Print this Article


රෝග බිය දුරුවීමට ධර්මයෙන් පිළියම්...

රෝග බිය දුරුවීමට ධර්මයෙන් පිළියම්...

" අප පිළිගත්තත්, නැතත් මෙනෙහි කළත් නො කළත්, අනුගමනය කළත්, නැතත් ශ්‍රී සද්ධර්මය තුළ පෙන්වා දෙන්නේ අපගේ ජීවිතයේ සැබෑ ම වූ ස්වභාවය යි."

ගෞරවණීය ස්වාමීන්වහන්ස, රෝග බිය අපට තදින්ම දැනෙන කාලයක් උදා වී තිබෙන්නේ. ශ්‍රී සද්ධර්මයට අනුව රෝග බිය දුරු කර ගන්නට පිළිපැදිය යුතු උපදෙස් මොනවා ද?

වර්තමානය වන විට ලෝකය පුරා මාරාන්තික වෛරස් රෝගයක් ව්‍යාප්තවෙමින් පවතින බව අප දන්නවා. ලොවපුරා බොහෝ දෙනෙක් එම රෝගයට ගොදුරු වී සිටිනවා. මානසිකව ද දුකට පත් වෙලා. සැලකිය යුතු ප්‍රමාණයක් මරණයට ද ගොදුරු වෙලා. මේ තත්ත්වය සමග අපගේ චින්තනය ධර්මානුකූල ව මෙහෙයවිය යුත්තේ කෙසේද යන්න විමසා බලමු.

වරක් දණ්ඩපානී නම් ශාක්‍යයා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ මෙසේ විමසා සිටියා. “ස්වාමිනී, ශ්‍රමණ ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේ ධර්මය විදිහට ලෝකයාට දේශනා කරන්නේ කුමක් ද? කියා.

එවිට භාග්‍යවතුන් වහන්සේ වදාළේ “දණ්ඩපාණී , තථාගතයන් වහන්සේ දෙවියන් සහිත ලෝකයෙහි පවතින යථාර්ථය, පරම සත්‍යය දේශනා කරනවා” කියා යි.

එසේනම් අප පිළිගත්තත්, නැතත් මෙනෙහි කළත් නො කළත්, අනුගමනය කළත්, නැතත් ශ්‍රී සද්ධර්මය තුළ පෙන්වා දෙන්නේ අපගේ ජීවිතයේ සැබෑ ම වූ ස්වභාවය යි. අප එම ධර්මය විශ්වාස කරන්නේ නම්, පිළිගන්නේ නම්, අනුගමනය කරන්නේ නම් අපගේ ජීවිතවල යහපත උදා වෙනවා. ජීවිත සිල්වත් වී, ගුණධර්ම දියුණු වී සැනසිලිදායක වෙනවා. ඒ වගේම මතු ජීවිත සුගතිගාමිය වෙත ද, ධර්මාවබෝධය වෙත ද පමුණුවාගත හැකි වෙනවා.

එසේ ගිහි,පැවිදි කාන්තා, පුරුෂ භේදයකින් තොරව, වයස් භේදයකින් තොරව, නැවත නැවත මෙනෙහි කළයුතු ධර්ම කරුණු මොනවා ද?

මේ පිළිබඳව ඨාන සූත්‍ර දේශනාවේ දී භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාරා තිබෙනවා.

යම් කෙනෙක් මෙම කරුණු නුවණින් නිතර නිතර මෙනෙහි කරන විට ඔහු තුළ පවතින ආරෝග්‍ය මදය, යෞවන මදය, ජීවිත මදය මුළුමණින් ම නැතිවීම හෝ තුනීවීම සිදුවන බව. එවිට ඔහුතුළ කුසලයට ප්‍රමාදය දුරු වී යන බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නා.

ඒ අනුව ජීවිත යථාර්ථය නුවණින් විමසන ශ්‍රාවකයා මද ප්‍රමාද දුරුකොට කාය දුශ්චරිතය, වචී දුශ්චරිතය, මනෝ දුශ්චරිතය අත්හැර සුචරිතය දියුණු කර ගන්නවා. පිරිසුදු ජීවිතයක් ගත කරනවා.

තමන්ගේ ජීවිතය ගැන සැබෑ තත්ත්වය නුවණින් විමසන ශ්‍රාවකයා ඉපදී සිටින සියලු දෙනාට ම මෙම ඉරණම පොදු බව මෙනෙහි කරනවා. ඒ තුළින් ඔහු තුළ ආර්ය මාර්ගය උපදිනවා. ආර්ය මාර්ගය වැඩෙනවා. යළි යළිත් ප්‍රගුණ කරන ශ්‍රාවකයා තුළ කෙලෙස් බැඳීම් දුරු වෙනවා. ධර්මාවබෝධය ලබනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා “හුදකලාව මම පමණක් ජරාවට පත්වෙන, ලෙඩ වෙන, මරණයට පත්වෙන, පි‍්‍රයමනාප දෙයින් වෙන්වෙන, කර්මය දායාද කරගත් ඉරණමට ගොදුරුව නො සිටිමි. යම්තාක් උපදින සත්ත්වයෝ ඇද්ද, ඒ හැම දෙනා ම වයසට යනවා. ලෙඩ වෙනවා. මරණයට පත්වෙනවා. පි‍්‍රයමනාප දෙයින් වෙන්වෙනවා. කර්මය දායාද කරගත් ස්වභාවයෙන් යුතුව සිටිනවා. මහණෙනි මෙසේ නිතර නුවණින් මෙනෙහි කරන ශ්‍රාවකයාට ලොව්තුරා මාර්ගය උපදිනවා. ඔහු ඒ ආර්ය මාර්ගය සේවනය කරන කල්හි, බහුල වශයෙන් ප්‍රගුණ කරන කල්හි ඔහුගේ සංයෝජන ප්‍රහාණය වී යනවා. කෙලෙස් අනුශය නැති වී යනවා. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ මෙම පරම සත්‍ය නුවණින් මෙනෙහි කිරීම තුළ තමන් වහන්සේ සම්බුද්ධත්වය ලද බව දේශනා කොට වදාළා.

රෝග බියක් දැනෙන විට, ධර්මය නුවණින් විමසා ජීවිතයට පුහුණු කර ගත යුත්තේ කෙසේද?

ඒ පිළිබඳවත් ධර්මයේ මෙසේ සඳහන් වෙනවා. “පින්වත් මහණෙනි, ස්ත්‍රියක විසින් වේවා, පුරුෂයෙකු විසින් වේවා, ගිහියෙකු විසින් වේවා, පැවිද්දෙකු විසින් වේවා නිතර නුවණින් මෙනෙහි කළ යුතු කරුණු පහක් තිබෙනවා. එනම්,

” මම ජරා ජීර්ණ වන ස්වභාවය ඇත්තෙක් වෙමි. ජරාව නො ඉක්ම වූවෙක් වෙමි’ යි ස්ත්‍රියක විසින් වේවා, පුරුෂයෙක් විසින් වේවා, ගිහියෙකු විසින් වේවා, පැවිද්දෙකු විසින් වේවා නිතර නුවණින් මෙනෙහි කළ යුතු වෙනවා.

”මම රෝගී වන ස්වභාවය ඇත්තෙක් වෙමි. රෝගි නො ඉක්ම වූවෙක් වෙමි’’ යි ස්ත්‍රියක විසින් වේවා, පුරුෂයෙකු විසින් වේවා, ගිහියෙකු විසින් වේවා, පැවිද්දෙකු විසින් වේවා නිතර නුවණින් මෙනෙහි කළ යුතු වෙනවා.

”මම මරණයට පත්වෙන ස්වභාවය ඇත්තෙක් වෙමි. මරණයට නො ඉක්ම වූවක් වෙමි” යි ස්ත්‍රියක විසින් වේවා, පුරුෂයෙකු විසින් වේවා, ගිහියෙකු විසින් වේවා, පැවිද්දෙකු විසින් වේවා නිතර නුවණින් මෙනෙහි කළ යුතු වෙනවා”.

”මට පි‍්‍රයමනාප වූ සෑම දෙයක් ම වෙනස් වීමට පත්වෙනවා. වෙන් වීමකට පත් වෙනවා. ස්ත්‍රියක විසිින් වේවා, පුරුෂයෙකු විසින් වේවා, ගිහියෙකු විසින් වේවා, පැවිද්දෙකු විසින් වේවා නිතර නුවණින් මෙනෙහි කළ යුතු වෙනවා.

”මම මාගේ ක්‍රියාව මගේ දෙය කොට ඇත්තෙමි. ක්‍රියාව දායාදය කොට ඇත්තෙමි. ක්‍රියාව ම උප්පත්ති කාරණය කොට ඇත්තෙමි. ක්‍රියාව ඥාතියා කොට ඇත්තෙමි. ක්‍රියාව පිළිසරණ කොට ඇත්තෙමි. යහපත් වූ හෝ වේවා, පවිටු වූ හෝ යම් ක්‍රියාවක් කරන්නේ නම් එය දායාද කොට සිටින්නෙමි” යි ස්ත්‍රියක විසින් වේවා, පුරුෂයෙකු විසින් වේවා, ගිහියෙකු විසින් වේවා, පැවිද්දෙකු විසින් වේවා නිතර නුවණින් මෙනෙහි කළ යුතු වෙනවා.

අන් අය රෝගී වූවාට මම නම් රෝගීවන කෙනෙක් නොවේ කියා කෙනෙකුට සිතෙන්නට පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ මේ සම්බන්ධයෙන් වදාළේ කුමක් ද?

" රෝග හටගන්නා ස්වභාවය ඇති, ජරා ජීර්ණ වන ස්වභාවය ඇති එමෙන් ම මැරෙන ස්වභාවය ඇති පෘථග්ජන සත්ත්වයෝ එබඳු වූ ම සත්ත්වයන් දැක අන්‍යයන් පිළිකුල් කරනවා." භාග්‍යවතුන් වහන්සේ වදාළා

මෙබඳු ස්වභාවයෙන් යුතු සත්ත්වයන් කෙරෙහි මම පිළිකුල් කොට දකින්නෙම් නම්, මෙබඳු ස්වභාවයෙන් වාසය කරන මා හට එය ගැලපෙන දෙයක් නොවේ.

ඒ මම මෙබඳු ස්වභාවයෙන් වාසය කරමින් නිකෙලෙස් වූ අරහත් ධර්මය අවබෝධ කොට ආරෝග්‍යයෙහි ද, යෞවනයෙහි ද, ජීවිතයෙහි ද යම් මත්වීමක් ඇත්නම්, ඒ සියලු මත්වීම් මැඬගෙන නෛෂ්ක්‍රම්‍ය නම් වූ උතුම් පැවිදි බව බිය රහිත තැන ලෙස දැක්කෙමි.

ඒ මා හට නිවන් අවබෝධ කිරීම පිණිස බලවත් පැතුමකුත්, උත්සාහයතුත් වූයේ ය.

මම ළාමක කාමයන් සේවනය කිරීමට නුසුදුස්සෙක්මි. බ්‍රහ්මචරිය පිළිසරණ කොට ගෙන ආපසු නො වැටෙන නිවන් මග යන්නෙමි කියා.

එමනිසා අපත් මෙම කරුණු නුවණින් මෙනෙහි කරමින් ධර්මානුකූලව ජීවිත හැඩගස්වා ගැනීමට උත්සුක වෙමු.