සුවදායක ජීවිතයකට සරල දිවිපෙවෙතක වටිනාකම
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ
පශ්චාද් උපාධි අධ්‍යන පීඨයේ පීටාධිපති
මහාචාර්ය
මොරගොල්ලාගම උපරතන හිමි
මිනිසා ලෝකයේ ජීවත්වන අනෙකුත් තිරිසන් සතුන්ගෙන් වෙන්කොට හඳුනාගත හැකි සුවිශේෂීම
සාධකය වන්නේ ඔහු සතුව ඇති උසස්, සදාචාර සම්පන්න වූ අධ්‍යාත්මික ගුණයයි. මනසේ උසස්
බව නිසා මනුෂ්‍යයා වන්නේ ය, යනුවෙන් බුදු දහමෙහි සඳහන් වන්නේ ද එයයි. සිය අවශ්‍යතාව
පරිදි ස්වභාව ධර්මයට බලපෑම් කළ හැකි එකම සත්ත්වයා ද මිනිසාම වේ. මිනිසාගේ
ක්‍රියාකාරීත්වය මත ලෝකයේ පැවැත්ම රඳා පවතී. එම නිසා සෙසු ජීවීන් මෙන් නොව
මිනිසාගෙන් ලෝකයට සිදුවිය යුතු සේවාවන් රැසක් ද ඇත. මිනිසාගේ පරම යුතුකම වන්නේ මුළු
මහත් ලෝකයටම තම සේවය ලබා දීමයි. සිය සේවය නො පිරිහෙළා ලෝකයට ලබා දීමට නම් මිනිසාට
නිරෝගී සම්පන්න ජීවිතයක් තිබිය යුතුය. ලෙඩ රෝග තම ජීවිතයට එළඹෙන භයානක උවදුරක් ලෙස
සැලකූ මිනිසා දුරාතීතයේ පටන්ම ව්‍යාධීන්ගෙන් තොර ජීවිතයක් ගතකිරීමට උත්සාහ කරන ලදී.
අතීත මිනිසා කල්පනා කළේ යක්ෂ, භූත, ප්‍රේත ආදීන්ගේ බලපෑම මත එවැනි උවදුරු මිනිසා
වෙත ළඟාවන බවයි. එම නිසා වසංගත ආදී උවදුරුවලින් බේරීම සඳහා විවිධ අභිවාර විධි
අනුගමනය කළ බව ඉතිහාසය පිරික්සීමෙන් පෙනේ.
මිනිසාට ලැබෙන උතුම්ම ලාභය නිරෝගී බව යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. යම්
රෝගාබාධයක් සෑදුණු විට එම තැනැත්තා හෝ තැනැත්තිය ඉතා අසරණ තත්ත්වයට පත්වේ. දුකට
පත්වේ. ගිලන් බවට පත්වේ. බුදුරජාණන් වහන්සේ නිරෝගීකම නිරතුරුව රැක ගැනීම පිණිස
මිනිසාගේ පැවැත්ම කෙසේ සකස් වියයුතු ද යන කාරණය සිය දේශනාවලින් මනාව පැහැදිලි කොට
ඇත.
මහාවග්ගපාළි භේසජ්ජක්ඛන්ධකය එවැනි එක් දේශනා කොටසකි. එමෙන් ම වැළෙක්‍ෂන රෝග හා ඒ ඒ
අවස්ථාවන්හි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ප්‍රධාන බෙහෙත් වර්ග, වරින් වර අනුමත
කළ අතිරේක බෙහෙත් වර්ග, බෙහෙත් සෑදීමට භාවිත කළ උපකරණ, මාංශ පරිභෝජනය ආදි තොරතුරු
හා ප්‍රතිකාර ක්‍රම ද එහි දක්වා ඇත. ගිරිමානන්ද සූත්‍රයේ දී මිනිසාට වැළදෙන රෝගාබාධ
ගණනාවක් දක්වා ඇති අතර ගිලන් බවට පැමිණි ගිරිමානන්ද හිමියන්ට එම ආබාධයෙන්
ක්‍රමානුකූලව සුවපත්වීම සඳහා දසසඤ්ඤා දේශනා කළහ.
එමෙන් ම අහිවාතක රෝගයෙන් මිදීමට නිවසේ බිත්තිය හෝ වහලය බිඳගෙන දුර ගමකට හෝ පළාතකට
ගොස් ජීවත් වී එම වසංගත රෝගය සම්පූර්ණයෙන් ම පහව ගිය කලෙක නැවත පැමිණිය යුතු බවද
දක්වා ඇත.
කායික රෝග සහ මානසික රෝග වශයෙන් මිනිසාට වැළෙක්‍ෂන ප්‍රධාන රෝග දෙකක් ගැන
බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ රෝග සූත්‍රයේ දී දේශනා කොට ඇත. කායික රෝගවලින්
මිදී දවසක් දෙකක් සතියක් මාසයක් වසරක් නොව වසර සියයක් වුවද මිනිසාට ජීවත් විය හැකි
නමුත් මානසික රෝගයන්ගෙන් තොරව මොහොතක්වත් සත්ත්වයාට ජීවත් විය නොහැකි බව බුදුරජාණන්
වහන්සේ දේශනා කොට ඇත. එම නිසා මිනිසාට තම පෞද්ගලික ජීවිතය පමණක් නොව සමාජ ජීවිතය ද
සාර්ථක කර ගැනීම සඳහා කායික සුවතාව සහ මානසික සුවතාව සමබරව පවත්වා ගැනීම ඉතා
වැදගත්වේ.
වර්තමානයේ මුළු ලෝකයම පීඩාවට පත් කරමින් පැතිර යන කොරෝනා වයිරස් රෝගය හමුවේ සෑම
දෙනා ම කායිකව මෙන්ම මානසිකව ද පීඩාවට පත්ව ඇති බව පැහැදිලිය. මෙවන් අවස්ථාවක
බුදුදහමෙන් අප ගත හැකි ආදර්ශ බොහෝය.
එහෙත් මෙහිදී සාකචඡා කෙරෙන්නේ රෝගපීඩාදී ව්‍යවසනයන්ගෙන් තොරව නිරෝගී සම්පන්න
ජීවිතයක් ගතකිරීම සඳහා තමන්ගේ ආහාර පරිභෝජන රටාවේ සහ පරිසර සංරක්ෂණයේ ඇති වැදගත්කම
පිළිබඳවයි.
බුදුරජාණන් වහන්සේ එක් දාන වේලක් පමණක් වැළදූ උත්තමයෙකි. එමෙන් ම භික්ෂූන් වන්සේලාට
ද දානය ගැනීමේදී සීමාවන් පනවා ඇත. මෙවැනි යථාලාභ සන්තුෂ්ටිවාදී අල්පේච්ඡ ජීවිතයක්
නිර්දේශ කරන බෞද්ධ ජීවන ක්‍රමයක් තුළ මිනිසා පමණක් නොව ගහකොළ සතා සිවුපාවා පමණක්
නොව පරිසර සාධක ද නොනැසී ආරක්ෂා වෙයි.
ආත්මාර්ථකාමීව අරපිරිමැස්මෙන් තොරව මිනිසා යන මේ ගමන කොතැනින් කෙළවරවේදැයි සිතා
ගැනීමට පවා බැරි තරමට ලෝකයා අධිපරිභෝජනවාදී හා තරගකාරී ආර්ථික රටාවකට හුරු වී ඇත.
අග්ගඤ්ඤ සූත්‍රාගත සිද්ධි මාලාවෙන් පැහැදිලි වන්නේ ලෝකයේ ආරම්භක අවදියේ සිටම විවිධ
පාරිසරික අර්බුදවලට මිනිසාට මුහුණ පෑමට සිදු වූ බව යි. රාජ්‍ය තුළ සිටින සියලූම
ජීවින්ගේ හා වෘක්ෂලතාවල ආරක්ෂාව සැලසීම රජුගේ පරම යුතුකමක් ලෙස චක්කවත්ති සිහනාද
සුත‍්‍රාගත දස සක්විතිවත්වල ද පෙන්වා දී ඇත. ඵසේම කුටදත්ත සුත‍්‍රයේ රාජ්‍ය
කටයුතු සැලසුම් කිරීමේදී පරිසරය හා සතා සිවුපාවුන් ආරක්ෂා වන ආකාරයට කළ යුතු බව
පෙන්වා දෙයි.
”යස්ස රුක්ඛස්ස ඡයාස- නිසීදෙය්‍ය සයෙය්‍යවා
න තස්ස සාඛං භඤ්ජෙය්‍ය - මිත්ත දුබ්භො හි පාපකෝ”
සෙවන දුන් ගසක අත්තක් සිඳ දැමීම මිත්‍ර දෝහි ක්‍රියාවක් වශයෙන් බුදුදහම පෙන්වා
දෙයි. පාචිත්තියපාළියේ නිරෝගිව සිටියදී නිල් තණ කොළ මත්තෙහි මළ මුත්‍රා බැහැර කිරීම
පවා වරදක් වශයෙන් පෙන්වා දී තිබීමෙන් පරිසරයට කෙතරම් ආදරය කළ යුතු ද යන්න පැහැදිලි
වේ. පුද්ගලයාගේ පෞරුෂ සංවර්ධනය පරිසරයට යෝග්‍ය ආකාරයෙන් සකස් වීම ආධ්‍යාත්මික හා
භෞතික දියුණුවට හේතු වන බව ”පතිරූපදෙස වාසොච’’ යන මංගල සුත‍්‍රාගත දේශනාව තුළින්
පෙන්නුම් කරයි.
පරිසරය කෙරෙහි සාහසික නොවී ප්‍රයෝජන ගත යුතු යැයි අවධාරණය කරන බුදුසමය පරිසරය දූෂණය
කිරීමෙන් වැළකිය යුතු බව දක්වන්නේ පරිසරය ආරක්ෂා වෙනතාක් මානවයාගේ ආරක්ෂාව තහවුරු
වන අතර එහි අවසානය මානවයාගේ අවසානය ද වන බව සක්සුදක් සේ පැහැදිලි වන නිසාවෙනි. මුළු
ලෝකයම අභියෝගයකට මුහුණ දී ඇති මෙවන් අවදියක ආත්මාර්ථකාමීත්වය පසෙක තබා මුළු මහත්
ලෝකවාසී සත්ත්වයාටම යහපතක් සැලසෙන අයුරින් ක්‍රියා කිරීම අප සැමගේම වගකීම බව
කාරුණිකව සිහිපත් කරමි. |