දහමට මුල් තැනක් දී
විපතින් නැඟී සිටිමු
අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකායේ
මහ නායක
බම්බලපිටිය සිරි වජිරාරාමාධිපති
තිරිකුණාමලේ ආනන්ද මහනා හිමි
කොරෝනා හෙවත් කොවිඩ් 19 වයිරසය අද ලොව පුරා ලක්‍ෂ සංඛ්‍යාත ජනතාව ආසාදනයට පත් කරන
වසංගත රෝග කාරකයක් බවට පත් වී ඇත. මේ නිසා සමස්ත ලෝකය බියෙන් ඇළලී සිටිනවා පමණක්
නොව සමස්ත ක්‍රියාකාරීත්වය අඩපණ වී ඇත. ඉතා බල සම්පන්න රාජ්‍යයෝ පවා අද අසරණ ව වහ
වහා ඊට පිළියම් සොයමින් සිටිති. එය එතරම් ම අත්‍යන්තයෙන් ම භයංකර ඛේදවාචකයකි. සෙසු
වසංගත රෝගවලට බෙහෙත් පිළියම් ක්‍රම ඇතත් කොරෝනා වයිරසයට මෙතෙක් නිසි ඖෂධයක් හෝ
එන්නතක් හෝ සොයාගෙන නැත. හැරත්, අප නොසිතන ආකාරයට එය අපට වැලඳීමේ අවදානම ද ඉතා වැඩි
ය. එහෙයින් ආරක්‍ෂක අංශ හා සෞඛ්‍ය අංශ මහජනතාව දැනුම්වත් කැර ඇති අවවාද අකුරට ම
පිළිපදිමින් වයිරසය පැතිරීමට ඇති සියලු ඉඩකඩ අහුරාදැමීමට සාවධාන ව සතිමත් ව
සැලකිල්ලෙන් හා වගකීමෙන් රටවැසි සියලු දෙනා ම ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය වෙයි.
රටවැසි හැම දෙනා ම වගකීමෙන් ඒ යුතුකම කළ හොත් වැඩිකල් නො යා ම මෙම වසංගත උවදුරින්
රටවැසි ජනතාව බේරාගත හැකි වනු නොඅනුමානය.
කොවිඩ් 19 වයිරස් වසංගතය කාලීන ව මුළු ලොවට ම මහඟු පාඩමක් උගන්වා ඇත. ලොව අනිත්‍යය
මෙනෙහි නොකරන අයට පවා ජීවිතය හා ලෝකය පිළිබඳ අස්ථිරත්වය, ක්‍ෂණ භංගුරත්වය හා වෙනස්
වන සුලු බව පසක් කර දී ඇත. ධන බලය, යුද බලය, දේශපාලන බලය, පිරිස් බලය ආදි සියලු
ලෞකික බලයන්හි බෙලහීන බව හා නිසරු බව ලෝකයා වටහාගනිමින් සිටී. බටහිර රටවල ඇතැම්
සංස්කෘතික ආචාර සමාචාර පවා උඩු යටිකුරු වෙමින් පවතී. එහෙත් පෙරදිග පිළිගත් ආචාර
සමාචාර බටහිර සමාජ ද බුද්ධිමත් ව සිතා වැලැඳ ගන්නා සැටියෙක් පෙනේ. ඒ සමඟ ම ලෝකය
ස්වාභාවිකත්වය දෙසට හැරෙමින් තමතමන් පිළිබඳවත් පොදුවේ මානව වර්ගයා පිළිබඳවත් නව
දැක්මකින් ඇස් ඇර බලන අයුරක් ද පැහැදිලි ය. ඒ අතර ඇතැම් කොටසක් සිය අතෘප්තිකර
ආශාවන් පිනවීමට නවමං සොයමින් “ළිප ගිනි මොළොවන තෙක් සැළියේ සිටින කකුළුවන්“ සෙයින්
තමන් පත් ව සිටින අනතුර නො දැක විපත කරා ම ඇදී ගෙන යන අයුරක් ද පෙනේ.
ලක්වැසි අප හැම දෙනා ම වහවහා දැන් කළ යුතු වන්නේ “විපත පවා සැපතකට හරවාලා පෙරට ම
යමු ලංකා“ යන්න උද්‍යෝග පාඨය කරගෙන ජාතියක් ලෙස සාමූහික ව එක්සත් ව ක්‍රියා කිරීම
ය. ජාති-කුල-ආගම් පිළිබඳ ව පුළුල් දැක්මක් ඇතිව, මනුෂ්‍යත්වයේ අගය පිළිබඳ ව සිතීමේ
දී ඒවා පටු සීමාවන් තුළට කොටු කරගන්නේ නැති ව පුළුල් සවිඥානික මනසින් බලා මානුෂික
සාමූහිකත්වයෙන් ක්‍රියා කිරීමේ අවශ්‍යතාව මෙහි දී වටහාගැනීම ඉතා වැදගත් ය. යට කී
කරුණු පිළිබඳ ව පටු සීමා හදාගෙන අන් අයට එරෙහි ව ක්‍රියා කිරීමේ හරසුන් බව හා ආදීනව
තේරුම් ගැනීමට මෙය කදිම අවස්ථාවකි.
වරක් කොසොල් මහරජු මහ දවාලේ බුදු රදුන් මුණ ගැසීමට ආ අවස්ථාවෙක “මහ රජ, මහ මද්දහනේ
කොහි සිට එන්නෙහි දැ“ යි ඇසූ පැනයට පිළිතුරු දෙන රජතුමා, “ස්වාමීනි, ඉසුරු මදයෙන්
මත් ව, කාමයෙහි ගිජුකමින් මැඬුණු, රාජ්‍ය ස්ථාවත්වයට පත්කොට මහපොළොව දිනා අධිපති ව
වෙසෙන රජකු විසින් කළමනා කටයුතු කොතරම් නම් ඇද්ද, එහි මම උත්සුක ව කාර්යබහුල ව
වෙසෙමි“ යි පැවැසීය. එහි දී බුදුරජාණන් වහන්සේ රජුට සිහිපත් කරන පහත සඳහන් කරුණ
වත්මන් අප විසිනුදු ගැඹුරින් සලකා බලනු වටී.
“මහරජ, ඔබගේ විශ්වාස කටයුතු පුරුෂයකු පෙරදිග සිට අවුත්, “දේවයන් වහන්ස, අහස සමාන
විශාල පර්වතයක් සියලු සතුන් සුණුවිසුණු කරමින් පෙරළීගෙන පෙරළීගෙන එයි, රජතුමාට
කළහැකි දෙයක් වහා කළ මැනව“ මෙබඳු ම වූ තවත් පුරුෂයන් තුන් දෙනෙකුත් දකුණු දිගිනුත්
බටහිර දිගිනුත් උතුරු දෙසිනුත් අවුත් එබඳු ම වූ පුවතක් සැළ කරති. මිනිසුන් නසන,
දරුණු මෙබඳු බියක් හටගත් කල දුලබ මිනිසත් බවක් ලද ඔබ විසින් කළ යුත්තේ කිමෙක් ද ?“
බුදුරජාණන් වහන්සේ ඇසූ එම පැනයට රජතුමාගේ පිළිතුර වූයේ “ස්වාමීනි, භාග්‍යවතුන්
වහන්ස, එබඳු දරුණු බියක් හටගත් කල්හි ධර්මචර්යාව - සමචර්යාව - කුශල ක්‍රියාව -
පුණ්‍ය ක්‍රියාව හැර වෙන කුමක් කළ යුතු වන්නේ ද“ යන්න යි.
බුදුපියාණන් වහන්සේ කොසොල් මහ රජුගෙන් තව දුරටත් ප්‍රශ්න කරමින් “ජරා (ව්‍යාධි) මරණ
විසින් ඔබ මඬිනු ලබන කල්හි ඔබ කළ යුත්තේ කුමක්දැ” යි ඇසූ විට රජුගේ පිළිතුර වූයේ
ජරා (ව්‍යාධි) මරණ මැඬගත් කල්හි ද ධර්මචර්යාව - සමචර්යාව - කුශල ක්‍රියාව - පුණ්‍ය
ක්‍රියාව හැර අන් කළ හැකි දෙයක් නොමැති බව යි. ජරා (ව්‍යාධි) මරණ බලසපන් රජු යටපත්
කළ කල්හි ඇත් - අස් - රිය පාබල සේනාවෙන් වත් දක්ෂ ඇමතිවරුන් ගෙන් වත් මහා
ධනස්කන්ධයෙන් වත් පිහිටක් නැති බව රජතුමා ප්‍රකාශ කරයි. රජතුමා මෙලෙසින් එළිදරවු
කෙළේ බුද්ධ දේශනාවෙහි ම ප්‍රකට කළ සනාතන යථාර්ථය යි.
මේ වසංගත රෝගය හමුවේ මහත් දුකට පත් වී සිටින ලොව දෙස බලා, අපත් එම ව්‍යසනයේ ම
ආරම්භක අවස්ථාවෙහි සිටින හෙයින් අප්‍රමාදී ව බිය පසෙක ලා ධෛර්යවන්ත ව කළ යුතු
පිළියම් හා අනුගමනය කළ යුතු ආගමික හා සෞඛ්‍ය පිළිවෙත් සැලැකිල්ලෙන් කිරීම සියලු
පුරවැසියන් ගේ අවස්ථාවෝචිත වගකීම වේ.
විපතක දී නුවණැති අය කළ යුතු වන්නේ දුක්මුසු ව කනගාටුවට බියට පත් ව සිටීම නො ව
ප්‍රඥාවෙන් හා වීර්යයෙන් ඊට කළ යුතු පිළියම නොපමා ව කිරීම බව බෞද්ධ සාහිත්‍යය අපට
කියා දෙයි. ආපදාවක දී පෞරුෂය හා දරාගැනීමේ ශක්තිය උරගා බැලිය හැකි බව බුදු සමය
උගන්වයි.
මේ ප්‍රශ්නය මුල් කැරගෙන ලෝකයා තුළ කිසියම් ධනාත්මක පෙළ ගැස්මක් ඇති වී තිබෙන බව
මෙහි මුලින් සඳහන් කළෙමු. ඇතැම් ආගම් කේන්ද්‍ර කැරගෙන අන්තවාදී පිරිස් සමාජ විරෝධී
ව ප්‍රචණ්ඩකාරී ව හැසිරුණත් ලොව සියලු ආගම් දයාව, සාමය හා ධර්මිෂ්ඨ භාවය අවධාරණය
කරයි. මිනිසා කේන්ද්‍ර කොට ක්‍රියාත්මක වන බුදු දහම එහිලා සුවිශේෂ තැනක් ගන්නා බව
සඳහන් කිරීම අතිශයෝක්තියක් නො වේ. ආර්ථිකය, ධනය, කර්මාන්ත, ව්‍යාපාර, කලාව ආදි
සියලු විෂයයන්ට වටිනාකමක් ලැබෙන්නේ මිනිසා මානුෂීය ගුණාංගවලින් පිරිපුන් ව ප්‍රබල ව
සිටි තරමට ය. මනුෂ්‍යත්වය ඒ හැම දෙයකට ම ප්‍රශස්ත ප්‍රතිපෝෂණයක් ලබා දෙයි.
මනුෂ්‍යත්වය පල්ලම් බසින කල භෞතිකය කොතරම් ඉහළ ගියත් පලක් නැත. ඒ මනුෂ්‍යත්වයට
ප්‍රතිපෝෂණය හා ආලෝකය ලැබෙන්නේ ධර්මය තුළින් මිස අන් දෙයකින් නොවන බව අප ගැඹුරින්
වටහාගත යුතු වෙයි. ධර්මයෙන් හීන වූ කල මිනිස්සු තිරිසනුන් හා සමාන යැ යි පැරැණි
පඬිවරුන් සඳහන් කෙළේ එහෙයිනි.
මනුෂ්‍යත්වය ගැන සංවේදී වන මිනිසා තමා වෙසෙන අවට පරිසරය ගැන ද වෙසෙසින් සංවේදී
වෙයි. සතා සීපාවා ගහ කොළ ඇල දොළ හා සමස්ත පරිසරය මානව වර්ගයා ගේ යහපත හා සහජීවනය
සමඟ සමපාත ව පවතී. ඒ බව පිළිගන්නා පුද්ගලයා මානුෂික හැඟීමෙන් සියලු සත්ත්වයා හා
සජීවී ලෝකය දෙස මෙත් හැඟුම් පෙරදැරි ව බලන්නේ ධාර්මික ශික්ෂණයත් පාරම්පරික ඥානයත්
නූතන විද්‍යාත්මක දැනුමත් උපයෝගී කැරගෙන ය. නූතන අධ්‍යාපනය තුළ දරුවාට එබඳු
සම්ප්‍රවේශයක් නොලැබෙන්නේ නම් ඉදිරි ලෝකය මීටත් වඩා ආත්මාර්ථකාමයෙන් හා අතෘප්තිකර
ආශාවලින් පෙළෙමින් එකිනෙකාට එරෙහි වන සමාජයක් නිර්මාණය වීම නොවැළැක්විය හැකි ය. මත්
දිය හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කරන්නේ ද මෙ ම සම්ප්‍රවේශය බිඳ හෙළා අනාගත ලෝකය
මන්දබුද්ධික මායාකරුවන් ගෙන් පිරවීම මිස අන් දෙයක් නො වේ.
වත්මන් උවදුර පිළිබඳ ව සමාජය දැනුම්වත් කිරීමට ජනතාව සමාජ මාධ්‍යය මඟින්
ප්‍රයත්නයක් දරයි. එලෙස රටේ අනාගතය දෙස බුද්ධිමත් ව කල්පනා කරන පුරවැසියන් තම ආගමික
භාවිතයන් ප්‍රඥා සම්පන්න ලෙස පෞද්ගලික හා සමාජීය ජීවන පැවැත්මට ප්‍රායෝගික කරගන්නා
ගමනේ, මෙ ම වයිරසය පැතිර යන මං පෙත් වහවහා වසා දැමීමට ද සාමූහික ව අත්වැල් බැඳගත
යුතුය. මෙ ම අදෘශ්‍යමාන මාරාන්තික වයිරසය පුද්ගල තරාතිරමක්, ජාතියක්, ආගමක් නොසලකා
සැමට ම දරුණු ලෙස බලපවත්වන හෙයින් මෙය පරාජය කිරීමට සියලු දෙනා ම සමඟියෙන් එකාවන් ව
උත්සුක වීම නො වළහා කළ යුතුය. එහි ලා තමාගේ පරෙස්සමටත් වඩා පවුලේ කුඩාවුන්,
වැඩිහිටියන් හා අන් අයගේ පරෙස්සම ගැන වැඩිමනත් සලකා, කරුණාවේ පොරෝනය පොරවාගෙන
ආරක්ෂාකාරී වීම මහත් කුශලයක් මෙන් ම කොරෝනා වසංගතයෙන් තමාට හා අන් අයට ආරක්ෂාව
සැලැසීමක් ද වන බව සිතිය යුතු ය. |