Print this Article


බෞද්ධ සංස්කෘතියයි සිංහල අලූත් අවුරුද්දයි

බෞද්ධ සංස්කෘතියයි සිංහල අලූත් අවුරුද්දයි

කෘෂි අර්ථ ක‍්‍රමයක් හා බෞද්ධ උරුමයක් පවතින අප රටේ මහා සංස්කෘතික මංගල්‍යය සිංහල අලූත් අවුරුද්දයි. බක් මාසයේ සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කිරීමේ අවස්ථාව යෙදෙන දිනය සිංහල හා දමිළ ජනයා නව වසර උදාවන දිනය ලෙස සමරති.

අතීතයේ සිටම ශ‍්‍රී ලංකාවේ පැවති මහා කලා මංගල්‍යයකි සිංහල අලූත් අවුරුද්ද. කෘෂි කාර්මික කටයුතු හා බැඳුණු විශ්වාස, සිරිත් විරිත් හා චාරිත‍්‍ර වාරිත‍්‍ර මෙහි දී ප‍්‍රධාන වේ. ප‍්‍රීතිය සතුට සැමරීමත් විවිධ ජන ක‍්‍රීඩාවල නිරත වීමත් මෙම උත්සවය හා බද්ධව පවතී.

සිංහල බෞද්ධයන් අවුරුද්ද සැමරීමේ දී ප‍්‍රමුඛත්වය දෙනු ලබන්නේ බෞද්ධ සංස්කෘතිය විසින් උරුම කර දෙනු ලැබූ සිරිත් විරිත්වලට ය. රටේ බහුතර ජනතාව සිංහල බෞද්ධ ජනයා බැවින් බෞද්ධ සංස්කෘතියට අනුව හෙළ සංස්කෘතිය නිර්මාණය වී තිබේ.

සිංහල අලූත් අවුරුද්ද උදාවීමට පෙර හා උදා වූ පසු වශයෙන් අවස්ථා දෙකකදී බෞද්ධයන් සඳ බලති. එනම් එක් වරක් පරණ අවුරුද්දට ය. අනෙක් වර අලූත් අවුරුද්දට ය. නව සඳ බැලීම අනාදිමත් කාලයක සිට පැවතෙන සිරිතකි. සීගිරිය නැරඹීමටට පැමිණි පුද්ගලයෙකු සිගිරිය නරඹා කැටපත් පවුරෙහි ලියන ලද ගීයක මෙසේ සඳහන් කොට තිබේ. ‘නව බග් ල සන්ද්’ යනුවෙන් තමා බක් මාසයේ නව සඳ දුටු බව මහත් අභිමානයෙන් සඳහන් කොට තිබීමෙන් ඒ බව මනාව පැහැදිලි වේ.

සිංහල අලූත් අවුරුදු චාරිත‍්‍ර ඇරඹෙන්නේ නානු මුර මංගල්‍ය නමින් හැඳින්වෙන ඉස් සෝදා නෑමේ චාරිත‍්‍රයෙනි. ස්නානයට ප‍්‍රථම දෙහි ඇඹුල් සඳුන් ආදී මිශ‍්‍රණයකින් හිස සේදීම මෙහි දී කෙරෙන විශේෂ චාරිත‍්‍රයයි. මෙය අවුරුද්ද උදාවීමට දින දෙක තුනකට කලින් සිදුකරනු ලබන චාරිත‍්‍රයෙකි. සමහර ප‍්‍රදේශවල බෞද්ධ විහාරස්ථානවල බුදු පිළිම වහන්සේ පවා නානුමුර මංග්‍යයයට ස්නානය කරවීමේ චාරිත‍්‍රය සිදු කරනු ලබයි.

පරණ අවුරුද්දේ වැඩ අත්හැරීම කෙරෙන්නේ ද නැකතකට ය. ඉන් පසු උදා වන්නේ සංක‍්‍රාන්ති සමයකි. සුබ නැකත් නැති එම කාලය නොනගතය වශයෙන් හැඳින් වේ. නොනගතය පුණ්‍ය කාලය ලෙස ද හඳුන් වනු ලබන අතර එම කාලය තුළ වෙහෙර විහාරස්ථානවලට ගොස් මල් පහන් පුදා පින්දහම්වල යෙදීම සිරිතයි. උදාවන නව වර්ෂයට තෙරුවනේ ආශිර්වාදය ප‍්‍රාර්ථනා කරමින් බෞද්ධයන් ස්වකීය ගමේ පන්සලට ගොස් ආගමික කටයුතුවල නිරත වෙමින් කටයුතු කරනු ලබති. විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලාට ද වන්දනා කොට උන්වහන්සේලාගේ ආශිර්වාදය ලබා ගැනීමට ක‍්‍රියා කරති. විශේෂයෙන්ම විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා ද තම දායකයින්ට අලූත අවුරුද්දට පිරිත් ගාථාවකින් ආශිර්වාද කරනු දක්නට ලැබේ. සිංහල බෞද්ධයා අලූත් අවුරුද්දට නිවසේ සාදන ලද කැවිලිවලින් කොටසක් බුද්ධ පූජාව සඳහා වෙන් කිරීමටත් විහාරස්ථානයට පූජා කිරීමටත් පුරුදුව සිටිති.

අලූත් අවුරුද්ද නිමිති කොට ගෙන ගේ දොර අලූත් වේ. කැඩි බිඳී ගිය ළිප්ගල් අලූතින් බැඳ කුස්සිය අලූත් අවුරුද්දට සුදානම් කරනු ලබයි. අලූත් අවුරුද්ද උදා වන විට අලූතින් ළිප ගිනි මොළවා, අලූත් සහලින් , අලූත් වළඳක, අලූත් බතක් පිසින්නට සුදානම් කෙරේ. අලූත් අවුරුද්ද උදාවීමේ නැකතේ දී බොහෝ ප‍්‍රදේශවල විහාරස්ථානයන්හි ඝණ්ඨාව නාද කිරීම සිරිතකි. එයින් අලූත් අවුරුද්ද උදා වූ බව ගමට සන්නිවේදනය කෙරේ. එළඹි සුබ නැකතට ගෘහණියෝ යෝජිත දිසාව බලා ශුභ මුහුර්තියෙන් ලිප ගිනි මොළවා ගිතෙල් මිශ‍්‍ර කිරිබතක් පිසීිම කරති.

අපේ හෙළ බොදු සංස්කෘතියේ තවත් සුවිශේෂි ලක්ෂණයක් නම් රටේ සියලූ දෙනාම එකම වේලාවක එකම කාර්යයක නිරත වීමේ චාරිත‍්‍රයයි. ලොව වෙනත් කිසිදු රටක මෙවැනි චාරිත‍්‍ර දක්නට නොමැත. මෙමගින් නියමිත වේලාවට නියමිත කාර්යයක නිරත වීමේ වැදගත්කම පෙන්වා දී තිබේ. මෙවැනි සත් සිරිත් මගින් යහපත් සමාජක් ගොඩ නැගීමටත් වටිනා සත් සිරිත් අනාගත පරපුරට දායාද කිරීමටත් ඉදිරියට ගෙනයාම සඳහාත් මහඟු පිටිවහලක් වේ.

ධාර්මිකත්වය පදනම් කොට ගෙන කෘෂි අර්ථ ක‍්‍රමය පදනම් කොට ගෙන ගොඩනැගුණු බොදු ආර්ය සංස්කෘතියේ කිරිබත සශ‍්‍රීකත්වයේ සංකේතයකි.

සමාජයේ කුඩාම ඒකකය වන පවුල තුළ මනා සබඳතාවක් ගොඩනඟා ගැනීමට මෙම කාලය තුළ අවස්ථා හිමිවේ. පියාගේ හෝ මවගේ ප‍්‍රධානත්වයෙන් පිසින ලද කිරි බත ඇතුළු ආහර සුබ නැකතින් අනුභව කරති. ආහාර අනුභවයට ප‍්‍රථම ආහර මේසය මත පහනක් දැල්වීම ද සිරිතකි. එමෙන් අලුත් අවුරුද්දේ පළමු ආහාර පිඩ නිවසේ ප‍්‍රධානියා වන මව හෝ පියා විසින් තම දරු මුණුබුරන්ට කැවීම ද අපේ හෙළ සිරිත තුළ දක්නට ලැබෙන සුවිශේෂි ලක්ෂණයකි.

වැඩ ඇල්ලීමේ චාරිත‍්‍රය ද අවුරුදු උදාවේ තවත් වටිනා චාරිත‍්‍ර ධර්මයකි. ස්වකිය වෘත්තින් වලට අනුව කුමන හෝ කාර්යයක එම නැකතට සිදු කිරීමට හෙළ ජනයා වග බලා ගනිති. උදා වූ වර්ෂයේ දි තම තමන්ගේ කටයුතු සර්වප‍්‍රකාරයෙන්ම සාර්ථක වේවා යන ප‍්‍රාර්ථනාවෙන් එකි කටයුතු වල නිරත වෙති. කෘෂි අර්ථ ක‍්‍රමය පදනම් කොට ගෙන ගොවි ගෙදරක නම් පියා විසින් කැත්තෙන්, උදැල්ලෙන් වැඩ ඇරඹීම සිදු කරනු ලබයි. අවි ආයුධ වලින් තමන්ට කිසිදු ආපදාවක් නොම වේවා යන ප‍්‍රාර්ථනයෙන් ඔවුන් එකි කාර්යයන්හි සුබ නැකට නිරත වෙති. දරුවෝ ද දෙමාපියන් අනුකරණය කරති. ඇතැම් දරුවෝ පොත පතේ ඉගෙනුම් කටයුතුවල නිරත වෙති.

අලූත් අවුරුද්දේ ගනු දෙනු කිරීමත් විශේෂ චාරිත‍්‍රයකි. යම් කිසි මුදල් බුලත් කොළයක දවටා තව කෙනෙකුට දුන් විට එය ලැබූ තැනැත්තා විසින් බූලත් කොළයක යම් මුදලක් දවටා නැවතතමාට ලබා දුන් කෙනාට ලබා දීම සිදු කරනුු ලබයි. ගනු දෙනු කිරීමේ චාරිත‍්‍රයේ දී බුදු දහම තුළ පෙන්වා දෙන කෙළෙහි ගුණ සැලකිමේ උතුම් ගුණය ප‍්‍රකට වන අවස්ථාවක් නම් ගැමි කාන්තාව ළිද සමඟ සිදු කෙරෙන ගනු දෙනු කිරීමේ චාරිත‍්‍රයයි. ජලය යනු සශ‍්‍රීකත්වයේ සංකේතයකි. මිනිසාට තම පැවැත්ම උදෙසා අත්‍යවශ්‍ය සාධකයකි.

අලූත් අවුරුදු උත්සවය යනු ආගමික චාරිත‍්‍රවලින් යුක්ත වූ ජාතික උත්සවයකි.එහිදි සමාජ ධර්ම ක‍්‍රියාවට නැංවීමක් ද දක්නට ලැබේ. සදාචාරාත්මක වශයෙන් වටිනා අවුරුදු සිරිතක් ලෙස දරුවන් විසින් තම දෙමාපියන්ට වැඩිහිටියන්ට බුලත් හුරුළු දී නැමද තමා අතින් නොදැනුවත්ව හෝ වරදක් වී නම් සමාව භජනය වන මෙන් අයැද සිටිති.

බුදුදහමේ ඉගැන්වෙන යුතුකම් ඉටුකිරීමේ ලක්ෂණය ප‍්‍රකට වන අවස්ථාවක් නම් අලූත් අවුරුද්ද නිමිති කර ගෙන නෑගම් යාමේ චාරිත‍්‍රයයි. උපන් ගමින් බැහැරව ජීවත් තම දරුවන් අලූත් අවුරුද්ද නිමිත්තෙන් මව් පියන් දැකීම සඳහා තෑගී බෝග රැුගෙන යෑම සිරිතක්ව පවතී. අසල්වැසියන්ගේ හා නෑදෑයන්ගේ ගෙවල්වලට කැවිලි පිඟානක් යැවීම ද අවුරුදු චාරිත‍්‍රයකි. එය ලබන අය විසින් ද එලෙසින්ම සංග‍්‍රහ කරති. මෙම ක‍්‍රියාදාමය මගින් මව්පිය ¥දරු සබඳතා පමණක් නොව ඤාතීන් අතර සුහදතාවය ගොඩනැගේ. අසල්වැසියන් හා නෑදෑහිතවතුන් තම නිවසට කැඳවා සංග‍්‍රහ කිරීම් ද සිදු කරනු ලබති. මෙමගින් පවුල් අතර යම් කිසි හිත් අමනාපකම් තිබුණේ වී නම් ඒවා මඟහැරි නැවත හිත මිත‍්‍රකම් අලුත්වීමට මෙම සිරිත් උපකාරී වේ.

වැදගත්ම අවුරුදු චාරිත‍්‍රයක් වන හිසතෙල් ගෑමේ චාරිත‍්‍රය බොහෝ විට සිදු කරනු ලබනුයේ ගමේ පන්සල මුල් කර ගෙන ය. ඒ සඳහා අවශ්‍ය නානු පිළියෙල වන්නේ විහාරස්ථානයේ ය. විහාරස්ථානයේ ස්වාමින් වහන්සේ නමක් විසින් නිරෝගී භාවය ප‍්‍රාරථනා කරමින් ස්වකීය දායකයින්ට හිස තෙල් ගෑම සිදු කරනු ලබති. තෙල් ගෑම සිදු කරනු ලබන අවස්ථාවේ දී සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සිදු කෙරේ.

අතීතයේ දී රටේ ප‍්‍රධානියා වූ රජතුමා ප‍්‍රමුඛ කොට ගත් අමාත්‍ය මණ්ඩලයට ද හස්තීන්ට ද හිස තෙල් ගෑමේ කාර්යය සිදු කළ අතර වර්තමානයේ ද හිස තෙල් ගෑමේ චාරිත‍්‍රය රාජ්‍ය අනුග‍්‍රහය ඇතිව සිදු කරනු දැක ගත හැකිය.

සිත කය පිරිසිදු කොට ගෙන ලැබූවා වූ අලුත් අවුරුද්ද යහපත්ව පවත්වා ගැනීමට බෞද්ධයන් ඉත සිතින් ප‍්‍රාර්ථනා කරති. බිඳ වැටී ගිය සමාජ සම්බන්ධකම් නැවත ගොඩ නැඟීම, නෑදෑ හිත මිතුරුකම් තව තවත් වර්ධනය වීම, මව්පිය ගුරුවරු වැඩිහිටියන්ට සැලකීම යහගුණ ධර්ම වර්ධනයවීම අපේකම ඉස්මතුවීම වේලාවට වැඩ කිරීම පුරුදුවීම වැනි සදාචාරාත්මක වටිනාකම් සිංහල අලුත් අවුරුදු සිරිත්වල ගැබ්ව ඇති බව මනාව පැහැදිලි වේ.

තමන් විසින් වසරක් පුරා කළ කී දෑ පිළිබඳ සිතා බැලීමට අවුරුදු චාරිත‍්‍ර තුළින් අපට අවස්ථා සැලසේ. තමා විසින් කරන ලද හොඳ නරක දෙකම එහිදි දැක ගත හැකි ය. එහිදි නව වර්ෂය තුළ අප අධිෂ්ඨාන කර ගත යුත්තේ නරක දේ බැහැර කරමින් හොඳ යහපත් දේ ජීවිතයට ළඟා කර ගැනීමට ය. එනම් නූපන් අකුසල් නො ඉපදීමටත්,උපන් කුසල් වඩා වර්ධනය කර ගනීමටත්, උපන් අකුසල් මැ`ඩපවත්වා ගැනීමටත්, උපන් කුසල් වඩා වර්ධනය කර ගැනීමටත් අප සැම නව අවුරුද්දේ අධිෂ්ඨාන කළ යුතුය.