Print this Article


කළකිරීම

කළකිරීම


දිරාපත් වන ගොඩනැගිලිවල නවකම් කිරීමට ද, අලුතෙන් ආරාම ඉදි කිරීමට ද බුදුරදුන් විසින් භික්ෂූන් වහන්සේට අවසර දුන් බව චුල්ලවග්ග පාළියේ සඳහන් වෙයි. කවර තැනෙක නේවාසික භික්ෂුවක් වුවත් තමන්ගේ ආවාසය දිරාපත්වීමට නො දිය යුතු බව ජේතවන සංස්කෘත ලිපියෙහි අන්තර්ගත ව ඇත.

යම්කිසි භික්ෂු නමක් ආරාමයෙහි නවකම් කිරීමට හෝ අඩුපාඩු සපුරාලීමට සහභාගී නොවෙතොත් ඔහු අනිත් හිමිවරුන් ගේ දෝෂාරෝපනයට ලක්වෙයි.

ආරාම ඉදිකිීම, නවකම් කිරීම ඉන්ද්‍රිය සංවරයට උපයෝගී වන ක්‍රමයක් බව පිළිගෙන තිබුණි. යම් භික්ෂුවක් පෝය ගෙයක් හෝ දන් හලක් හෝ ඉදිකිරීමට නිරතව සිටින විට එයට අවශ්‍ය වන උපකරණ ගැන කල්පනා කරමින් සිටිය යුතු බවත් එබැවින් සන්තානයේ කෙලෙස් මතුවීමට අවකාශ නොහැකි බවත් අට්ඨකථාවේ සඳහන් වේ.

මෙසේ කෙලෙස් යටපත් වීමෙන් යළි ඉපදීමට නො දීමෙන් භික්ෂුවකට රහත්වීමට පවා හැකිය යන බවට නිදසුනක් මනෝරථ පූරණියෙහි දැක්වේ.

සිතුල්පව්වේ විසූ තිස්ස නම් භික්ෂු නමක් තම ආරාමික ජීවිතය ගැන කලකිරුණේ ය. සිවුරු හැර දමා යෑමට සිතා ගත්තේ ය. එසේ සිතා සිය ආචාර්යවරයා වෙත ගියේ ය. ගුරුවරයා ළඟ පත්කඩ එලා වැඳ මෙසේ තමන්ගේ අපේක්ෂාව දන්වා සිටියේ ය. ස්ථානෝචිත ප්‍රඥාාවෙන් යුක්ත ආචාර්යවරයා මෙසේ පැවසී ය.

තිස්ස, මම දැන් මහලු ය. කිසිවක් කරකියා ගත නොහැකි යි. තිස්ස මට ආවාසයක් තනා දෙන්නැයි ගුරුවරයා ශිෂ්‍යයාට දැන්වී ය.

තිස්ස හිමි එයට එකඟ විය.

ඒ හිමියෝ ගල් ලෙණක් පිරිසුදු කොට බිත්ති බැඳ දොර කවුළු සවි කෙළේ ය. ආවාසයේ සියලු වැඩකටයුතු නිමා විය. ඒ බව ගුරුවරයාට දැන්වී ය.

තිස්ස, මේ ආවාසය සෑදීමට ඔබ බොහෝ මහන්සි වූයෙහි ය. එබැවින් එක් රැයක් මෙහි වැඩ සිටින්න.

හෙතෙම ගුරුවරයාගේ කීම පිළිගත්තේ ය.

දෙපා සෝදා ලෙණ තුළට වැද පලක් බැඳ වැඩහිඳ භාවනා වඩන්නට පටන් ගත්තේ ය.

හෙතෙම තම ජීවිතයේ කටයුතු ගැන මැනවින් මෙනෙහි කොට විදසුන් වඩා රහත් වූයේ ය.

භාවනානුයෝගී භික්ෂු නමක් ආරාමයක් ඉදි කිරීමට පටන් ගැනීම කෙලෙසුන් නැසීමට මගක් වන බවට මෙය නිදසුනකි.