Print this Article


හෙට රට බබළවන මිණිමුතු

හෙට රට බබළවන මිණි මුතු

'"දරුවාට පරිසරයට ආදරය කරන්න, එය රැකගන්න ආදර්ශය දීමට මේ අවස්ථාවම ආරම්භයක් කරගත යුතු ය. තථාගතයන් වහන්සේ අගය කළේ සරල ජීවිතයයි. උන් වහන්සේ අරපිරිමැස්ම අගය කළහ. අධි පරිභෝජනවාදය රදැට්ක්ෂේප කළහ. අරපිරිමැස්ම යනු ලෝබකමවත් කුම්මැහිකමවත් නොවේ."

ජීවන සටන ගෙන යාමේ කාර්ය බහුලත්වයත් සමඟ අපේ සමාජයේ බොහෝ මවුපියන්ට තම දරුවන් හා සමඟ කාලය ගත කරන්නට වේලාව අහිමි විය. වසර ගණනාවක සිටම මේ තත්ත්වය බරපතළ සමාජ ප්‍රශ්නයක් බවට පත්ව තිබුණි.

එහෙත් දරුවන්ගේ ස්වභාවය, වටිනාකම හොඳින් අවබෝධ කරගත් තවත් මවුපියවරු මොන තරම් කාර්ය බහුල තත්ත්වයක දී වුවද දරුවන් ගැන සොයා බලන්නට, ඔවුන් සමඟ ගත කරන්නට හැකි වන ලෙස වැය කටයුතු කළමනාකරණය කර ගත්හ. එයින් හැඟී යන්නේ නම් ඕනෑකම ඇති ඕනෑම කෙනෙකුට දරුවන් වෙනුවෙන් කැපකිරීම් කළ හැකි බව ය.

බෞද්ධ මවකට පියකුට ඇවැසි බෝසත් දරුවෙකි. ගුණධර්ම හඳුනන, යහපත් හැසිරීම් ඇතිි, ශික්ෂණයෙන් හෙබි සංවේදී දරුවෙකි. තවත් ලෙසකින් කියනවානම් නැණ ගුණ සපිරි පිරිපුන් දරුවෙකි. හෙට දිනයේ රට බබළවන්නේ ද මිණි මුතු වැනි එවැනි දරුවන් ම ය. ඔවුහු තමන්ට ද, අනුන්ට ද හිතකාමී වෙති. ගහට කොළට, සතා සීපාවාට ද රැකවරණය සලසති. මේ මිහිකත, වායුගෝලය, ජල සම්පත අපිරිසිදු නොකරති. ඒ නිසාම සුවසේ දිවි ගෙවති. ඔවුන් වෙනුවෙන් සොබා දහමද කිසිදු විටෙක උරණ වන්නේ නැත. මෙවැනි දරු පිරිසක් රටට දායාද කරන්නට නම් තමන්ගේ

දරුවන් හෙට දිනයේ සුවසේ ජීවත් වනු දකින්නට නම් වැඩ - වැඩ කියමින් වැඩ පසුම දිව යාම සුදුසු නැත. අප කැපකිරීම් කළ යුතුම ය. සියල්ල කරන්නේ, බොහෝ දෙනෙක් පවසන ලෙස දහ දුක් විඳින්නේ දරුවන් වෙනුවෙන් නම් දරුවාගේ සිරුර පෝෂණය කලාට ප්‍රමාණවත් නැත. අධ්‍යාපනය ලබා දුන්නාට ද ප්‍රමාණවත් නැත. සිරුරත් බුද්ධියත් පමණක් ජීවත්වීමට රදැමාණවත් නැත. හදවත ද පෝෂණය කළ යුතු ය. ඒ තුළ ගරු කළ යුත්තාට ගරු කරන්නට, අසරණයන්ට පිහිට වීමට, වැඩිහිටියන්ට සැලකීමට, අනුන්ට කරදරයක් නොවන ලෙස ජීවත්වීමට, අනුන් වෙනුවෙන්, පරිසරය වෙනුවෙන් සංවේදී වීමට, කරුණාව මෛත්‍රී වැනි සිතුවිලි ඇති කරවීමට ආදර්ශය දිය යුතුම ය. ඒ මවුපියන් විසිනි.

මේ දිනවල අම්මාට තාත්තාට දරුවන් වෙනුවෙන් වෙන් කරන්නට ඕනෑ තරම් කාලය ඇත. ඒ නිවසින් බැහැර නොවන නිසා ය. දරුවෙකුට ආදර්ශය දෙන්නට මේ කාලය තුළ නිසි ආරම්භයක් දීමට පුළුවන. දිනපතා දරුවන් සමඟ එක්ව බුද්ධ වන්දනාව සිදු කරන්න. ඒ සඳහා හොඳින් පිරිසුදු වී මල් නෙළාගෙන පහන් සුවඳ දුම් සූදානම් කරගෙන දරුවාත් සමගම එකට වන්දනාව සිදු කරන්න. ඒ සඳහා සූදානම් වීමේ සිටම දරුවාගේ සිතෙහි පහන් සිතුවිලි වර්ධනය වනු ඇත. ගාථා පාඨ දන්නේ නැතිනම් සුදුසු පොතක් බලාගෙන ගාථා කියන්න. මෙය දරුවාගේ ජීවිතයට ඉතා වටිනා පුරුද්දකි. මවුපියන් ක්‍රියාවේ නොයෙදී දරුවාට වැඩ පැවරුවද කිසිවිටෙකත් නිසි ප්‍රයෝජන ලැබෙන්නේ නැත. දරුවාගේ ස්වභාවය මවුපියන් අනුකරණයයි. එහෙයින් අවවාදයට වඩා ආදර්ශය වැදගත් ය. බුද්ධ වන්දනාවෙන් පසු භාවනාවකට යොමු කිරීම දරුවාගේ ජීවිතයට ඉතා ප්‍රයෝජනවත් ය. මෛත්‍රී භාවනාව, ආනාපානසති භාවනාව සුවිශේෂී ය.

අධ්‍යාපනය ලබන දරුවකුට නම්, ආනාපානසති භාවනාව පුරුදු පුහුණු කරවීම ඉතාමත් සුදුසු ය. ඒ මේ අත දුවන විසිරෙන සිත එක අරමුණකට රඳවා තබා ගැනීමයි ආනාපානසතියෙන් කියා දෙන්නේ. මෙහිදී සිදු කෙරෙන්නේ සමහර අය පුරුදුවී සිටින ලෙස ගැඹුරට හුස්ම ගැනීම නොවේ. මම සිහියෙන් යුතුව හුස්ම ඉහළට ගැනීම සිදුවන බව දනිමි‘. මම සිහියෙන් යුතුව හුස්ම පහළට ගැනීම සිදු වන බව දනිමි. නුවණින් දකිමි‘. යනුවෙන් භාවනා කළ යුතු වේ. මෙහිදී හුස්ම ඉහළට ගැනීම හුස්ම පහළට හෙළීම ඕනෑකමින් කරන්නේ නැත. ඉබේ සිදුවන සිදුවීම දෙස සිහි නුවණින් බැලිය යුතු ය. සාමාච⋆යෙන් අපි උපන් මොහොතේ සිටම ආශ්වාස ප්‍රාශ්වාස කරමු. මේ භාවනාවේ දී දරුවෙකු විසින් කළ යුතු ගැඹුරට නොගොස් ඒ කෙරෙහි සිහිය යොමු කිරීමයි. බෝසත් දරුවෙක් පරිසරයට කිසිදු විටෙක වින කරන්නේ නැත. නුසුදුසු තැනක කෙළපිඬක් හෝ හෙළන්නේ නැත. කැළිකසල තැන තැන බැහැර කරන්නේ නැත. දරුවා ඒ ආදර්ශය ගන්නේ මව්පිය වැඩිහිටියන්ගෙනි. එහෙත් සමහර මවුපියන් දරුවන් සමඟම පැමිණ මහමඟ කැළිකසල විසුරුවා යන ආකාරය අපට අලූ‍ත් අත්දැකීමක් නොවේ.

අද අප මුහුණ දී සිටින භයානක වසංගත රෝග තත්ත්වය පරිසරය විනාශ කිරීමේ ප්‍රඵලයකි. මේ නිසා දරුවාට පරිසරයට ආදරය කරන්න, එය රැකගන්න ආදර්ශය දීමට මේ අවස්ථාවම ආරම්භයක් කරගත යුතු ය. තථාගතයන් වහන්සේ අගය කළේ සරල ජීවිතයයි. උන් වහන්සේ අරපිරිමැස්ම අගය කළහ. අධි පරිභෝජනවාදය ප්‍රතික්ෂේප කළහ. අරපිරිමැස්ම යනු ලෝබකමවත් කුම්මැහිකමවත් නොවේ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ තම පිඟානට ආහාර බෙදා ගන්නා විට දී පවා තමන්ට ප්‍රමාණවත් පරිදි බෙදා ගත යුතු බව ය. කෑම අනා පැත්තකට දැමීමට, විසි කිරීමට නොවේ. සකසුරුවම ඉතා වැදගත් ය. එමෙන්ම මුදල් හරිහම්බ කිරීමට අම්මා තාත්තා දරන වෙහෙස අප්‍රමාණය.

එසේ ඉපයූ මුදලින් දෙන ,පොතපත,පෑන පැන්සල විනාශ කරනවා නම්, සකසුරුවමින් පරිහරණය නොකරනවානම් ඒ දරුවාගේ අනාගතය ද නාස්තිකාර ය. අද අපට කොරෝනා උවදුර පවා සකසුරුවම් විය යුතු බවට හොඳ පාඩමක් උගන්වා තිබේ. මේවා දරුවන්ට ඉගැන්විය යුතු ය. බලා හැදෙන්නට ආදර්ශය දිය යුතු ය. මවුපියන්ට තරම් තම දරුවන්ට මුලූ‍ හදවතින්ම ආදරය කරන සෙනෙහස තවත් දක්වන කෙනෙක් නැත. ඔවුන් දරුවන්ට ජීවිතය ගැන කියා දිය යුත්තේ තමන් ජීවිතයේ ලද අත්දැකීම් ද පදනම් කරගෙනය.

විවිධ අර්බුදවලට මුහුණ දුන් සැටි අර්බුදයන් පැන නැඟු‍ණු අවස්ථාවකදී බොහොම ඉවසීමෙන් කටයුතු කර සැනසීම ලද හැටි, ඒ සෑම දෙයක්ම දරුවාට කියා දිය යුතු ය. එවිට එය දරුවාගේ හදවතට දැනේ. එය වතාවත් දෙකක් නොව නිරන්තරයෙන් කළ යුතු දෙයකි. ඒ සඳහා හොඳ අවස්ථාවක් තෝරාගැනීම, දරුවා ඒ මොහොතේ සිටින ස්වභාවය හඳුනා ගැනීමට මවුපියන් දක්ෂ විය යුතු ය. එහිදී, එදා අපි මේ ගැටලූ‍වලදී එකට එක ක්‍රියා කළා නම්, විරුද්ධව නැගී සිටියා නම්, නො සැලකිල්ලෙන් කටයුතු කළා නම්, අද අපට අත්වන ඉරණම අමුතුවෙන් කියන්න ඕනෑ නේද? ආදී ලෙස දරුවා සංවේදී වන ලෙස තමන්ගේ ජීවිතයට ද ඒ කරුණු වලින් ආදර්ශයක් උපදේශයක් ලබා ගැනීමට හැකිවන ලෙස පෙන්වා දිය යුතු ය. පෞද්ගලිකව තමන්ට, තමන්ගේ පවුලට, සමාජයට ඉදිරි ගමනක් තිබෙන්නේ යුතුකම් වගකීම් අනුව ය. තමන්ගෙන් තමන්ට ඉටුවිය යුතු කාර්යභාරයක් තිබේ.

හොඳ අධ්‍යාපනයක් ලැබීම, හොඳ ගුණධර්ම පුරුදු පුහුණු කිරීම, බුද්ධිමත් වීම ඒ අතර ප්‍රධාන ය. ඒ වගේම තමන් මව්පියන්ට ආදී ලෙස විවිධ වයස්වලදී තමන්ගෙන් පවුලට, සමස්ත සමාජයට ඉටුවිය යුතු යුතුකම් තිබේ. වගකීම් තිබේ. අද අපේ රටේ වුවද වැඩිහිටි නිවාස මොනතරම් තිබෙනවාද? ළමා නිවාස මොනතරම් තිබෙනවාද? තමන්ගේ යුතුකම් වගකීම් හරියට ඉටුවනවා නම් අසරණ මවුපියන් මහමඟට වැටෙන්නේ නැත. මේ නිසා කුඩා කාලයේ සිටම තමන් යුතුකම් කරන ආකාරය වගකීම් ඉටුකරන ආකාරය අනුන් වෙනුවෙන් සංවේදී වන ආකාරය දරුවාට ඇසෙන්නට පෙනෙන්නට ආදර්ශය දිය යුතු ය.

ඉහිරුණු කිරට හඬා පලක් නැතිවා සේ හැදිය යුතු වයසේ, හදාගත හැකි වයසේ දරුවන් නොහදා ඔවුන් වැඩිහිටියන් වූ පසු යහපත බලාපොරොත්තු වීම නම් ඵල රහිත ය. ඕනෑම දරුවෙක් බෝසත් දරුවෙක් බවට පරිවර්තනය කළ හැකි ය. ඒ කුඩා වයසේදීම ය. ඒ වගේම ආදර්ශයෙන් ම ය. විශේෂයෙන් තමන්ගේ ආගමානුකූලව දරුවාට ආදර්ශය දීම තුළ දරුවා විසින් අයහපත නිර්මාණය වන්නේ නැත.