Print this Article


බදුල්ල සදහම් සවියෙන් සාමණේර හිමිවරුන්ගේ මව් පියන්ට නිවාස

බදුල්ල සදහම් සවියෙන් සාමණේර හිමිවරුන්ගේ මව් පියන්ට නිවාස

සසුන් කෙත බැබළවීමට සසුනට දරුවෙකු පූජා කරන අඩු ආදායම්ලාභී මව්පියන්ට පිළිසරණ වීමේ අරමුණින් ආරම්භ කර තිබෙන ජාතික සදහම් සවිය පදනමෙන් සදහම් සෙවන නමින් නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව කියයි. ඌව අමරපුර මහා නිකායේ කාරක සංඝ සභික, බදුල්ල දිස්ත්‍රික් පිරිවෙන් ගුරු උපදේශක, නියෝජ්‍ය පරිවේනාධිපති, හා හිඟුරුගමුවේ, ශ්‍රී රතනපාලාරාමයේ විහාරාධිපති පාලාවත්තේ සේනානන්ද නා හිමියන්ගේ නිර්මාතෘත්වයෙන් හා සභාපතිත්වයෙන් ආරම්භ කර ඇති බදුල්ල කේන්ද්‍ර කොටගෙන ක්‍රියාත්මක වන ජාතික සදහම් සවිය පදනමේ, සදහම් සෙවණ නිවාස ව්‍යාපෘතිය මඟින් මේ වන විට සාමණේර හිමිවරුන්ගේ පවුල් සඳහා නිවාස 2 ක් ඉදිකර පිරිනමා තිබේ. පළමු නිවාසය බදුල්ල, එළදළුගමේත්, දෙවැන්න මොණරාගල, වැල්ලවාය, දකුණු මහා තැන්නවත්තේත් ඉදිකර සාමණේර හිමිවරුන් දෙනමකගේ මව්පියන්ට පසුගියදා පිරි නමනු ලැබීය.

අංග සම්පූර්ණ නිවසකට අමතරව එකී නිවාස වලට අවශ්‍ය ගෘහ උපකරණ, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු ද්‍රව්‍ය අනෙකුත් සාමාජික දානපති මහත්ම මහත්මීන් පරිත්‍යාග කොට තිබේ.

පාලාවත්තේ සේනානන්ද හිමි, සාමණේර හිමියන් හා ඔවුන්ගේ මව්පියන් මෙන්ම, මෙම නිවාස ඉදිකිරීමට බදුලු සදහම් සවියට උදව් උපකාර කළ සාමාජික සාමාජිකාවන්ද එම අවස්ථාවට සහභාගි වූහ.