Print this Article


අනුත්තරීය සූත්‍රය: පාරිශුද්ධත්වය

පාරිශුද්ධත්වය

අප මහණකම් කළත්, නිති සිල් සමාදන් වූවත් එහි අභ්‍යන්තර පිරිසුදු බව විනා බාහිර ඔපය අගය නො කෙරේ. අප නිතර සිහිපත් කරන තාපසයා හා තලගොයා අතර කතා පුවත මෙම කාරණාවට ඉතා කදිම නිදසුනකි.

එක් කලෙක අප මහ බෝසතාණන් වහන්සේ තලගොයෙක් වී උපත ලබා, කැලෑව අද්දර අසපුවක විසූ එක් සිල්වත් තාපසයෙක් දැකීමට නිතර ආවේ ය. තවුසා මිය යාමෙන් පසු අසපුවට පැමිණියේ දුසිල්වත් තවුසෙකි.

මොහු දිනක් පිණ්ඩපාතයේ ගිය අතර, එහි දී ලැබුණු තලගොයි මස් ආහාරයට ගැනීමෙන් පසු එම රසයට ලොල් වී, යළිත් එම ආහාරය අනුභව කිරීමට ආශා කළේ ය. ඒ අනුව පිණ්ඩපාතයේ ගොස් තුනපහ රැස් කරගත් තවුසා, සිරිත් පරිදි අසපුවට පැමිණෙන තලගොයා මරා ගැනීමට සිතා කෙටේරියක් ළඟ තබාගෙන බලා සිටියේ ය.

යමෙකුගේ සිතෙහි මතු වන රළු බව හෝ මෘදු බව, ද්වේශය, වෛරය, ක්‍රෝධය මුහුණින් පිළිබිඹු වීම ස්වභාවය යි. අසපුව වෙත එන බෝසත් තලගොයා දුර සිට තවුසාගේ මුහුණේ ස්වභාවය දැක අසල තුඹසකට රිංගා හිස පමණක් පිටතට දමා මෙසේ පවසා ඇත.

“කිං තෙ ජටාහි දුමෙමධ
කිං තෙ අජිනසාටියා
අබ්භන්තරං තෙ ගහණං
බාහිරං පරිමජ්ජසි”

මෝඩය, ඔය හිස බැඳි ජටාවෙන් ඇති ඵලය කිම? හැඳැ සිටින අඳුන් දිවි සළුවෙන් ඇති ඵලය කිම? ඔබ ඇතුළතින් අපිරිසුදු පිටතින් පමණක් පිරිසුදු බව ප්‍රදර්ශනය කරන තවුසෙකි. යනුවෙන් බෝසත් තලගොයා පැවසුවේ ය. එම ගාථාව මගින් ද බුදු දහම පැහැදිලි කරන්නේ බාහිරයේ ඔපවත් බවට වඩා අභ්‍යන්තරික පිරිසුදු බව අගනා බවයි.

මැටියෙන් සැදූ කුණ්ඩලාභරණ රනින් ආලේප කොට රත්තරන් ආභරණ මෙන් පෙනෙන්නා සේ ඇතුළතින් අපිරිසුදු, පිටතින් ඔපවත්, පිරිස වට කොටගත් පුද්ගලයෝ සමාජයේ වෙසෙති.

“පැසුණු හිසින් ගරු බුහුමන් ලබයි” ගරු සත්කාර ලබන්නා පැසුණු හිසින් විය යුතු බවට අප අතර කියමනක් ඇත.

එහෙත්,

“න තෙන ථෙරො හොති
යෙනස්ස පලිතං සිරො”

යනුවෙන් යමෙකුගේ කෙස් පැසුණු නිසා ඔහු උසස් අයෙක් ලෙස සැලකිය නො යුතු බව බුදුන් වහන්සේ දේශනා කළ සේක. “පරිපක්කො වයො තස්ස” කෙස් පැසුණු නිසා වයසට ගිය බව පෙනුණත්, ඔහුගේ ක්‍රියාව යහපත් නො වන්නේ නම්, “මොසජිණ්ණාති වුච්චති” ඔහු හිස් මහල්ලෙක් යනුවෙන් ධර්මයෙහි සඳහන් වේ. එසේ යමෙක් යහපත් උසස් අයෙක් වීමට කයින් මෙන් ම, ගුණදහමින් ද මේරූ අයෙක් විය යුතු ය. භික්ෂූන් වහන්සේලා අභ්‍යන්තරය හික්ම විය යුතු බව බුදුන් වහන්සේ දේශනා කළ සේක.