ආලෝකයක් සැපයිය නොහැකි බව ද තේරුම් ගත යතු කරුණකි.

බුදු දහම වූකලි අනන්ත අපරිමාණ ව්‍යසනයන්ගෙන් පෙළෙන ලෝකයට නිසැක ශාන්තියක් වන දහමක් බැවින් බුදු දහම සුරැකීම විෂයෙහි අපගේ යුතුකම නිසි පරිදි ඉටු කරමු. එම අදහස මුදුන් පමුණුවා මානසික දරදඬු භාවයෙන් නිදහස්ව පළමුව තමා තේරුම් ගැනීම සඳහා ඉහත දැක්වූ කරුණු ආශ‍්‍රයෙන් ස්වයං විවේචනයක නිරත වන්නේ නම් ඔබ සත්පුරුෂ මිනිසෙකු වනු නො අනුමාන ය.