Print this Article


ගිහි ගෙදරට දහම් වැටක්: අතහැර දැමීම දුකක් නොව සතුටකි

අතහැර දැමීම දුකක් නොව සතුටකි

" බුදු දහමෙහි උගන්වන හරය වෙනස් වීමයි. එම යථාර්ථමය ස්වභාවය සමාජයක නෙක විධ ආශා හා අවශ්‍යතා අතර මිලානව යයි. එය එසේ වන්නට ඉඩ නොදී ආරක්ෂා කර ගත යුතු ය. අනිත්‍ය භාවනාවට සිත නැඹුරු කරගත හැකි වන්නේ එවිට නොවේ ද? යථාර්ථ ස්වභාවය අවබෝධ කර ගැනීම පළමුව කළ යුතු යි. එය අතහැර දැමිය හැකිවන්නේ ද එවිටයි. මිනිසුන් බහුල වශයෙන් ම සතුටු වන්නට පුරුදු වී සිටින්නේ අල්ලා ගැනීමෙන් හෝ එකතු කර තබා ගැනීමෙන් ය. අල්ලා ගැනීමේ හේතුව නිසා එය තමාගෙන් දුරස්වීමක් වෙන නිසා දුකට පත්වීමට සිදුවෙයි."


මල් පූජා කිරීම පිළිබඳ ව අප නිවැරැදි තොරතුරු දැනගත යුතු යි. දම්පියා අටුවාව, විමාන වත්ථු අටුවාව හා අපදාන පාලිය, පරිනිබ්බාන සූත්‍රය ආදී මූල ග්‍රන්ථවල සඳහන් තොරතුරුවලට අනුව මල් පූජාවට ඇත්තේ ඉතාම දුරබැහැර අතීතයක්. මලක් කියන්නේ පිවිතුරු බවේ අග්‍රඵලයට. යම් පුද්ගලයෙක් මල් පූජා කරනවා නම්, මල මෙන් පිවිතුරු බවක්, එම පුද්ගලයාගේ මනසෙහි පැවතිය යුතු ය. හිත පිවිතුරු නැතිව පුදන මලින් පලක් තිබෙනවාද? මලෙහි ස්වභාවය සැණෙකින් මිලාන වී යාමයි. එය දෘශ්‍යමය චිත්‍රය දකිමින් තමා දෙස ද, සමාජය දෙස ද මනස යොමු කළ යුතු ය. තමාගේ ශරීරය මෙන් ම සමාජය ද, සිතිවිලි ද වෙනස්වීමට භාජනය වෙයි.

බුදු දහමෙහි උගන්වන හරය, වෙනස් වීමයි. එම යථාර්ථමය ස්වභාවය සමාජයක නෙක විධ ආශා හා අවශ්‍යතා අතර මිලාන ව යයි. එය එසේ වන්නට ඉඩ නොදී ආරක්ෂා කර ගත යුතු ය. අනිත්‍ය භාවනාවට සිත නැඹුරු කරගත හැකි වන්නේ එවිට නොවේ ද? යථාර්ථ ස්වභාවය අවබෝධ කර ගැනීම පළමුව කළ යුතු යි. එය අතහැර දැමිය හැකිවන්නේ ද එවිටයි. මිනිසුන් බහුල වශයෙන් ම සතුටු වන්නට පුරුදු වී සිටින්නේ අල්ලා ගැනීමෙන් හෝ එකතු කර තබා ගැනීමෙන් ය. අල්ලා ගැනීමේ හේතුව නිසා එය තමාගෙන් දුරස්වීමක් වෙන නිසා දුකට පත්වීමට සිදුවෙයි. දහමෙහි උගන්වනු ලබන්නේ අතහැර දමා සතුටුවීමෙන් දුකට පත් නොවන බවයි. එහිදී අල්ලා ගැනීමක් නැත. ඔබගේ ජීවිතයෙහිදීත්, අතීත සිද්ධීන් ස්මරණය කරන විට බොහෝ අවස්ථාවන් ඇති. අල්ලා ගැනීම පිළිබඳව විවරණය කිරීමේ දී භෞතික වස්තුවක් අතින් අල්ලා ගැනීම යැයි පටු අර්ථයෙන් සිතිය යුතු නැත. දැඩි සේ අල්ලා ගනු ලබන්නේ අතින් නොව මනසින් ය. මිනිසා මනසින් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ද අල්ලා ගැනීම සැපතක් ලෙස ආස්වාදය කරන පුද්ගලයා එනිසාම එය අතහැර දැමීමට උත්සාහ ගැනීම ද එසේ කිරීම හෝ වීමද මහා දුකක් ලෙස සිතයි.

මල් යායක් ගෞතම බුදුරජාණන් වහන්සේට පූජා කරනු ලැබූවත්, දහමේ උතුම් ස්වභාවය අල්ලා නොගත හොත් සිදුවන යහපතක් තිබේද? උතුම් ස්වභාවය අල්ලා ගැනීම යනු අතහැර දමා සතුටුවීමට උගෙන ගැනීමයි. එය ඇරඹිය යුත්තේ ද, ප්‍රගුණ කළ යුත්තේ ද, තමාගෙන්ම යි.එසේ විය යුත්තේ ධර්මය යනු තමන්ට ම නිසා ය. වර්තමානයේ ඇතැම් පුද්ගලයන් සිතන්නේ ධර්මයෙන් තමාට වැඩක් නැති බවත්, අන්‍යයාට ප්‍රයෝජනයක් තිබෙන බවත් ය. එනිසා ඔවුන්ට එය කියා දිය යුතු ය. හොඳ නරක කියාදෙන්නෝ බහුල ය. පිළිපදින්නෝ අවම ය. ඉහත සඳහන් කරන ලද මිථ්‍යා සිතිවිල්ල එයට හේතුවයි.

තෘෂ්ණාවෙන් තොරව මල් පිදු පිනෙන් ලද බොහෝ යස ඉසුරු පිළිබඳ ධර්ම සාහිත්‍යයේ කරුණු සඳහන් වෙයි. හිමියනි, මම අතීතයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ස්තූපයට නටුවෙන් ගිලිහී වැටුණ මල් අටක් පහන් සිතින් සියතින් පිදුවෙමි. මාගේ මේ කාන්තිමත් ශරීර වර්ණය ඇතිවූයේ ඒ පිනෙනි. මාගේ මේ දිව්‍ය සම්පත්තිය ඒ පිනෙන් ඇතිවූවකි. සිතට පි‍්‍රය වූ අසවල් දිව්‍ය භෝජන දී වස්තූහු මට ඒ පිනෙන් පහළ වූයේ ය. යනුවෙන් විමාන වත්ථු අටුවාවෙහි සඳහන් ය.

ගස්වල මල් පිපෙන්නේ මී මැස්සන්ට හා සමනලයන්ට පැණි බීම සඳහා ම යැයි සිතන්නෝ අනුවණයෝ ය. ඔවුහු බෞද්ධ ධර්මය හෝ එම සංස්කෘතිය ද වටහා ගත්තෝ නොවෙති. ඇතැම් විට ඔබගේ සිතට මෙබදු සිතිවිල්ලක් පහළ වී හෝ නොවී ඇත. ඔබ මෙතෙක් මල් පුදා ඇත්තේ සිතෙහි කිලිටි බව නැතිකර ගැනීම සඳහා නොව ආශාවන් පොදි බැඳ ගැනීමට ද විය හැකි ය.

ලෞකික ලෝකය විවිධ අපේක්ෂාවන් සඳහා ද විය හැකි ය. එය වඩා නිවැරැදි ලෙස දන්නේ ඒ අදහස දරන්නා පමණි. තමාගේ කිසිදු වෙහෙසක් හෝ වැය කිරීමක් නොමැතිව ලබන මල් පූජා පැවැත්වීම එතරම් ආනිසංස ගෙන දෙන්නක් වශයෙන් දක්වා නැත. එයට හේතුව තමන්ගේ මනස ඒ වෙනුවෙන් කැප නොකිරීමයි.

තර්කානුකූල කතාබහෙන් ඕනෑම බොරුවක් ඇත්තක් ලෙස හුවා දැක්වීම ද, මුසාවක් බවට පත් කිරීමද කළ හැකි ය. එසේ වුවද, ධර්ම සත්‍යය එසේ නොවේ. සත්‍යය නම් එහි තර්කානුකූල බවක් පැවතිය යුතු නමුදු තර්කානුකූල වූ සියලු සත්‍යය ලෙස පිළිගනු ලබයි. වඩා වැදගත් වන්නේ තමා කරන ක්‍රියාව පිළිබඳව අවබෝධ පූර්වකව සිටීම ය. තමාට නිවැරැදි දෙය නොවැටහේ නම්, ඒ සඳහා දැන උගත් පුද්ගලයකු ඇසුරට ගත යුතු ය. හැකිනම් අර්ථවත් පොතක් කියවා ඒ දැනුම ලබාගත යුතු ය.