Print this Article


ඒහි පස්සික 47: පන්සිල් කියනවාද?

පන්සිල් කියනවාද? පන්සිල් සමාදන්වෙනවාද?

"සිහිය, නුවණ, වීර්ය, ඉවසීම, අධිෂ්ඨානය ලෞකික ඉලක්ක වෙතද අත්‍යවශ්‍යය. එසේ නම් ලෞකික ඉලක්කවලට ද මානසික සංවර්ධනයක් අවශ්‍ය වේ. එසේ නම් වීර්යය, සිහිය ආදිය ඒ සඳහා බලපාන්නේ නම් කුඩා කල පටන් දරුවන් වෙත සීලය පුරුදු කළ යුතු ය."

උඩුකය සෘජුව තබා ගැනීමෙන් වේදනාවට සිත යොමු කරගෙන සිටියත් එක දිගට සිටීමට අපහසු වේ. ඒ ධාරාවට යොදවා ගෙන සිටීමට හැකියාවක් නොමැත. වේදනා සන්තතියට තම මනස යොදාගෙන සිටීමේ හැකියාවක් නොමැත.ඊට හේතුව සිත හැම ස්ථානයකම විසිර පැවතීම යි. ඒ නිසයි අදාළ කරුණ අවබෝධ කිරීමට නොහැකිවීමේ හේතුව.

එය අවබෝධ කිරීම හෙවත් එහි සත්‍ය තත්ත්වය තමන් තුළින් දකිනවා යනු ඊට සිත යොමුකරගෙන එක දිගට වේදනා සන්තතියේ ම සිත තබා ගෙන සිටිය හැකි තත්ත්වයට ඒ සිත පත්කර ගැනීමයි.

එසේ සිදු කළ නොහැකි නම් ඊට හේතුව වන්නේ සිහිය නොමැති වීම ය. එමෙන්ම වීර්ය නොමැතිවීම ය. අධිෂ්ඨානය නොමැති වීම ය. එමෙන්ම ඉවසීම නොමැතිවීම ය. ගැටලුව එය වේ. එසේ නම් ඉහත සඳහන් පරිදි සතිය හෙවත් සිහිය වීර්යය, අධිෂ්ඨානය, ඉවසීම ආදී කරුණු තමා තුළ වර්ධනය කර ගත යුතු ය. දිනපතා සිහිය, ඉවසීම, වීර්යය, අධිෂ්ඨානය, වර්ධනය කර ගත යුතු ය.

සිහිය, නුවණ, ඉවසීම, වීර්යය, අධිෂ්ඨානය වැනි දේ වර්ධනය කර ගැනීම සඳහා ඊට සුදුසු වැඩ පිළිවෙලක් තිබිය යුතු ය. ගෙහ නිස්සිතව කටයුතු කරන ගිහි පින්වතුන්ට පංචකාම සම්පත්තියත් සමඟ එහි ඇලී ගැලී වාසය කිරීමට සිදු වී ඇත. එම ගිහි ගෙයි සිටම හිතේ සිහිය, වීර්ය, ඉවසීම වැඩෙන, රැකියාවෙහි නිරතවන ගමන්, ගේ දොර වැඩ කටයුතු කරන ගමන්, අනෙකුත් වැඩ කරන ගමන් ඉහත දැක් වූ සිහිය ආදී කරුණු ප්‍රායෝගික ව වර්ධනය කර ගත හැකි ක්‍රමයක් අවශ්‍ය ය.

බුදුරජාණන් වහන්සේ විසින් අප වෙත අනුදැන වදාළ ක්‍රමය නම් සීලය ආරම්භ කරන ලෙස ය. සීලය ආරක්ෂා කරන තැනැත්තා පළමුව කළ යුත්තේ සමාදන්වීම ය. ඇතැම් විට බොහෝ දෙනා සිල් සමාදන් නොවේ. ඇතැම් විට සිල් කියවනු ලැබේ. “පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි” ආදී වශයෙන් මා පණ ඇති සතෙක් මරන්නේ නෑ. මා අදින් පසු සොරකමක් කරන්නේ නෑ. කාමයෙහි වරදවා හැසිරෙන්නේ නෑ. බොරු කියන්නේ නෑ. ආදී වශයෙන් අධිෂ්ඨානයක් සිතෙහි ඇති කර ගත්තද? ඒ සීලය සමාදන් වන අවස්ථාවෙහි එබඳු අධිෂ්ඨානයක්, චේතනාවක් තිබුණා නම් සීලය සමාදන් වී ඇත. එසේ චේතනාවක් නොපැවතියේ නම් පන්සිල් පද කියවීමක් පමණි. පන්සිල් කියවන අයෙක් ද? නැතහොත් සමාදන්වන අයෙක්දැයි සිතා බැලිය යුතු වන්නේ ද තමාම ය. මෙසේ සීලය සමාදන් වන තැනැත්තාට විශාල ලාභයක් ලැබේ. එසේ ලැබෙන ලාභය නම් එසේ සීලය සමාදන්වන තැනැත්තාගේ සීලය නොකැඩී ආරක්ෂාවේ ද, එතෙක් සීලය ආරක්ෂා කරගත නොහැකි වේ. එසේ සීලය නොවන්නේ සිහිය අඩුවන බැවිනි. එසේ සීලය කැඩෙන කැඩෙන වාරයක් පාසා නැවත නැවත සීලය සමාදන් විය යුතු ය. එසේ නැවත නැවත සමාදන් වන විට සීලය කැඩෙන වාර ගණන අඩු වන්නට පටන් ගනී. එසේ කැඩෙන වාර ගණන අඩුවන්නේ ඇයි ද? යි සිතා බැලිය යුතු ය.

යම් කිසි දෙයක් පුරුදුවීමට නම් ඒ දේ නැතහොත් ක්‍රියාව සිදුකර බැලිය යුතු වේ. සිහිය වැඩි වන්නට නම් සිහියෙන් පසුවිය යුතු ය. වීර්ය වැඩිවීමට නම් වීර්යයෙන් සිටිය යුතු ය. ඉවසීම වැඩිවීමට නම් ඉවසීමෙන් සිටිය යුතු ය. වෙනදා සිල් කඩපු තැනක යම් අයෙක් සිල් ආරක්ෂා කළා නම් ඔහු හෝ ඇය සිහියෙන් පසු වේ. වෙනදා සිල් කැඩුණු තැනක සිල් ආරක්ෂා කරන සෑම වාරයකම සිහියෙන්, වීර්යයෙන්, ඉවසීමෙන්, අධිෂ්ඨානයෙන් සිටිය යුතු ය. අප දැනුම්වත් නොවුණත් සිල් ආරක්ෂා කරන තැනැත්තාට ඉහත කී ගුණාංග වර්ධනය වේ. වෙනදා සිල් පද කැඩුණු හැම වාරයකම සිහිය, ඉවසීම වර්ධනය වේ.