Print this Article


ආධ්‍යාත්මික ගුණයෙන් උවදුර ජයගනිමු

ආධ්‍යාත්මික ගුණයෙන් උවදුර ජයගනිමු

" විද්‍යාව අභියෝගයට ලක් කිරීමට බුදු දහම කිසිදු විටක කටයුතු කර නැත. එහෙත් මතුපිටින් පෙනෙන විද්‍යාත්මක දියුණුව අනෙක් පාරිසරික සාධක හා අනෙක් සත්ත්වයන්ගේ විනාශය ගෙන දෙමින් සිදු කිරීම බුදු දහම අනුමත කර නැත"

සමස්ත ලෝකය ම මෙම මොහොතෙහි අනපේක්ෂිත රෝග බියකින් මෙන් ම රෝග දුකකින් පීඩාවට පත්කිරීමට අප සැම මුහුණ දී සිටින කොරෝනා උවදුර හේතු වී තිබේ. දුප්පත් හෝ පොහොසත්, දියුණු හෝ නොදියුණු ආදී කිසිදු භේදයකින් තොර ව මෙම රෝග භීතිය හා දුක සමස්ත විශ්වයේ ම මිනිස් සමාජය වෙන කවරදාකවත් නො වූ පරිදි පීඩාවට ලක් කරමින් පවතියි. මෙම මොහොත දක්වා ම මානව සමාජය සතු දැනුම, තාක්ෂණය හා මෙවලම් මෙම අභියෝගය ජයගැනීමට අපොහොසත් ව ඇති බැවින් බුද්ධශ්‍රාවකයන් ලෙස මෙබඳු මොහොතක පිහිට පිණිස පවතින ආධ්‍යාත්මික ශක්තීන් පිළිබඳ අවධානය යොමුකිරීම වැදගත් වේ.

අනපේක්ෂිත මහා උවදුරකදී එම බියජනක තත්ත්වය තමන් සතු ශක්තිය ඉක්මවා පවතින බව මෙන් ම නුදුරේදී ම තමන් එම ව්‍යසනයේ ගොදුරක් බවට පත් වනු ඇතැයි යන හැඟීම් නිසැකව ම මිනිස් මනස ආතතියට මෙන් ම දැඩි පීඩාවට ලක්කරවන්නක් ම වෙයි.

එබැවින් මෙබඳු මොහොතක ශ්‍රද්ධාවන්ත සිත අධිෂ්ඨාන කොට බුද්ධාදී රත්නත‍්‍රයේ මහානුභාව සම්පන්න ගුණ අවබෝධයෙන් යුතු සමාධි ගත සිතින් මෙනෙහි කිරීමට කටයුතු කිරීම මහත් මානසික ශාන්තියක් පිණිස මෙන් ම කැළඹුණු සිත්සතන්හි සැනසීම පිණිස ම පවතින බව සත්‍යයකි.

එබඳු මොහොතක තම මානසික ශක්තිය ජවසම්පන්න ව උපදවා එකී පීඩාකාරක හේතූන් ජයගැනීමේ බලය උපදවා ගැනීමට නම් තමන්ට වඩා ආධ්‍යාත්මික පාරිශුද්ධත්වයෙන් උසස් පාරිශුද්ධ බලයක පිහිට අවැසිම ය.

මේ විශ්වයෙහි තුණුරුවන්ට සම කළ හැකි එබඳු අතිපාරිශුද්ධ ශක්තීන් නොපවත්නා බැවින් ගැඹුරු ම ශ්‍රද්ධාවන්ත සිතින් යුක්තව මහාර්ඝ තෙරුවන් ගුණ නිවැරදි සිහියෙන් නිවැරදි අරුත් සහිත ව සිහිපත් කිරීම ආරක්ෂාව, සුවසහනය හා අස්වැසිල්ල පිණිස ම පවතින්නකි. රතන සූත්‍ර දේශනාව අපට උගන්වන හා සක්දෙවිඳුන් ද සාධු නාද දී පිළිගන්නා විශ්වයේ සත්‍යය හා යථාර්ථය එය ම වෙයි.

විද්‍යාව හා තාක්ෂණයේ දියුණුව අභියෝගයට ලක් කිරීමට බුදු දහම කිසිදු විටක කටයුතු කර නැත. එහෙත් මතුපිටින් පෙනෙන විද්‍යාත්මක දියුණුව අනෙක් පාරිසරික සාධක හා අනෙක් සත්ත්වයන්ගේ විනාශය ගෙන දෙමින් සිදු කිරීම බුදු දහම අනුමත කර නැත. එමෙන්ම විද්‍යාවේ හා තාක්ෂණයේ දියුණුව වඩා සූක්ෂමව හා කාර්යක්ෂම ලෙසින් සොබාදහමට අනුගත ලෙසින් හා ධාර්මික ලෙසින් කළ යුතු බව බුද්ධ දේශනා දෙස බැලීමෙන් පැහැදිලිය. මිනිසාගේ දියුණුව ලෙසින් බුදුදහම බලාපොරොත්තු වන්නේ එවැනි වෙනසකි.

එක් එක් පුද්ගලයන්ට විවිධාකාර රෝගාබාධ වැළඳීම සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේගෙන් තෝදෙය්‍ය නම් පුරෝහිත බමුණාගේ පුත් සුභ මානවකයා විසින් අසන ලද පැනයන් හා බුදුරජාණන් වහන්සේ ඒ සම්බන්ධව ලබා දුන් පිළිතුරු සම්බන්ධව මෙහිදී පැවසිය යුතුය.

" බුදුරජාණන් වහන්ස, මනුෂ්‍යයන් අතර විවිධාකාර වෙනස්කම් ඇති මනුෂ්‍යයෝ සිටිති. “ යනුවෙන් පවසා

බුදුරජාණන් වහන්සේට ප්‍රශ්න දාහතරක් ඉදිරිපත් කර අතර එයින් ප්‍රශ්න දෙකක අඩංගු කරුණු ගැන විමසා බලමු.

"බුදුරජාණන්වහන්ස, මේ ලෝකයෙහි විවිධ රෝගාබාධ සහිතව ජීවත්වන්නෝ සිටිති. භයානක රෝගයන්ටද ගොදුරුව බොහෝ දුක් විඳිති. නොයෙකුත් චර්ම රෝග සහ අට අනූවක් වූ රෝගයාබාධයන්ගෙන් සහ එකක් දෙකක් හෝ තුනක් නිසා වේදනා විඳින්නෝ බොහෝය. මෙයට හේතුව කිමෙක්ද ? එසේම රෝගාබාධ නැතැයි කිව හැකි තරම් අයද ඉතා අඩුවෙන් කලාතුරකින්, රෝගාබාධයක් වැළදෙන්නන් අප අතර සිටිති. කෙනෙක් අපමණ රෝග ආබාධයන්ගෙන් පීඩා විඳීමටත් තව කෙනෙකු කිසිඳු රෝගයක් නොමැතිව ජීවත් වීමටත් හේතුව කුමක්ද?"

බුදුරජාණන් වහන්සේ විසින් ඊට පිළිතුරු ලෙසින් දේශනා කර වදාළේ තම තමන් කරනු ලබන හිංසාකාරී ක්‍රියාවන්ගෙන් ලැබෙන විපාක පිළිබද සිතා නොබලන ඇතැම් අය අනෙක් අයට අතින්, පයින් පහර දෙන බවත් නින්දා අවමන් කරන බවත් රෝගී වූවෙකුට ඖෂධයක් පවා නොදෙන ආත්මාර්ථකාමී ලෙස කටයුතු කරන වසංගත රෝග බෝවන හේතුවක් දුටු විට ඒවා වැළැක්වීමට කිසිඳු වෑයමක් නොගන්නා අන් අයගේ දියුණුවට ඊර්ෂ්‍යා කරන කෝපවන ගතියෙන් යුත් අය බවයි. එවන් අය උපන් උපන් ආත්මවල අපරිමිත රෝගයන්ගෙන් පීඩිතව, ලැබූ ජීවිතය ප්‍රයෝජනයක් ගත නොහැකිව තදබල කුෂ්ඨරෝග, උමතු රෝග, අතපය අහිමිවීම් වැනි රෝගාබාධයන්ගෙන් අන් අයට එපාවුණු පුද්ගලයන් සමාජයෙන් ඇනුම්, බැනුම් අසන කිසිවකුගේ පිළිසරණයක් නොමැතිව ජීවත් වීම ඉහත සඳහන් අකුසල කර්මවල විපාක වශයෙන් සැලකිය යුතු යැයි වදාළ සේක.

එසේම තව කෙනෙකුට වචනයෙන්වත් හිංසාවක් නොකරන කෝප නොවන, ඊර්ෂ්‍යා නොකරන, අනුන්ගේ දියුණුවට කැමති වෙති. මෛතී‍්‍ර සහගත සිතම ඇත්තෙක්ව වෙසෙති. කරුණාවෙන් යුක්තය. ප්‍රියශීලීගති පැවතුම්වලින් යුක්තය. තව කෙනෙකුට කිසිඳු අයුරකින් හිරිහැරයක් හිංසාවක් නොකිරීම මෙබඳු අයගේ සිරිතයි. ගිලනුන්ට ඇප උපස්ථාන කරෙති. ගිලන් ශාලා ආරෝග්‍ය ශාලා තැනවීමට ඒවා ආරක්ෂා කිරීමට දියුණු කිරීමට ක්‍රියා කරති. ලෙඩ දුක් වසංගත රෝග වැළඳෙන ක්‍රම රෝග වැළැක්වීමට කටයුතු කරති. රෝගීන්ට ඇප උපස්ථාන කරති. මෙවන් පුද්ගලයන් උපදින හැම ආත්මයකදීම ලෙඩ දුක් කරදර හිරිහැරවලින් තොර නිරෝගී සම්පතින් දුටු දුටුවන් පිනවන පැහැපත් පෙනුමකින් හා ප්‍රියශීලී කතා බහින් යුත් ඇත්තන් සේම උපත ලබතියි.' වදාළ සේක.

බුදුරජාණන් වහන්සේ විසින් එදා සුභ මානවකයාට දේශනා කර වදාළ වසංගත රෝග බෝවන හේතුවක් දුටු විට ඒවා වැළැක්වීමට කිසිඳු වෑයමක් නොගන්නා පුද්ගලයන්ට හා ඒවා වැළැක්වීමට පියවර ගන්නා පුද්ගලයන්ට මතු ආත්ම භවයන්හි පමණක් නොව මේ ආත්මයේදීම විපාක විඳින්නට සිදු වන බව අපට ඇස් ඉදිරියේම පෙනෙන්නට තිබේ. වසංගත රෝග ව්‍යාප්තිය වැළැක්වීම ගැන දන්නේ ඒ පිළිබඳ විශේෂඥයන්ය. ඔවුන් විසින් ලබා දෙන උපදෙස් ඉවත හරිමින් ඇතැම් ජනතාව කටයුතු කිරීම වසංගත රෝග පාලනයට නොව ව්‍යාප්තියට හේතු වන්නකි. එවන් පුද්ගලයින් මතු භවයන්හි උපත් රෝගාබාධ මෙන්ම සමාජ පිළිලයන් ලෙස ඉපදෙන බව අප මෙයින් දැනගත යුතුය. ඒ අනුව විශ්වීය ජීවන ප්‍රතිපදාවක් ලෙස දේශනා කර ඇති බුදු දහම අනුව කටයුතු කිරීමට ඕනෑම ජාතියකට ආගමකට අයත් අයට අපහසු නොවන්නේ එය ආගමකට වඩා ජනතාවට ඕනෑම ව්‍යසනයකදී මෙන්ම දියුණු සමාජයක දීත් පරිහානිගත රාජ්‍යක මෙන්ම අතිවිශාල ධනස්කන්ධයක් හිමි අවස්ථාවකදී වුවත් ජීවත් වීමට අවශ්‍ය මාර්ගයන් ලබා දී ඇති හෙයිනි. එසේ ම අප සමාජයෙහිම බොහෝ දෙනා නොපැතූ ලෙස නොසිතූ අවස්ථාවක පීඩාවට ලක් ව ඇති අද වැනි මොහොතක තම ශක්ති ප‍්‍රමාණයෙන් අල්ප වශයෙන් වුව ද අන් අයගේ යහපත පිණිස හා දුක් නිවීම පිණිස කටයුතු කිරීමෙන් තම චිත්තසන්තානයෙහි උපදින කරුණා-දයා-දාක්ෂිණ්‍යාදී ගුණ බලය මෙබඳු උවදුරු අභිමුව තමන්ගේ ම සැනසීම පිණිස හේතුවනවා මෙන් ම පීඩාවන්ට මුහුණ දීමට අවැසි චිත්ත ශක්තිය ජනනය කරගැනීමට ද මහෝපකාරී වන්නකි.

අන් අයගේ දුකෙහි දී සසල ව කම්පාවන හදවතින් කටයුතු කිරීම කරුණාව නැමැති උතුම් හා උසස් ආධ්‍යාත්මික ගුණය අප සිත්හි බලවත්වීමට හේතු වන බව තථාගත ධර්මයෙන් අපි උගෙන ඇත්තෙමු.

අප සිත්හි ජනිත කරවන උතුම් හා පිරිසිදු සිතිවිලි අප අවට ඇති පරිසරය ඇසුරු කොට ගැනීමෙන් උපදවා එම ආධ්‍යාත්මික ශක්තිය තමන්ගේ මෙන් ම අන් බොහෝ දෙනාගේ සුව සෙත පිණිස ම උපයෝගී වන සේ සිතිවිලි, ක‍්‍රියාකාරකම් හා ජීවන රටාව හැඩගස්වා ගැනීම මෙබඳු අවස්ථාවක සියලු දුෂ්කරතා ජයගැනීමට හේතු වන අතර වඩාත් නිවැරදි සිතකින් හා සම්මා සතියෙන් මෙම අවස්ථාවට මුහුණ දීමට අවශ්‍ය ශක්තිය උදාකරවනු ඇත.