අර්ථවත් එක දහම් පදය ද උතුම් ය
අස්ගිරි මහා විහාර
පාර්ශ්වයේ උපාධ්‍යාය
අමුණුපුර
පියරතන නා හිමි
නමෝ තස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස
යෝ චෙ ගාථා සතං භාසේ
අනත්ථ පද සංහිතා
ඒකං ගාථා පදං සෙය්‍යො
යං සුත්වා උපසම්මති
යො සහස්සං සහස්සේන
සංගාමෙ මානුසේ ජිනේ
ඒකංච ජෙය්‍ය අත්තානං
සවෙ සංගාමා ජුත්තමො
සුපින්වත්නි,
සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ සිටින කල
කුණ්ඩලකේසී රහත් මෙහෙණින් වහන්සේ අරභයා මෙම ගාථා ධර්මය දේශනා කළ සේක.
රජගහනුවර ඉසුරුමත් සිටු කුලයක සිටු දුවක සත්මහල් ප්‍රාසාදයක උඩුමහල් තලයේ සොළොස්විය
ඉක්මවා ඉසුරුමත් ව සුවසේ වසන්නී ය. මෙසේ කල දවස යවද්දී නුවර දකුණු දොරින්
වධකස්ථානයට ගෙන යන සොරෙකු දැක ඔහු පිළිබඳ ව කාමාශාව ඇති කරගත් මෙම සිටුදුව ප්‍රේමය
දරාගත නොහැකිව දෙ අතින් පපුව අල්ලා මුහුණ යටිකුරු කොට යහනේ නිදා ගත්තා ය. එසේ හොත්
ඇය දැක මව්පියන් විචාළ විට වධකයට ගෙන යන සොරා නොලදහොත් ජීවත් නොවෙමියි කීවා ය. එවිට
මව්පියන් නොයෙක් කරුණු කියාත් එම ආශාවෙන් වළකන්නට නොහැකි විය. එහෙයින් නගර
ගුත්තිකයන්ට මසුදහසක අල්ලස් දී සොරා නිදහස් කරගෙන සිටුදුවට පාවා දී සනසන ලදී.
මෙසේ සිටුදුව සමඟ මද කලක් ගතකළ සොරා ඇගේ රන් රිදී මුතු මැණික් ආභරණ සොරා ගැනීමේ
උපාය මාර්ග ගැන සිතන්නට විය. දිනක් සොරා සිටුදුවට මෙවන් අදහසක් ප්‍රකාශ කළේ ය.
“සොඳුර මා වධයට ගෙනයන දින චෝරපබ්බත දෙවියන්ට බාරයක් වී ඇත. එබැවින් අප දෙදෙනා ම
ගොස් එම බාරය ඔප්පු කළ යුතු වේ. අප දෙදෙනා ප්‍රථමයෙන් සුබ ගමනක් යන බැවින් අගනා
ආභරණවලින් සැරසී යා යුතු යැයි ද සැමියා අදහස් පළ කළේ ය.
දෙදෙනාම පර්වත මුදුනට නැගගත් පසු සොරාගේ හැසිරීම අමුතු විය. “කිමෙක් ද හිමියනි,
පර්වත දෙවියන්ට බාරය ඔප්පු කරන්නේ ද” සිටුකුමරිය ඇසුවා ය. " මා ආවේ බාරයක් ඔප්පු
කරන්නට නොවේ. තිගේ ඔය අබරණ ටික ගන්නයි. එබැවින් ඔය වටිනා සළුපිළි අභරණ ගලවා එක්කොට
තබව" යි අණ කළේ ය.
සොරාගේ මෙම කතාවත් සමඟ ඇයට තැනට සුදුසු නුවණ පළ වූයෙන් “ස්වාමීනි,” එසේ නම් මේ
අන්තිම දැක්ම ය. ඒ නිසා මට සිත් සේ වැඳගන්නට අවසර දෙන්න” යැයි අවසර ගෙන ඉදිරියෙන්
වැඳගෙන පැදකුණුකොට වඳින බව හඟවා පසුපසට ගොස් සොරා පර්වතයෙන් පහළට හෙළී ය.
සිටු කුමරියගේ මෙම ක්‍රියාව දැක පර්වතයට අධිපති දේවතාවෝ මෙම ගාථාව කියා අගය කළහ.
නසො සබ්බේසුඨානෙසු
පුරිසොහොති පණ්ඩිතො
ඉත්ථීපි පණ්ඩිතා හොති
තත්ථ තත්ථ විචක්ඛණෙ
සියලු තැන්වල පුරිසයා පණ්ඩිත නොවේ. ඒ ඒ කාරණවලදී ස්ත්‍රිය ද, පණ්ඩිත වන්නී ය.
මෙම සිද්ධියෙන් පසු සිටු කුමරිය යළි සිටුමැදුරට නොගොස් පැවිදි ව තවුස්දම් පුරන්නට
සිතා නිඝණ්ඨ ආරාමයකට ගොස් පැවිද්ද ඉල්ලුවා ය. නිඝණ්ඨයෝ ද ස්ත්‍රීන් පැවිදි කරවා
සිටින ආරාමයට ගෙන්වා තල් ඇටයෙන් කෙස් උගුළුවා පැවිදිකමට ඇතුළත් කළහ. ඉසකෙස් නැවත
වැඩෙනුයේ රාශිරාශී ව, කුණ්ඩලාවර්ත ව වැඩුණු හෙයින් කුණ්ඩලකේශී නමින් ප්‍රකට වූවා ය.
නිඝණ්ඨ ආරාමයේ සිට ඒ ධර්මය ඉගෙන ගෙන එයින් විමුක්තියක් නැතැයි සිතී ය. නිඝණ්ඨ
ආරාමයෙන් බැහැරගොස් ජනයා නිතර ගැවසෙන තැන්වල වැලිගොඩක් ගසා දඹ අත්තක් සිටුවා මා සමඟ
වාද කරන්නට සමතෙකු සිටී නම් මේ දඹ අත්ත මඩීවා'යි අභීත ව අභිමානයෙන් ප්‍රකාශ කරන්නී
ය.
මෙසේ ඇය අභීතව වාදවිවාද කරමින් සංචාරය කරන්නී ය. කුණ්ඩලකේසාට සැවැත් නුවර දී
දම්සෙනෙවි සැරියුත් මහරහතන් වහන්සේ හමුවී ය. වාද කරන්නට අවස්ථාව උදා විය. එහෙත්
සැරියුත් මහරහතන් වහන්සේ ‘ඒක නම් කුමක්දැයි’ ඇයගෙන් ඇසූහ. එහෙත් උත්තර දෙන්නට
නොහැකිව යටපත් වූ මාන්නය ඇතිව " ඔබ වහන්සේ සරණ යමි" යි වැඳ වැටුණා ය. මා සරණ යාමෙන්
කම් නැත. අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙවරම් වෙහෙර වැඩවසන සේක. එම බුදුරදුන්
වෙත ගොස් සරණ යන්නට යයි කීහ. කුණ්ඩල කේසා ද මැනවැයි කියා සවස් වේලෙහි ජේතවනාරාම මහා
විහාරයෙහි දම් දෙසමින් වැඩ සිටින බුදුරදුන් වෙත ගොස් පසඟ පිහිටුවා වැඳ එකත්පස්ව
සිටියා ය.
අප බුදුරජාණන් වහන්සේ මඩනාලද සංස්කාර ඇති ඇයට මෙම ගාථා ධර්ම දේශනාව වදාළ සේක. අනර්ථ
පදයෙන් යුත් වචන, ගාථා උතුම් නොවේ. අර්ථවත් එක පදයකුත් රාගාදී කෙලෙසුන් සංසිඳේ ද ,
එවන් නිර්වාණ ප්‍රතිසංයුක්ත වූ අර්ථ සාධනීය එපදය කුදු උතුම් යයි වදාළ සේක.
මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් උද්ඝටිතඥ ප්‍රඥා සම්පත්තියෙන් යුක්ත වූ කුණ්ඩල
කේසා අර්ථ, ධර්ම නිරුක්ති ප්‍රතිභාන සිව්පිළිසිඹියාපත් සහිත ව රහත් බවට පත්වූවා ය.
යළි පැවිදි බව ලබා මෙහෙණවරට පැමිණියා ය. මේ කාරණය නිමිති කරගෙන. මහණෙනි, මාගේ
භික්ෂුණී ශ්‍රාවිකාවන් අතර ඉතා ඉක්මනින් ඒ කුණ්ඩලකේසා අග්‍රස්ථානයට පත් වන්නී ය.
යනුවෙන් අග තනතුරු ලැබුවා ය.
ලක්ෂ කෝටි සංඛ්‍යාත ශ්‍රාවක ශ්‍රාවිකාවන් අතර අග තනතුරු ලැබූ ශ්‍රාවක ශ්‍රාවිකාවන්
ඉතා ස්වල්ප දෙනෙකි. අතීත බුදුරජාණන් වහන්සේලා හමුවේ දී සුවිශේෂ පින්කම් කළ අය එසේ
අගතනතුරු ලබා ගත්හ.
බුද්ධාදී උතුමන් හමුවීම, බණ පදයක් ඇසීම, එකෙණෙහිම සපුරා තේරුම් ගැනීම, මාර්ගඵල ලබා
ගැනීමාදී කුසලවිපාක බල මහිමයන් ලබන්නට නම් සංසාරේ උපදින ආත්මවලදී දාන ශීල භාවනා දී
පින් දහම් කළයුතු වන්නේ ය.
සම්පූර්ණයෙන් ත්‍රිපිටක ධර්මය දැන ගත්තත් පිළි පදින්නේ නැතිනම්, ඒ දැනීමෙන්, කීමෙන්
අර්ථයක් නොවන්නේ ය. අප බුදුරදුන්ගේ දහම් පදයක් පාසා ගැබ්වී ඇත්තේ චතුරාර්ය සත්‍ය
ධර්මය යි. එබැවින් ලෝකයේ ඇති සියලුම ආගමික දේශනවල වටිනාකමට වඩා බුදුරදුන් විසින්
දේශනා කළ එක දහම් පදයක් ලක්ෂ කෝටි ගණනින් සම්පත්තිදායක වශයෙන් මෙන්ම, විමුක්තිදායක
වශයෙන් ද අනර්ඝ වන්නේ ය.
ඔබ සැමට මේ පින් හේතුවෙන්
කෙදිනක හෝ නිර්වාණාවබෝධය වේවා.
තෙරුවන් සරණයි. |